Gossip

වෙඩි පහරකින් මියගිය පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳුරේ මධූෂ්ගේ සෙල්ලම්

සුපුරුදු පරිදි ගනුදෙනුකරුවන් දෙදෙනකු මැණික් ව්‍යාපාරිකයා මුණගැසීම පිණිස ඔහුගේ අරලියපුර පිහිටි නිවසට පැමිණ ඇත්තේ කලින් කතාබහ කරගත් පරිදි එක්තරා ව්‍යාපාරික කටයුත්තක් සිදුකිරීම පිණිසය.
මෙරට පුද්ගලයකු එම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇති අතර ඔහු සමඟ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි අනෙක් පුද්ගලයා විදේශීය ජාතිකයෙක්ය.
ඉකුත් 05 වැනිදාට දින කීපයකට ඉහත දිනකද මෙම පුද්ගලයන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇති අතර ගනුදෙනුව පිළිබඳ මූලික කතාබහ සහ මිල ගණන් තීරණය කර ගනු ලබන්නේ එදිනය.
මහරගම පොලිස් බලප‍්‍රදේශයට අයත් ඇරැව්වල අරලියපුර ප‍්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක්ය.
ප‍්‍රකට ව්‍යාපාරිකයකුට අයත් මෙම නිවසට යාන වාහනවලින් පිටස්තර පුද්ගලයන් නිතර නිතර පැමිණීම අවට ප‍්‍රදේශවාසීන්ට සාමාන්‍ය දර්ශනයක්ය.
ඊට හේතුව බවට පත්වන්නේ එම සුවිසල් නිවස අයත් පුද්ගලයා ප‍්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වීමත් මැණික් මිලදී ගැනීම සහ අලෙවිය පිණිස යම් යම් පුද්ගලයන් ඔහු මුණගැසීමට නිතර එම නිවසට පැමිණීම කලක පටන් ප‍්‍රදේශයේ ජනතාවට නොරහසක්ව පැවතීමත්ය.
දිනය ඉකුත් 05 වැනිදාය. සුපුරුදු පරිදි ගනුදෙනුකරුවන් දෙදෙනකු මැණික් ව්‍යාපාරිකයා මුණගැසීම පිණිස ඔහුගේ අරලියපුර පිහිටි නිවසට පැමිණ ඇත්තේ කලින් කතාබහ කරගත් පරිදි එක්තරා ව්‍යාපාරික කටයුත්තක් සිදුකිරීම පිණිසය.
මෙරට පුද්ගලයකු එම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇති අතර ඔහු සමඟ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි අනෙක් පුද්ගලයා විදේශීය ජාතිකයෙක්ය. ඉකුත් 05 වැනිදාට දින කීපයකට ඉහත දිනක ද මෙම පුද්ගලයන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇති අතර ගනුදෙනුව පිළිබඳ මූලික කතාබහ සහ මිල ගණන් තීරණය කර ගනු ලබන්නේ එදිනය.
මැණික් ව්‍යාපාරය යනු සුවිසල් මුදලක් ආයෝජනය කර සිදුකරනු ලබන ව්‍යාපාරික කටයුත්තක් සේම නිරන්තර අවදානමක්ද සහිත ව්‍යාපාරික කටයුත්තක්ය.
එදින එම සුවිසල් නිවස තුළ සිදුවීමට නියමිතව පැවතියේ එසේ මෙසේ ගනුදෙනුවක් නොව ලොව ඉතාමත් විරල ගණයට අයත් ‘නිල් දියමන්තියක්’ අලෙවිය පිණිස තීරණාත්මක ගනුදෙනුවක්ය. කලින් කතිකා කරගත් පරිදි විදේශීය ජාතිකයා හා තැරැව්කරු දියමන්ති පරීක්‍ෂා කර බලන යන්ත‍්‍ර දෙකක් ද සමඟ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි අතර එම දියමන්තිය ස්වභාවික එකක් දැයි සැක හැර දැන ගැනීමෙන් පසුව අදාළ ගනුදෙනුව සිදු කිරීමට විදේශීය ජාතිකයා විසින් කැමැත්ත පළ කර සිටීම තුළ ව්‍යාපාරිකයාගේ තීරණය බවට පත්ව තිබී ඇත්තේ එම දැවැන්ත ගනුදෙනුව නිමා කොට නිල් දියමන්තිය විදේශිකයා අතට පත් කිරීමය.
