Gossip

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 20%ක රැකියා අනතුරේ

කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 20%කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමිවනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් බටුගෙදර සඳහන් කළේ පසුගිය මාස 02 ඇතුළත මෙම අර්බුදය වැඩිපුරම බලපා ඇත්තේ මැදපෙරදිග කලාපයට බවත් එයින් කුවේට් සහ කටාර් යන රාජ්‍යයන්වල තත්ත්වය ගැටලුසහගත බවත්ය.

අපේ කාර්යාංශය එවැනි ගැටලුවලට මුහුණ දීපු ශ්‍රමිකයන්ගේ පැමිණිලි බාර ගැනීමේ සේවයක් ආරම්භ කර තියෙනවා. ඊට ලැබී ඇති පැමිණිලිවලට අනුව අපිට දැනට පවතින විදේශ රැකියාවලිනුත් සීයට විස්සකට ආසන්න සංඛ්‍යාවක් අහිමි වෙයි කියලා අත්දැකීම් අනුව කියන්න පුළුවන්.
එසේ පවසන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස රැකියා අහිමිවීම පිළිබඳ වැඩි අවදානමක් පවතින්නේ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල බවයි.

ගෘහ සේවිකාවන්ට මෙම තත්ත්වය විශාල ලෙස බලපාලා නැහැ. ඔවුන්ගේ රැකියා අහිමි කරනව කියලා හාම්පුත්තු විසින් දැනුම් දීපු අවස්ථා අඩුයි. නමුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ තවත් කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු ඇණහිටීම නිසා ඒවායේ සේවය කළ ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වී ඇති බව අපිට දැනගන්න ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් දැනට පවතින මෙම අර්බුදය ඉදිරි මාස 04ක කාලය ඇතුළත යථාතත්ත්වයට පත්වීම ආරම්භ වනු ඇතැයිද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය. එසේ දැනටමත් දකුණු කොරියාවේ හා ජපානයේ නව රැකියා අවස්ථා පිළිබඳ අදාළ රටවල් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 08කට ආසන්නය. ඉන් ලක්ෂ පහමාරක හයක සංඛ්‍යාවක් නිරන්තරයෙන් සක්‍රියව විදෙස්ගත සේවයේ නියුතුව සිටින බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!