Gossip

“සීට් එකේ වම් පැත්තට ඇලවෙලා දඟලනවා. ෆෝන් එකත් අරගෙන කාටහරි කතා කරන්න. ඒත් කතා කරගන්න බැරිවෙලා.” – අධිවේගී මගේදී ජීවිතයක් බේරාගත් පොලිස් නිලධාරීන් දෙදෙනා

මනුස්ස ජීවිතවලට කරදර බාධක කම්කටොලු පැමිණෙන්නේ තැනක්, නොතැනක් වෙලාවක් කලාවක් නොමැතිව නොසිතූ මොහොතකයි.
ඒ බව පසක් වන සිදුවීමක් වූයේ පසුගිය 25 වැනිදා පස්වරු හතරට පමණ අධිවේගී මාර්ගයේ කොතලාවල පිටවීමේ දොරටුව අබියසදීයි.
පොලිස් කොස්තා­පල් (39598) ජයසිංහ එදින එම ස්ථානයේ රාජකාරියෙහි නිරතව සිටියේය. ඊට අමතරව සාජන් (22417) සෝමසිරිද එතැන විය.
සුපුරුදු ලෙසින් කොස්තාපල් ජයසිංහගේ දෑස් අධිවේගී මාර්ගය වෙත යොමුව පැවතියේය. අධිවේගී මාර්ගයේ සිට පිටවීමේ දොරටුව දෙසට පැමිණෙමින් තිබූ නිල් පැහැති කාරයක් පිටවීමේ දොරටුවට මීටර් පහළොවක පමණ ඈතින් නතර කෙරෙනු ඔහු බලා සිටියේ කුතුහලයක්ද සමඟය. එහෙත් රථය නතර වූ අසාමාන්‍ය ස්වභාවය නිසා ඔහු කලබල විය.
ඔහු ඒ ගැන අප හා විස්තර කළේය.
“පිටවීමේ දොරටුවෙන් එළියට යන තෙක් අධිවේගයේ කිසිම තැනක වාහන නතර කිරීම තහනම්… මං හිතුවේ ඒ වාහනේ නතර කරගෙන මොනවාහරි හොයනවා ඇති කියලා.
අධිවේගී රිසිට්පත වැනි දෙයක්. එදා නිවාඩු දවසක් නිසා පිටවීමේ දොරටුව අසල පුදුම වාහන තොගයක් තිබුණේ…
මං අතින් සංඥා කළා එන්න කියලා. කිසිම ප්‍රතිචාරයක් නෑ. එතැන වූ බෑවුම නිසා වාහනේ පසුපසට යන්නත් ගත්තා. මං බැලුවා මොකක්ද මේ වෙන්නෙ කියලා”
කොස්තාපල් ජයසිංහ වහා එතැනට දිව ගියේ සිදුවන්නෙ කුමක්දැයි විපරම් කිරීමටයි.
“එතැනට ගියාම තමයි දැක්කෙ රියැදුරාට කරදරයක් බව. සීට් එකේ වම් පැත්තට ඇලවෙලා දඟලනවා. ෆෝන් එකත් අරගෙන කාටහරි කතා කරන්න.
ඒත් කතා කරගන්න බැරිවෙලා… ෆෝන් එකත් එක්කම වම් පැත්තට කඩාගෙන වැටුණා…
වාහනේ ඉදිරිපස අසුනේ වයසක සීයා කෙනෙක් හිටියේ. ඔහුටත් කල්පනාව මදි . (සීයාගේ වයස අවු­රුදු 85ක් පමණ වු බවත් ඔහුද අසනීප තත්ත්වයෙන් පසුවූ බවත් කොස්තාපල්වරයාට පෙනිණි) පිටුපස අසුනේ කුඩා දරුවෝ දෙන්නෙක්… එයාලට තේරුමක් නෑ වගේ.
දැක්ක ගමන් මට තේරුණා හාට් ඇටෑක් එකක් වගේ කියලා. මුලින්ම ස්ටාර්ට් එකේ තිබුණ වාහනේ නතර කළා. අතුරුගිරියට කතා කරලා ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්න බැලුවා.
එදාම එයත් කැඩිලා. නවගමුව පොලීසියේ 1990ට කතා කළා.
ඒත් ඒකට ඒමට විනාඩි 15ක් විතර යනවා. පස්සෙ අපේ අතුරුගිරිය පිවිසුමේ ඕඅයිසී චන්දන මහත්තයට කතා කළා.
විස්තරේ කියලා ඉක්මනටම රේඩියෝ කාර් එක එවන්න පුළුවන්ද ඇහැව්වා. අනේ විනාඩි තුනක් යනකොට කාරය එතැන. සාජන් අනුර (18304) සහ රණ­වීර (35524) රේඩියෝ කාරයෙන් ගොස් රෝගියාව මාලබේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළා.”
හදිසියේ මෙලෙස රෝහල්ගත කළ එම පුද්ගලයා පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට පසක් වූයේ ඔහුට දරුණු ගණයේ හෘදයාබාධයක් ක්ෂණිකවම හටගෙන ඇති බවයි. තවත් විනාඩි පහක ප්‍රමාදයක් වූවානම් ඉංජිනේරුවකු ලෙස සේවය කරන 47 හැවිරිදි කමල් දසනායක මහතාගේ ජීවිතය අනතුරේ බව වෛද්‍ය නිගමනය විය.
කමල් මහතා තම පියා සහ දරුවන් සමඟ ගමන් ගනිමින් සිට ඇත්තේ වැලිසර ළය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තම මෑණියන් බැලීමටයි. රෝහලේ ඔහු පැමිණෙන තෙක් මඟ බලා සිටියේ ඔහුගේ සහෝදරයා වන උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුමන සඳගල මහතායි. තම සහෝදරයාගේ පැමිණීම ප්‍රමාද නිසා දුරකථනයට ඇමැතුමක් දුන් වෛද්‍යවරයාට පිළිතුරු ලෙස කමල්ගේ පුතෙකු පවසා තිබුණේ තාත්තාට පපුවේ අමාරුවක් හැදී අධිවේගී මාර්ගය අසල සිටින බවයි.

