Gossip

සුමුදු කෙඳිරි ගගා හිටියා- මම එතැන තිබ්බ යකඩ රෝදයක් අරගෙන ආයෙත් මුගේ ඔළුවට ගැහුවා – මිතුරු වෙස් ගත් මහා අපරාධයක පාපොච්ඡාරණය

හොඳම මිතුරා පස මිතුරා වන්නට ගතවෙන්නේ සුළු මොහොතකි. එමෙන්ම මිත්‍රත්වය වෛරයක් බවට පෙරලෙන්නට යන්නේද සුළු මොහොතකි. මෙවැනි ගජ මිතුරන් දෙදෙනකු අතර මාස කිහිපයකට පෙර ඇතිවූ සුළු අමනාපයක් අවසාන වන්නේ එකෙකුගේ ජීවිතයට අවාසනාවන්ත මරණයක් හිමිකර දෙමිනි. අනෙකාට ඒ මරණය සිදුකර නීතියෙන් ගැලවෙන්නට ද හැකි නොවිණි. සිය මිතුරා අමානුෂික අන්දමින් ඝාතනය කර සැඟවී සිටීමට ඔහු උත්සහ කළත් ඒ සඳහා ආයූෂ පැවතියේ දින දහයකටත් වඩා අඩු කාලයකි.

මෙසේ අබිරහස් අන්දමින් මියගොස් තිබුණේ මැදවච්චියේ පදිංචිව සිටි සුමුදු තරංග අල්ගේවත්ත නම් විසිපස් හැවිරිදි අවිවාහක තරුණ කරණවෑමියෙකි. ඔහුගේ නරක්වූ සිරුර අනුරාධපුර පුළියන්කුළම කෘෂි විද්‍යා පීඨය ආසන්නයේ පිහිටි පාළු වෙළෙඳසලක් පිටුපස තිබී හමුවන්නේ පසුගිය 17 වනදා සවස් කාලයේදීය. පාළුවට ගිය වෙළෙඳසල ආසන්නයේ පිහිටි නිවෙසකට පැමිණි කාන්තාවකට දුර්ගන්ධයක් දැනී ඒ බව නිවසේ හිමිකාරියගෙන් විමසා ඇත. එහෙත් නිවෙස් හිමි කාන්තාව ඇයට පවසා තිබුණේ එය සතෙකු කුණුවීම නිසා හමන දුර්ගන්ධයක් වියහැකි බවය.

පසුව එම කාන්තාව ඒ ආසන්නයේවූ දිවුල් ගසේ ගෙඩි කිහිපයක් අහුලාගෙන එම ස්ථානයෙන් නික්ම යාමට සුදානම් වනවාත් සමඟම එතැන තිබූ වෙළඳ සැල පිටුපස දොරෙන් පිටතට පැමිණ තිබූ අතක් දැක ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම පීඨයේ ආරක්ෂක අංශය දැනුම්වත් කර තිබුණි. එම දැනුම් දීමට අනුව ආරක්ෂක නිලධාරියෙක් වෙළඳ සැල තුළ පුද්ගලයකු මැරීවැටී සිටින බව පවසමින් ආරක්ෂක අංශය විසින් පොලිස් මූලස්ථානයේ සන්නිවේදන ජාලයේ 119 අංකය ට දැනුම් දීමක් සිදුකර තිබේ.

ඉන් අනතුරුව සිද්ධියවූ ස්ථානයට පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් වහාම පරික්ෂණ ආරම්භකොට මියගිය පුද්ගලයා සුමුදු තරංග නමැති කරණවෑමියකු බවට හඳුනාගෙන තිබිණි. නොවැම්බර් 12 වනදා සිට ඔහු සිය සේවා ස්ථානයෙන් අතුරුදන්ව සිට ඇත. පසුව මේ පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමෙන් පසු එතැනට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී ශානක හර්ෂණ මහතා මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර තරුණයාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.එම්.එස්.එම්.කේ.සේනානායක මහතාට නියෝග කළේය.

බෙහෙවින් නරක්වී තිබූ සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මරණයට හේතුව මොට ආයුධයකින් හිසට පහරදීම නිසා සිදුවූ එකක් බවට නිගමනය කළේය. තරුණ කරණවෑමියා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ කාර්ය පොලිස් නිලධාරින්ගේ කරමත පැටවුණේ ඉන් අනතුරුවය.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ සිදුකරන ලෙස අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පොලිස් කණ්ඩායම් කිහිපයකට උපදෙස් හා නියෝග දුන්නේය.ඒ අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ගිල්බට්ගේ විදානගමගේ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ද සැකකරු සොයා මෙහෙයුමක් ඇරැඹීය.