ඒ අනුව විදේශීය ජාතිකයා විසින් බලපත‍්‍රලාභී මැණික් ව්‍යාපාරිකයා සන්තකයේ එතෙක් දිනක් පැවැති ‘නිල් දියමන්තිය’ අවසන් වශයෙන් පරීක්‍ෂා කිරීම ආරම්භ කරන්නේය.
එවෙලෙහි ව්‍යාපාරිකයාට අයත් නිවසෙහි භාෂා පරිවර්තකයකු ඇතුළු තවත් පුද්ගලයන් කීපදෙනෙක් ද වූහ. ඒ අතර ව්‍යාපාරිකයාගේ නිවස වෙත පැමිණෙන තවත් වෑන් රථයක්ය. පූර්ව දැනුම් දීමකින් තොරව නිවස වෙත සමීප වන වෑන් රථය වෙත විමසිලිමත් දෑස් යොමු කරන නිවස තුළ සිටි පුද්ගලයන්ට දැක ගැනීමට ලැබෙන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසුන පුද්ගලයෙක් සහ සිවිල් පුද්ගලයන් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයෙන් බිමට බසින දර්ශනයක්ය.
කිසිම කලබලයකින් තොරව නිවස වෙත පැමිණ ඇති එම පුද්ගලයන් පිරිස තමන් පොලිස් නිලධාරීන් පිරිසක් බව හඳුන්වා දෙමින් නිවස පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කොට ඇත.
හදිසියේ තම නිවස පරීක්‍ෂාවට ලක් කිරීමට සැරසෙන්නේ කුමන හේතුවක් මත දැයි ව්‍යාපාරිකයා විසින් ප‍්‍රශ්න කිරීමත් සමඟ ඊට පිළිතුරු ලෙස ඔවුන් ප‍්‍රකාශ කර සිටින්නේ කලක පටන් එම නිවස තුළ මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් සිදුකරන බව පොලිසියට පැමිණිලි ලැබී ඇති බවය.
ඉන් එපිටට කතාබහ කිරීම නතර කරන ‘පොලිසිය’ යැයි කියා ගන්නා පිරිස පළමුව විදේශීය ජාතිකයා සහ එවෙලෙහි ඔහු විසින් පරීක්‍ෂා කරමින් තිබූ නිල් දියමන්තිය ඔවුන්ගේ ග‍්‍රහණයට ගෙන ඇති අතර ඉන් අනතුරුව විදේශීය ජාතිකයාගේ දෑත් එකතු කොට මාංචු දමා ඇත.
ඒ අතරතුර නිවසෙහි සිටි අනික් පිරිස ද තමන්ගේ ග‍්‍රහණයට ගන්නා වෑන් රථයෙන් පැමිණි පිරිස ව්‍යාපාරිකයාගේ හිසට ගිනි අවියකින් පහර දෙමින් ඔහු සතුව පැවැති වෙනත් මැණික් ගල් තොගයක් ඇතුළු නීත්‍යනුකූල බලපත‍්‍රය ද ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව කොල්ලකරුවන් පිරිස අරලියපුර පිහිටි ව්‍යාපාරිකයාගේ නිවසින් පලා ගොස් ඇත්තේ විදේශීය ජාතිකයාවද කොල්ලකරුවන් පැමිණි වෑන් රථයට නංවා ගැනීමෙන් අනතුරුවය.
එම සිදුවීමෙන් මද වේලාවකට අනතුරුව ඒ පිළිබඳ ව්‍යාපාරිකයා විසින් මහරගම පොලිසියට පැමිණිලි කරන අතර පොලිස් පරීක්‍ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
තමන්ගෙන් පැහැරගත් නිල් දියමන්තිය රුපියල් කෝටි 700 ක් පමණ වටිනාකමෙන් යුත් බව ව්‍යාපාරිකයා විසින් පොලිසියට දැන්වීමත් සමඟ මහරගම පොලිසිය විසින් ඒ පිළිබඳව ප‍්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතාට කළ නියෝගයක් අනුව මෙම මහා කොල්ලය පිළිබඳ පරීක්ෂණ සිදුකළා.
