Gossip

සමාවෙන්න කරදරයක් වුණානම්..දන්නවනෙ රටේ හැටි මේ දවස්වල..ඒකයි මේ – දිවා රෑ නොබලා අප වෙනුවෙන් වෙහෙසෙන අපේම රණවිරුවෙක් ගැන තවත් කතාවක් මේ….

පාස්කු ඉරිදා මෙරට දේවස්ථාන හා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇතිවූ බෝම්බ පිපිරීම් සමග මෙරට ආරක්ෂක අංශ ඉතාමත් සීරුවෙන් තවත් එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන්නට වග බලාගන්නවා.

මේ නිසා අපේ රටේ පොලිසිය. රණවිරුවන් එක්ව දැඩි සෝදිසි කිරීම්වල පවා නිරත වෙන්නේ අපි හැමෝගෙම ආරක්ෂාවට. අව් වැසි, දිවා රෑ නොබලා ඔවුන් රටේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙසෙන්නේ අපි හැමෝම වෙනුවෙන්.

උදේ ගෙදරින් එලියට බහින අය හවසට බයක් නැතුව ගෙදර යන්නේ මේ අයගේ කැපවීම නිසායි. ඉතින් මේ වෙනුවෙන් අපි හැමෝගෙම සහයෝගය ඔවුන්ට අවශ්‍යයි.

අපි මේ කියන්න යන්නේ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය ලක්මාල් කුලසේකර මහතාගේ අත්දැකීමක් සමග ලියවුණු සටහනක් ගැන. මේ සටහන කියෙව්වම ඔබට හිතෙයි මේ අය අපි වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවාද කියලා.

ඊයේ උදේ පාන්දර බදුල්ලේ එන්නට මා පදවාගෙන ආ රථය තෝලංගමුව මහ විද්‍යාලය ආසන්නයේ හමුදා මාර්ග බාධකයේදී නතර කෙරිණි. තව වාහන කිහිපයක්ද නවතා තිබිණි. වෙලාව උදේ හතර හමාරට විතර වන්නට ඇත. මම වම්පස වීදුරුව හිමිහිට පහත් කළෙමි. ගිලීගිය ඇස් දෙකකින් හා විඩාබර මුහුණකින් යුත් හමුදා සොල්දාදුවෙක් මෝටර් රථය තුලට නැඹුරු විය.

” මහත්තය කොහෙද යන්නෙ?” රථය තුල තීක්ෂණ ඇසකින් බලනා ගමන්ම ඔහු ඇසුවේය.

“බදුල්ලෙ”

“ඩොක්ට කෙනෙක්ද?” ඔහු වීදුරුවේ අලවා තිබූ අවසරපත දකින්නට ඇත.

“ඔව්”

“අයිඩෙන්ටියක් තියද?”

මම මාගේ රාජකාරි හැඳුනුම්පත දුන්නෙමි.

“බෑග් එක බැලුවට කමක් නැද්ද සර්?

“අනේ බලන්න..රෑම ඩියුටිද?

ඉස්සරහට ආසනය මත තිබූ මගේ බෑගය පරීක්ෂා කරන අතරම ඔහු මා දෙස මඳ සිනහවක් පෑයේය…

“ඔව් සර්…සමාවෙන්න කරදරයක් වුණානම්..දන්නවනෙ රටේ හැටි මේ දවස්වල..ඒකයි මේ”

“ප්‍රශ්නයක් නෑ” මම සිනහවෙන්ම උත්තර බැන්දෙමි.

“හරි සර්..පරිස්සමින් යන්න..මිනිස්සු බලන් ඇති සර් එනකල් “

නැවත වාහනය පණ ගන්වාගත් මා බදුල්ලට එනතුරුම හිතට කොනිති ගැහූ වචන දෙකක් විය.

“පරිස්සමින් යන්න”

රෑ එලිවෙනකන් මහපාරේ හිටගෙන පොද වැස්සට තෙමි තෙමි වාහන ඇතුලේ බෝම්බ තිබේදැයි බෑග් අවුස්සා හොයනා සොල්දාදුවාගේ පපුව ඇතුලේ ඉන්නා මනුස්සයා හොඳ නින්දක් ලබා නැගිට නවීන මෝටර් රථයක සැපට වැඩට යන මට ” පරිස්සමෙන් යන්න” යැයි කී හැටි පපුවට දැනිච්ච හැටි පුදුමය…

මිත්‍රවරුනි,

මේ මිනිස්සු බොහෝ විට මීට වඩා අන්ත දුක්ඛිත තත්ත්ව යටතේ සේවය කර ඇතුවාට සැක නැත.
ඒ වාගේ දහසක් වුන් ජීවිත පුදා අතපය පුදා අපට නිදහසේ ඉන්නට රටක් හදා දුන්නහ.

පාස්කු ප්‍රහාරයෙන් පසුවද උන් ඒ දේම කලහ. එදායින් මනත එක බෝම්බයක් නොපිපිරුණු කතාවේ රහස මේ මිනිස්සුය.

කිසිදා කිසිදින නිලඇඳුම් තුල ඉන්නා හමුදාවේ මිනිස්සුන් අමතක නොකල යුත්තේ එකය…
ගැරහිය නොයුත්තේ ඒකය…
උන්ගේ පුංචි වැරැද්දකට මුලු හමුදාවක් සමච්චලයට ලක් නොකල යුත්තේ ඒකය…

අප දරුවන්ට කියා දිය යුත්තේ එහෙමය…

මන්ද,

උන් කරනා මෙහෙය කීයක් ලැබුණත් මටවත් ඔබටවත් කරන්නට බැරි නිසාය…

හමුදාවේ සොහොයුරනි,

මෙහෙම සිපගත්තේ නැති වුනත්
මේ අම්මා තරමටම නැති වුණත්
ඔබට ආදරය කරනා ලංකාවේ මිනිස්සු අනන්තවත් සිටිති…

පරිස්සමෙන් ඉන්න…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!