ඒ අනුව අධිකරණ නියෝගයක් ලබාගත් නිලධාරීන් මරණකරුගේ ජංගම දුරකථනයට පැමිණි හා ඉන් පිට වූ දුරකථන ඇමතුම් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය. මරණකරු අතුරුදන්වු දිනයේ ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් නිරීක්ෂණය කළ විදානගමගේ මහතා හා කොස්තාපල් චන්දනට සැකසහිත හෝඩුවාවක් ලැබෙන්නේ ඉන් පසුවය.

ඒ මරණකරුගේ දුරකථනයට ලැබුණු ඇමතුම් දෙකක් සම්බන්ධයෙනි. ඉන් එක් ඇමතුමක් ලැබී තිබුණේ වඩේ වෙළෙන්දෙකුගෙනි. අනික ලැබී තිබුණේ ත්‍රිරෝද රථ රියදුරෙකුගෙනි. පසුව නිලධාරීහු තොරතුරක් දැනගැනීම සඳහා ඔවුන් දෙදෙනා සොයන්නට වූහ.

වැඩි කාලයක් ගත නොකොට මොවුන් දෙදෙනා සොයාගත් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරිහූ ඝාතනයවූ සුමුදු සමඟ තිබෙන හිතවත්කම පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කළහ.

“නෑ සර් අපි කෝල් කළේ නෑ. එයා තමයි කෝල් එකක් ගන්න තියනවා කියලා අපේ ෆෝන් එක ඉල්ලගත්තේ. කෝල් ගත්තේ කාටද කියලා අපි දන්නෑ සර්.” ඔවුහු පොලිසිය හමුවේ පැවසුහ.

“අපේ සැකේ හරි සර් මිනිහා ප්ලෑන් කරලා තමයි වැඩේ දීලා තියෙන්නේ.” කොස්තාපල් චන්දන උප පොලිස් පරික්ෂක විදානගමගේට පැවසුවේය. ඝාතකයා විසින් ඝාතනය සැලසුම් සහගතව සිදුකර තිබෙන බව විදානගමගේ මහතා ඇතුළු පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේ ඉන් පසුවය.සැකකරු සුදුමහත්තයා නමින් හඳුනවන අයෙකි.

සුමුදු අතුරුදන්වූ දින සිටම ඔහුද අතුරුදන්වී ඇතිබව පොලිසියට දැන ගන්නට ලැබුණේය. ඔහු මොණරාගල ප්‍රදේශයේ ඥාති නිවසක සිටින බවට අනාවරණය කරගත් නිලධාරින් ඔහුව කොටු කරගැනීම සඳහා කිසියම් සැළස්මක් යෙදුවේ ඉන් පසුවය.

“අපි මොන උප්පරවැට්ටියක් දාලා හරි මේකව මෙහෙට ගෙන්න ගන්න ඕන. නිකමට හරි අපි මේක දන්නවා කියලා දැනුනොත් මිනිහා ගමෙන් පැන ගනියි.”විදානගමගේ සෙසු නිලධාරින්ට උපදෙස් දෙමින් කීවේය. ඒ අනුව පොලිස් නිලධාරින් උප්පර වැට්ටියක් යොදාගෙන සැකකාර සුදු මහත්තයා අනුරාධපුරයට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අතරතුර සුමුදු හා සුදු මහත්තයා අතර තිබු සම්බන්ධය පිළිබඳව තොරතුරු ද පොලිසිය සෙවුවේය. මරණකරු හා සුදු මහත්තයා තදින්ම හෙරොයින් ඉරීමට ඇබ්බැහිවී සිටින බවක් නොවිසඳුණුු අපරාධ විමර්ශන අංශයට අනාවරණය වන්නේ ඒ අනුවය. දෙදෙනා මැදවච්චියේ පිහිටි හෙරොයින් විකුණන ස්ථානයකට ගොස් කුඩු බොමින් ගණිකාවන් ඇසුරු කර තිබෙන බව ද පොලිසිය අනාවරණය කර ගත්තේය. සුමුදුගේ බාබර් සාප්පුවේ තිබූ කොණ්ඩය කපන මැෂිමක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සුදු මහත්තයාට චෝදනා එල්ලවී තිබුණු බවද නිලධාරින් තහවුරු කර ගත්තේය.

මේ නිසා සුමුදු විසින් සුදු මහත්තයා හෙරොයින් අලෙවිකරන බවට පොලිසියට ඔත්තු ලබාදී ඇති අතර ඉන් අනතුරුව දෙදෙනා අතර ආරවුලක් තිබූ බවත් සුදු මහත්තයාට කිසිදු බාබර් සාප්පුවක රැකියාවක් නොදෙන ලෙස සුමුදු හිතවතුන්ට දන්වා තිබෙන බවද පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබෙන්නට විය.