ඒ අනුව අංශ කීපයක් ඔස්සේ පරීක්‍ෂණ අරඹන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය දින කීපයක් ගතවීමත් සමඟ මෙම කොල්ලය පිළිබඳ වැදගත් තොරතුරක් අනාවරණය කර ගන්නේය. පො.කො. (84762) කුමාරට ලැබෙන තොරතුරක් මත කි‍්‍රයාත්මක වන නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 17 දා පාදුක්ක වටරැක ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අතර වැඩිදුරටත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම කොල්ලයේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වන්නේය.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා මින් පෙරත් අපරාධ රැසකට සම්බන්ධ වී ඇති පුද්ගලයකු බවත් කලක් යුද හමුදාවේ සේවය කළ තැනැත්තකු බවත් අනාවරණය කර ගන්නා පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු ලබා ගන්නේ ඒ ඔස්සේ කළ පරීක්‍ෂණවලින් අනතුරුවය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයා ගන්නා ජංගම දුරකථනයක් පරීක්‍ෂා කිරීමේදී පොලිසියට දැක ගැනීමට ලැබෙන්නේ පැහැරගත් දියමන්තිය ඇතුළු තවත් මැණික් ගල් රැසක ඡායාරූප සහ වීඩියෝ දර්ශන කීපයක්ය.
එම සාක්‍ෂිය ඔස්සේ සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන පොලිසිය විසින් අනාවරණය කර ගනු ලබන්නේ මෙම දියමන්ති කොල්ලයේ පිටුපස පාතාල ප‍්‍රබලයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා සිටින බවත් ඔහුගේ සැලසුම් සහ උපදෙස් මත කොල්ල කල්ලිය විසින් නිල් දියමන්තිය ඇතුළු මැණික් ගල් තොගය පැහැරගෙන ගොස් ඇති බවත්ය.
ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධුෂ් සහ අත්අඩංගුවටගත් සැකකරු මෙම කොල්ලය පිළිබඳ ‘ඉමෝ’ තාක්‍ෂණය ඔස්සේ මධුෂ් සමඟ සම්බන්ධකම් පවත්වා ඇත්තේ ‘සහන්’ නමැති අන්වර්ථ නමක් භාවිතා කරමිනි. මෙම කොල්ලයට සම්බන්ධ අනිකුත් පුද්ගලයන් පිළිබඳ පොලිසිය විසින් සැකකරුගෙන් විමසීමේදී සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් කිසිවෙක්ව තමන් පුද්ගලිකව නොහඳුනන බවත් දියමන්තිය ඇතුළු මැණික් ගල් තොගය රැගත් පාර්සලය ගෙන ගිය පුද්ගලයා කවුරුන් දැයි කීමට තමන් නොදන්නා බවත්ය.
මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත කොල්ලකන ලද දියමන්තිය ඇතුළු මැණික් ගල් පාර්සලය මරදාන ප‍්‍රදේශයේ පුද්ගලයකුට භාර දුන් බවත් සඳහන් කර ඇති සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ බන්ධනාගාරය තුළදී ඇතිකරගත් දැන හැඳුනුම්කම් හේතුවෙන් මාකඳුරේ මධුෂ් හා තමන් අතර හිතවත්කමක් ගොඩනැංවුණ බවය.
සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී මැණික් ව්‍යාපාරිකයා සතුව තිබූ මැණික් මිලදී ගැනීම හා අලෙවිය පිණිස වන නිත්‍යනුකූල බලපත‍්‍රය පොලිසිය විසින් සොයාගැනීමට සමත් වී ඇත.
පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණවලින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොල්ලකරුවන් විසින් වෑන් රථයේ දමාගෙන පැමිණි විදේශීය ජාතිකයා පැහැර ගැනීමෙන් මද වේලාවකට පසුව මහරගම පිළියන්දල පාරේ එක්තරා ස්ථානයක දමා ගොස් ඇති බවත්ය.
බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප‍්‍රසාද් රණසිංහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් අධිකාරි නුගේගොඩ සමන් සිගේරා මහතා, මිරිහාන අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති පො.ප. ජයන්ත පෙරේරා, උ.පො.ප. හේමන්ත කුමාර, පො.සැ. (20553) මැන්ඩිස්, පො.සැ. (56951) සුනිල්, පො.සැ. (16053) අතුල, පො.කො. (21284) බණ්ඩාර, පො.කො. (40248) ප‍්‍රසන්න, පො.කො. (10350) නලින්ද, පො.කො. (77688) අමිල, පො.කො. (81600) සමීර, පො.කො. (84772) කුමාර, පො.කො. (72989) ගිහාන්, පො.කො. (88527) සුජිත් මෙම වැටලීම සඳහා සහභාගි වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!