Gossip

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා හමුවෙයි

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයෙන් අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

මේ වනවිට චීනය තුළ පමණක් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාධිතයින් බවට තහවුරු කරගත් සංඛ්‍යාව 2,827 ක්.

ඉන් 461 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව චීන නවතම වාර්තාවල සඳහන් වනවා.

මීට අමතරව නව කොරෝනා වෛරසය ආසියානු රටවල් 7කින් වාර්තා වනවා.

ඒ, තායිලන්තයෙන් රෝගීන් 08 ක්, සිංගප්පූරුවේ 04 ක්, ජපානයෙන් 03 ක්, මලයාසියාවෙන් 04 ක්, වියට්නාමය 02 ක්, දකුණු කොරියාව 04 ක් සහ නේපාලයේ එක් රෝගියෙකු ලෙසයි.

එම ලැයිස්තුවට කාම්බෝජයද අයත්වන බව අද පස්වරුවේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ තහවුරු කරගත් වෛරස් ආසාධිතයෙකු හමුවීම හේතුවෙන්ය.

මීට අමතරව ලොව පුරා තවත් රටවලින් කිහිපයකින් නව කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි.

ඒ ඔස්ට්‍රේලියාවෙන් 05 ක්, අමෙරිකාවෙන් 05 ක්, ප්‍රංශයෙන් 03 ක් හා කැනඩාවවෙන් එක් රෝගියෙක් ලෙසයි.

මේ අතර චීනයේ වාණිජ නගරයක් වන ෂැංහයි හි ආසාධිතයින් 53 දෙනෙකු වාර්තා වීමත් සමග නගරයේ සියලු ව්‍යාපාර කටයුතු එළඹෙන 09 වනදා දක්වා අත්හිටුවා තිබේ.

අද වනවිට චීනයේ විවිධ පළාත්වල වාසය කරන ශ්‍රී ලාංකිකයින් ගණන 660 ක්.

ඒ අතරින් බොහෝ දෙනෙකු මේ නව කොරෝනා වෛරසය හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා.

ඒ අතරින් වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව තිබෙන චීනයේ වූහාන් නගරය අයත්වන හුබෙයි පළාත තුළ ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මේවනවිටත් රැඳී සිටින බව වාර්තාවල සඳහන්ය.

මීට අමතරව වෛරසය ආසාධිත වූවන් වැඩි වශයෙන් වාර්තාවන චීනයේ හෙනාන් පළාතේ ශ්‍රී ලාංකිකයින් 111 දෙනෙකු, ජර්ජියං හා හුනාන් යන පළාත් දෙකෙහිම ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු රැඳී සිටියි.

මේ අතර චීනයේ බීජීං,ග්වැන්ෂෝ,චෙංඩු හා කැන්ටන් යන ගුවන්තොටුපොළවල සිට දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ මගී පර්යන්තයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත කර තිබෙනවා.

විශේෂ මගී පර්යන්තයේදී කොරෝනා වෛරසය සහිත රෝග ලක්ෂණ ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යාම සඳහා ගිලන් රථ ද ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සූදානම් කර තිබේ.

මේ අතර කොරෝනා වෛරසය පිළිබඳ දැනුම්වත් වීමත් සමඟ ඇතැමුන් මුඛ ආවරණ පැළඳගෙන කොළඹ නගරයට පැමිණ සිටි අයුරු අපට දැකගත හැකි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!