“ඕකට වැඩ දෙන්න එපා. ඕකා කුඩු ගහන්න බඩු හොරකම් කරනවා. මූ මගේ කොණ්ඩේ කපන හොඳම මැෂින් එකත් හොරකම් කළා.” යනුවෙන් සුමුදු විවිධ පුද්ගලයන්ට සුදු මහත්තයාට එරෙහිව චරිත සහතික නිකුත්කර තිබුණු බවත් සුදු මහත්තයා මුදල් සොරකම් කිහිපයකට සම්බන්ධවී පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අයකු බවද නිලධාරින් හෙළිදරව් කරගත්තේය.

ඒ අතරතුර මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි සුදුමහත්තයා පොලිසියේ උප්පරවැට්ටියට හසු වී අනුරාධපුර නගරයට පැමිණියේය. ඉන් පසු මිතුරන් කිහිප දෙනකු සමඟ මත්පැන් පානය කිරීම සඳහා ඔහු අනුරාධපුර රාමාකැලය ප්‍රදේශයට යන්නේ කිසිදු බියක් චකිතයක් නැතිවය. සුදුමහත්තයා අනුරාධපුරයට පැමිණ ඇති බව දත් කොස්තාපල් චන්දනද ඔවුන් මත්පැන් බොමින් සිටි රාමකැලය ප්‍රදේශයට යන්නේ කිසිවකුටත් නොදැනෙන පරිදිය.

මත්පැන් සාජ්ජය අවසන් කළ සුදු මහත්තයා වෙරි මතින් ඇලයාපත්තුවේ පිහිටි නිවසට ගොස් ඇති බව නිවැරදිව තහවුරු කරගත් කොස්තාපල් චන්දන වහා මේ බව සිය ස්ථානාධිපතිවරයාට දන්වා සිටියේය. නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සුදුමහත්තයා අත්අඩංගුවට ගැනීම සඳහා යන්නේ චන්දනගෙන් ලැබුණු ඒ තොරතුරු මතය. මත්පැන් පානයකර බමන මතින් සිටි සුදු මහත්තයාගේ වෙරි හිඳුණේ පොලිස් ජීප් රථය දුටු විටය. “ඇයි සර් මොකුත් ප්‍රශ්නයක්ද” ඔහු පොලිස් නිලධාරින්ගෙන් නොදන්නා අයුරින් අසන්නට විය.

“නෑ ලොකු ප්‍රශ්නයක් නෑ. පොඩි කට උත්තරයක් ගන්න තියෙනවා වරෙන් පොලිසියට යමු මල්ලී” උප පොලිස් පරික්ෂක විදානගමගේ මහතා සුදු මල්ලිට පැවසුවේය.”

“මල්ලී උඹ දන්නවද අපි ඇයි උඹව පොලිසියට ගෙනාවේ කියලා.”
“නෑ සර් මම දන්නෑ.” සුදු මහත්තයා කීවේය.
“සුමුදුගේ මරණය ගැන උඹ ගෙන් .පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ඕන. ඒ සමඟම සුදු මහත්තයාගේ ඉරියව් වෙනස් වන අයුරු පොලිස් නිලධාරිහු නිරික්ෂණය කළහ.

“මම මොකුත් දැන්නෑ සර්.” සුදුමහත්තයා නිලධාරින්ට කීවේය.
“හුඟක් දේවල් අපි හොයාගෙන තියෙන්නේ මලලි. අපිට බොරු කියන්න එපා. තමුන්ට ඇත්ත කියන්න කාලයක් දෙන්නම් නැත්නම් අමාරුවේ වැටෙන්න තමයි වෙන්නෙ.”

පොලිස් නිලධාරින් සුදුමහත්තයාට පවසන්නට විය. බමන මතින් සිටි සුදු මහත්තයාට ඝාතනය පිළිබඳ ඇත්ත පවසන්නට පොලිසිය කාලයක් දුන්නේය.

එමෙන්ම පොලිස් නිලධාරින් ඇසූ ඇතැම් ප්‍රශ්න හමුවේ නිරුත්තරවූ සුදු මහත්තයා නොදැනීම පොලිස් දැලේ පැටළුණේය.
“මල්ලි අපි ඔයාට කිසි කරදරයක් කරේත් නෑ කරන්නෙත් නෑ. අපිව අපහසුවට පත්කරන්නේ නැතුව ඇත්ත කියන්න පොලිස් කොස්තාපල් චන්දන ද ඔහුට කීවේය.

“ඔව් සර් මම තමයි සුමුදුව මැරුවේ” සුමුදු ඝාතනය කළේ මන්දැයි ඔහු නිලධාරින් ඉදිරියේ කියන්න පටන් ගත්තේ ඉන්පසුවය.

