Gossip

සල්ලි පොලියට දුන්න මාලඹේදී වෙඩි කාපු කෝටිපතියා කාන්තා ඇසුරට ලොල් වූ අයෙක්? අංගොඩ ලොක්කා එක්කත් සමීප මිතුදමක්

මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසට දිවෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වන ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකි. රථය පදවාගෙන යන්නේ රොෂාන් ප්‍රේමලාල් ය. මොහු ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියේ පොලී රොෂාන් ලෙසය.

හිඹුටාන බැංකු හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ පොලී රොෂාන් ව්‍යායාම් කිරීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ශරීර සුවතා මංතීරුව වෙත පැමිණීම පුරුද්දක්‌ කරගෙන ගියේය.

ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ද පොලී රොෂාන් ව්‍යායාම් කටයුතු සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවතට පැමිණියේ කිසිදු බියකින් තොරවය.

එහෙත් මාරයා චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සැඟවී සිටිනු ඇතැයි රොෂාන් සිහිනයකින් හෝ සිතුවේ නැත. සුඛෝපභෝගී ජීප් රථය මාර්ගය අසල නතර කළ රොෂාන් කලබලයකින් තොරව ඉන් බැස ගත්තේය. මාර්ගය දෙපස සවිකර ඇති පහන් කණුවලින් පැතිර තිබූ ඝන අන්ධකාරය යන්තමින් මැකී ගොස්‌ තිබිණි.

දිනපතාම ව්‍යායාම් කටයුතු සඳහා පැමිණෙන ස්‌ථානය ගැන රොෂාන්ට සැකයක්‌ නැත. බියක්‌ දැනුණේ ද නැත. ඔහු හුරුපුරුදු පරිදි ව්‍යායාම්වල නිරත වුණේය. එහෙත් රොෂාන්ගේ මාරයා තම හෝරාව එනතුරු ඝන අන්ධකාරයට වී බලා සිටියේය.

හිටි හැටියේම අන්ධකාරය මැදින් මතු වූ යතුරුපැදියක්‌ ව්‍යායාම් කරමින් සිටින රොෂාන් පහුකර ගියේය. යතුරුපැදිය කිහිපවරක්‌ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ ඔබ මොබ ධාවනය වුණේය.

එහෙත් රොෂාන්ට මේ නාඳුනන යතුරුපැදිකරුවන් ගැන විශේෂත්වයක්‌ නොමැත. ඔහු සුපුරුදු ලෙස ව්‍යායාම්වල නිරත වුණේය.

මාලබේ ප්‍රදේශය පුරා පැතිර තිබූ නිහැඬියාව බිඳ දමමින් හෙන පුපුරන්නාක්‌ මෙන් පිට වූ වෙඩි උණ්‌ඩ රොෂාන්ගේ සිරුර විනිවිද ගියේය. නිමේෂයකින් සියල්ල නිහඬ විය. සිය ඉලක්‌කය සපුරාගත් ඝාතකයන් චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ පලා යන්නේ කිසිදු කලබලයකින් තොරවය.පොලී රොෂාන්ට වෙඩි තබා ඝාතනය කළ පුවත මාලබේ ප්‍රදේශය පුරා පැතිර යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත. අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් රොෂාන් ඝාතනය කර තිබූ ස්‌ථානයට පැමිණෙන විට ඝාතකයන් පලා ගොසින් බොහෝ වේලාවක්‌ ගතව තිබුණේය.

ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් පළපුරුදු අවි හසුරුවන්නන් බව පැහැදිලිය. පොලී රොෂාන් ඝාතනය පාතාල සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් කළ බව පැහැදිලිය. බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රොෂාන් ඝාතනයේ සැකකරුවන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ සිය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කළහ.

පොලී රොෂාන්ට තර්ජන එල්ල වී තිබූ පාර්ශ්ව කීපයක්‌ හෙළිකර ගැනීමට පොලිසිය සමත්විය. පොලී රොෂාන් ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ වැඩක්‌ බව සමහරු කීය. තවත් සමහරු කීවේ රණාලේ සමයාගේ පාර්ශ්වය මේ ඝාතනය ක්‍රියාත්මක කළ බවය.

එමෙන්ම ව්‍යාපාරික ආරවුලක්‌ ඝාතනයට හේතු වූ බවට කටකතා පැතිර යන්නට විය. රොෂාන් සහ බිරිඳ අතර කාලයක පටන් පැවැති විරසකයක්‌ මේ ඝාතනය පිටුපස ඇති බවට සැකයක්‌ ද මතුව තිබුණේය. රොෂාන් ප්‍රේමලාල් හැදී වැඩෙන්නේ මුල්ලේරියාව ප්‍රදේශයේය. මීට වසර 10 – 15 කට උඩදී රොෂාන් ඒ තරම් වත් පොහොසත්කම් ඇත්තකු නොවීය.