“මල්ලි ඉන්නෙ මාලබේ. එයා අතුරුගිරියෙන් හයිවේ එකට දාලා වැඩි දුරක් ගිහින් නෑ. ඇටෑක් එක ඇවිල්ලා. ඔහුට කවදාවත්ම හෘද රෝගයක් තිබුණේ නෑ. පස්සෙ ඔහු කොතලාවල පිටවීමෙන් එළියට දාන්නයි හදලා තියෙන්නෙ… ඉතින් මල්ලිට වුණේ නොසිතූ කරදරයක්. මං කියන්නෙ ඕනෑම අයෙකුට මෙවැනි කරදර වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී මනුස්සයන්ගේ ක්‍රියාකලාපයයි වැදගත්. මොකද ලොකු-පොඩි, වත්පොහොසත්කම් ලෙඩරෝගවලට බලපාන්නෙ නෑ. මේ සිදුවීමෙන් ගම්‍ය වුණේ සැබෑම මනුස්සකම වගේම නුවණක්කාර‍කමයි.
ඒ නිලධාරියා සෝදිසි කරලා බැලුවේ නැතිවුණානම් මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා.
වර්තමානයේ හැමෝම පොලිස් නිලධාරීන්ට බණින එකයි කරන්නෙ. ඔවුන්ගේ වැරැදිමයි හොයන්නෙ.
ඒත් මේ නිල­ධා­රීන් දෙදෙ­නාගේ නුව­ණැති ක්‍රියව නිසායි අද අපේ මල්ලි ජීව­ත්වෙන්නෙ. කෙනෙක් මෙවැනි නොසිතූ කරදරේකට මුහුණ දුන්නොත් අනිවාර්යයෙන්ම මේ පොලිස් නිලධාරීන් දෙදෙනා ක්‍රියා කළ ආකාරයෙන් තැනට උචිත ලෙස බුද්ධිමත්ව කටයුතු කිරීමයි මුළු සමාජයේම වගකීම විය යුත්තෙ.
ඒ නිසා මේ ක්‍රියාව රටටම ආදර්ශයක්.” යැයි සිළුමිණ හා අදහස් පළ කළ විශේෂඥ වෛද්‍ය සුමන සඳගල මහතා සිය සහෝදරයාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථානෝචිතව ක්‍රියා කළ නිල­ධාරීන් දෙපළට සිය කෘතඥතාවද පළ කළේය.
මිනිස් ජීවිතයකට නොසිතූ මොහොතක සිදුවන මෙවැනි කරදර හා පීඩාවලදී බුද්ධිමත්ව ක්‍රියා කරමින් රටට ආදර්ශයක් දුන් මේ නිලධාරීන් දෙදෙනා රටට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටත් ආඩම්බරයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!