“සුමුදු මට හරියට හිරිහැර කරා. නමුත් මම තරහක් පෙන්නුවේ නෑ.පහුගිය 12 වෙනිදා උදේ මම සුමුදුට කථාකරා අපි සුපිරි ෆන් එකක් ගමු කියලා. වඩේ අයියගේ ෆෝන් එකෙනුයි ත්‍රිවිල් එකේ යාළුවෙකුගේ ෆෝන් එකත් ඉල්ලගෙන මම සුමුදුට කථා කළා.

“මම කිවුවා මම කුඩු ගේන්නම් හොඳ ෆන් එකක් ගමු කියලා. එදා උදේ මම පුළියන්කුලමේ පාළු කඩේට ගිහිල්ලා ප්ලෑන් කළා කොහෙදිද මූව මරන්නේ කියලා.

එතැන හොඳයි කියලා මම තිරණය කරලා දෙන්නම ආවා කුඩු ගහන්න. මම සුමුදුට දුන්න කුඩු උගුරක් බොන්න. සුමුදු පහත්වෙලා කුඩු උරද්දිම මම උගේ ඔළුව පැත්තට යකඩ පොල්ලෙන් ගැහුවා මිනිහා ඔළුව අල්ලගෙන ඇදගෙන වැටුණා.”

“මම කඩේ ඇතුලේ තිබ්බ බෝතලයක් අරගෙන එතැන නවත්තලා තිබුණ බයිසිකලේක නැගලා පැට්‍රල් ටිකක් ගන්න යාපනය හංදියේ ෂෙඩ් එකට ආවා. මම ප්ලෑන් කළේ සුමුදු ගිනි තියාගෙන මැරුණා වගේ පෙන්වන්න. තෙල් අරගෙන ඇවිල්ලා බලද්දී මූ මැරිලා නෑ. කෙඳිරි ගගා හිටියා. මම එතැන තිබ්බ යකඩ රෝදයක් අරගෙන ආයෙත් මුගේ ඔළුවට ගැහුවා. ඊට පස්සෙනම් මූ ඉවරයි කියලා මම දැනගත්තා. පස්සේ කඩේ අස්සේ තිබ්බ පරණ මෙට්ටෙට පෙට්‍රල් හළලා ගිනි තිබ්බා.”

“ඊට කලින් සුමුදු ළඟ තිබුණු චේන් එකයි පර්ස් එකයි ෆෝන් එකයි මම අරගත්තා. ගහපු යකඩ පොල්ල කැලේට වීසිකරලා ටවුමට ආවා. පර්ස් එකේ රුපියල් 3000 ක් තිබ්බා. ඒක අරගෙන පර්ස් එකයි ෆෝන් එකයි ගෙවල් ළඟ තියෙන මහමාන්කඩවල වැවට විසීකළා. සුමුදුගේ අයිඩෙන්ටි කාඩ් එක මහමාන්කඩවල තිබ්බ හුඹහකට දැම්මා.”

“සුමුදු ළඟ තිබ්බ රත්තරන් චේන් එක වයිෆ්ට දුන්නා උකස් තියලා සල්ලි ගන්න කියලා. එයා ඒක අනුරාධපුරේ උකස් තියලා රුපියල් 40000ක් අරගෙන තිබ්බා. මම ගෙදර යන්නේ දවස් තුන හතරකට පාරක්. මම කොළඹ ඉන්න බවක් තමයි ගෙදරට අඟවලා තියෙන්නේ සර්”

ඝාතනය සිදුකළ ආකාරය පිළිබදව සුදු මහත්තයා දීර්ඝ වශයෙන් පාපොච්චාරණය කළේය.

ඔහුගේ තොරතුරුවලට අනුව ඝාතනයට යොදාගත් යකඩ පොල්ල හා යකඩ රෝදය පොලිසිය සොයාගත් අතර මහමාන්කඩවල ප්‍රදේශයේ තිබෙන තුඹසක තිබී සුමුදුගේ හැඳුනුම්පතද සොයා ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරුවගේ බිරිඳ විසින් උකස්කර මුදල් ලබාගත් රන් මාලය ද සුදු මහත්තයා විසින් වැවට වීසිකළ සුමුදුගේ මුදල් පසුම්බිය හා ජංගම දුරකථනය ද සොයා ගැනීමට ද පොලිසිය කටයුතු කළේය.

සැකකාර සුදු මහත්තයා විවාහකයකු වන අතර ඔහුට මාස හයක දරුවකු සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව සැකකාර සුදු මහත්තයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු දෙසැම්බර් මස හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

උපුටාගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!