මුදල් පොලියට දීම සුළුවෙන් ආරම්භ කළ රොෂාන් කාලයක්‌ ගතවෙද්දී ගජ පොහොසතකු වුණේය. රොෂාන් ප්‍රේමලාල් පොලී රොෂාන් ලෙස ප්‍රසිද්ධියට පත් වුණේ ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබාදීත් සමඟය.

අංගොඩ ලොක්‌කා පොලී රොෂාන්ගේ ගජ මිතුරකු විය. ඒ මීට වසර ගණනාවකට පෙර සිටය. අංගොඩ ලොක්‌කාගේ හයිය මෙන්ම පාතාල බලය තම පොලී ව්‍යාපාරය දියුණුකර ගැනීමට පොලී රොෂාන් පාවිච්චි කළේය.

පොලී රොෂාන්ගෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයන් නියමිත දිනයේදී අදාළ පොලී මුදල ගෙවා දැමිය යුතුය. එසේ නොකළහොත් පොලියට මුදල් ලබා ගන්නවුන් හමුවන්නේ අංගොඩ ලොක්‌කාගේ ගෝල බාලයන්ය.

මේ ආකාරයට පොලී රොෂාන් කිසිදු ගැටලුවකින් තොරව තම ව්‍යාපාරය කරගෙන ගියේය. පොලී රොෂාන් කෝටිපති ව්‍යාපාරිකයකු වීමට වැඩි කාලයක්‌ ගත වුණේ නැත.

මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයට අමතරව ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම, බර වාහන ආනයනය කර විකිණීමේ ව්‍යාපාරය ද කරගෙන ගිය පොලී රොෂාන් ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්ත දක්‌වාම ගමන් කළේය.

රණාලේ සමයා ඇතුළු හත්දෙනෙක්‌ කළුතර බන්ධනාගාර බස්‌ රථයේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්‌කා හොර රහසේම රටින් පලා ගියේය.

අංගොඩ ලොක්‌කා පොලී රොෂාන් මිතුදම ටිකෙන් ටික දුරස්‌ වන්නට පටන් ගත්තේ එතැන් සිටය. පොලී රොෂාන් අංගොඩ ලොක්‌කා නොසලකා හරින්නට පටන් ගත්තේ ය. දෙදෙනා අතර නොහොඳ නෝක්‌කාඩු ඇති වන්නට විය.

පොලී රොෂාන් අංගොඩ ලොක්‌කාට කප්පම් ලබා දීම පැහැර හැරීම මේ විරසකයට හේතු වී තිබිණි. අංගොඩ ලොක්‌කාට කප්පම් මුදල් ලබා නොදීම නිසා පොලී රොෂාන් ඔහුගේ උදහසට ලක්‌ව සිටියේය. රොෂාන් ඝාතනයට හේතු වූයේ මේ සිදුවීම බවට සැකයක්‌ මතුව තිබෙයි.

මේ අතර පොලී රොෂාන් ඝාතනය පිටුපස රණාලේ සමයාගේ කල්ලිය සිටින බවට ප්‍රචාරයක්‌ ද ගොස්‌ තිබුණේය.

අංගොඩ ලොක්‌කා සහ පොලී රොෂාන් සමීපතම මිතුරන් බව රණාලේ සමයාගේ කල්ලිය දැන සිටියහ. පොලී රොෂාන්ගේ දියුණුව පිටුපස සිටියේ අංගොඩ ලොක්‌කා බව සමයාගේ කල්ලිය විශ්වාස කළහ. අංගොඩ ලොක්‌කාගේ පාතාල කල්ලිය සහ රණාලේ සමයාගේ කල්ලිය එකිනෙකා මරා ගන්නට පටන් ගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටය.

අංගොඩ ලොක්‌කා රණාලේ සමයා ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම් උත්සන්න විය. වෛරය පළි ගැනීම මොවුන් අතර බුර බුරා නැගෙමින් තිබුණේය. මීට සති කීපයකට උඩදී රණාලේ සමයාගේ කල්ලියේ සමීපතමයකු වූ සුදුවා අතුරුගිරිය නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරුණි. මේ ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කුලී හේවායන් කළ බව මුළු පාතාල ලෝකයම දැන සිටියහ.

සුදුවා ඝාතනයෙන් රණාලේ සමයාගේ කල්ලියේ සාමාජිකයන් දැඩි ලෙස උරණ වී සිටියහ. සුදුවාගේ ලේවල පළිය ගැනීමට සමයාගේ කල්ලියේ සාමාජිකයන් සැලසුම් කළහ.

සුදුවා ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස රණාලේ සමයාගේ කල්ලිය පොලී රොෂාන් ඝාතනය කරන්නට ඇති බවට සැකයක්‌ මතුව තිබෙයි.

පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට පොලී රොෂාන් සහ ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ අතර පැවැතියේ දැඩි විරසකයකි. ඔවුන් එකට නිවසේ ජීවත් වුවද ගත කළේ දෙලොවක්‌ අතර ජීවිතයකි.

පොලී රොෂාන් සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වූවෙකි. මොවුන් අතර අඹු සැමි ආරවුල්වලට හේතුව වන්නේ මේ ආරවුලය.

මේ අඹුසැමි ආරවුල් කොයි තරම් දුරදිග ගියේද යත් එක්‌ අවස්‌ථාවක පොලී රොෂාන් සිය බිරිඳගේ පිහි ප්‍රහාරයකට ද ලක්‌ව බරපතළ තුවාල ලැබීය. පොලී රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳගෙන් ද දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේ මේ පිළිබඳ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීමේ අටියෙන් ය.

පොලී රොෂාන් ව්‍යාපාරික ආරවුල් කීපයකට පැටලී සිටි බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි විය. රුපියල් දහස්‌ ගණනින් නොව රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබා දීම රොෂාන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය.

රොෂාන් මුල්ලේරියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටි තුනක මුදලක්‌ පොලියට ලබා දී තිබුණේය. මේ ව්‍යාපාරිකයා කාලයක සිට රොෂාන්ට පොලී මුදල් ලබාදීම මෙන්ම ලබාගත් මුදල ආපසු ලබා දීම පැහැර හැර තිබූ බව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.

මෙම මුදල් ආරවුල පොලී රොෂාන්ගේ අවසානය සනිටුහන් කිරීමට හේතු පාදක වූ බවට ද සැකයක්‌ මතුව තිබෙයි.

පොලී රොෂාන් ඝාතනයේ විමර්ශන මේ කරුණු කාරණා කීපය ඔස්‌සේ ම කරගෙන ගිය පොලිසියට තවමත් නිවැරැදි චිත්‍රයක්‌ මවා ගැනීමට හැකි වී නැත.

පොලී රොෂාන්ගේ ඝාතනයේ උණුසුම මැකී යන්නට පෙර මාලිගාවත්ත ගිනි ගත්තේය. පසුගිය 27 වැනිදා රාත්‍රියේ මාලිගාවත්ත පැසි පන්දු ක්‍රීඩාංගණය අසලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කළේ කොළඹ පාතාලය උණුසුම් කරමින්ය.

ඝාතනයට ලක්‌ වූයේ ෂාවුල් හමීඩ් මොහොමඩ් තිස්‌රුප් නොහෙත් තිප්පු ය.

තිප්පු යනු කොළඹ පාතාලයට නෑකම් කියූ අයෙකි. තිප්පු ජීවත් වූයේ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ය. තිප්පුගේ පියා ආම්පාරුක්‌ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ රජකම් කළ පාතාල අපරාධකරුවෙකි.

ආම්පාරුක්‌ගේ වැඩිමහල් පුත්‍රයා රමේෂ් ය. බාල පුත්‍රයා තිප්පුය. තිප්පු විවාහ වන්නේ පාතාල ලෝකයේ තවත් කෙරුම්කාරයකු ව සිටි ඩොන් නමැත්තාගේ දියණිය සමඟය. තිප්පුගේ සොහොයුරා වූ රමේෂ් පාතාල කල්ලියක්‌ අතින් ඝාතනයට ලක්‌වන්නේ මීට වසර හය හතකට උඩදීය.

රමේෂ් කලක්‌ පාතාල ලෝකයේ රජෙකු ලෙස ජීවත් වූ පොට්‌ටු නවුෆර්ගේ කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. නවුෆර්ගේ රියෑදුරු ලෙස කටයුතු කළේ ද රමේෂ් ය.

පොට්‌ටු නවුෆර් මරණ දඬුවම නියම වීමෙන් පසු රමේෂ් ඝාතනය වන්නේ ගපූර් නමැති පාතාල අපරාධකරුවකු අතින් ය.

රමේෂ්ගේ ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස නවුෆර්ගේ කල්ලිය ගපූර්ව ද ඝාතනය කළහ. කොළඹ එක්‌තරා දේවස්‌ථානයක ගපූර් යාඥා කරමින් සිටියදී එහි කඩා වැදුණු නවුෆර්ගේ කල්ලියේ සාමාජිකයන් ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ.

තම සොහොයුරු වූ රමේෂ් ඝාතනයට ලක්‌ වීමත් සමඟම තිප්පු පාතාල ලෝකයට අවතීර්ණ වුණේය. අලුත්කඩේ, කෙසෙල්වත්ත, කොටහේන ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන හෙරොයින්, ගංජා, අයිස්‌ ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම ජයටම කරගෙන ගිය තිප්පු යහමින් මුදල් උපයන්නට පටන් ගත්තේය.

එහෙත් තිප්පු ගත කළේ රහසිගත ජීවිතයකි. තිප්පුගේ පරම සතුරා වූයේ ඉම්රාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මොවුන් දෙදෙනා වෛරක්‌කාරයන් බවට පත් කර තිබුණේය.

ඉම්රාන් සිටියේ ඩුබායි දේශයේ ය. එහෙත් ඉම්රාන්ගේ සහචරයන් කොළඹ ප්‍රදේශයේ ජයටම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියහ. මෙරට පාතාලයේ අංක එකේ අපරාධකරුවා බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ ඉම්රාන් මේ වන විට සිටින්නේ ඔහු සමඟ බව ද කියෑවෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම කොළඹ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කළ ද තිප්පු සිය පදිංචිය සඳහා යොදා ගත්තේ වරකාපොල ප්‍රදේශයේ රහසිගත නිවස්‌නයකි

සිය බිරිඳ සහ දරුවන් මේ නිවසේ සඟවා තැබූ තිප්පු නිතර නිතර කොළඹට යමින් සිය ජාවාරම්වල නිරත වුණේය.

තිප්පු තම මස්‌සිනා ද සමඟ කොළඹ එන්නේ 27 වැනිදා රාත්‍රි කාලයේදීය. හෙරොයින් ගනුදෙනුවක්‌ සඳහා මොහු මාලිගාවත්තට පැමිණ සිටියේය.

තිප්පු මත්ද්‍රව්‍ය ගනුදෙනු කරන පුද්ගලයකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමකට අනුව මාලිගාවත්තට එන්නේ මත්ද්‍රව්‍ය තොගයක්‌ රැගෙන යැමටය. එහෙත් මත්ද්‍රව්‍ය ගනුදෙනුව වෙනුවට තිප්පුට සිදුවන්නේ තම ජීවිතය අතහැර යැමටය.

තිප්පු සිය මස්‌සිනා ද සමඟ මාලිගාවත්ත පැසිපන්දු ක්‍රීඩාංගණය අසලට වී සිටියේ තම ගනුදෙනුකරුවා පැමිණෙන තුරුය. එහෙත් අඳුරේම මතුවුණේ තිප්පුගේ මාරයාය. යතුරුපැදියක පැමිණි පාතාල ඝාතකයන් දෙදෙනකු තිප්පුට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කර පලායන්නේ ඔහු අවසන් ගමන් යැමෙන් පසුවය.

තිප්පු ඝාතනය ඉම්රාන්ගේ කල්ලිය විසින් කළ බවට සැකයක්‌ මතුව තිබෙයි. එහෙත් එය සැකයක්‌ පමණය. තිප්පුගේ මස්‌සිනා ද මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්‌ වුවද, ඔහුට ජීවත්වීමට වාසනාව හිමිව තිබෙයි.

පාතාල මිනිස්‌ ඝාතනවල නිමක්‌ නැත. පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කොයි තරම් මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද මේ නරුමයන් රිසි සේ සිය අපරාධවල නිරතව සිටිති.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ඩුබායි දේශය අතහැර පලා ගිය බවට පුවතක්‌ පසුගිය කාල සීමාව පුරා පැතිර ගොස්‌ තිබුණ ද මොහු සිටින ස්‌ථානය තවමත් නිශ්චිත නැත.

මධුෂ් කොයි ලෝකයේ සිටියද ඔහු සිය අපරාධ වාර්තාව නිමකර නැත. මධුෂ්ගේ ගෝල බාලයන් රිසි සේ සිය අපරාධවල නිරතව සිටින්නේ පොලිසියට ද අභියෝග කරමින් ය.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!