Gossip

“මට නපුරු හීන පේනවා. නිදාගන්න බැහැ. බියක් දැනෙනවා.. මම ඇය අවසන් හුස්ම හෙළන තෙක් ඇගේ අත අල්ලගෙන හිටියා.” – Covid 19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වෙන්ටිලේටර් අක්‍රිය කරන හෙළිදයක් හෙළි කළ කතාව – Photos

Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය.

එහෙත් එවැනි යන්ත්‍රයක පිහිට ලබා දුන්නත් ඇතැම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි අවස්ථාවලට ද මුහුණ දීමට සිදුවෙයි.

ජොනිටා නිට්ලා නම් බ්‍රිතාන්‍ය හෙදියගේ නිල කාර්යයක් වන්නේ එවැනි ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර පහසුකම් රෝගියාට පලක් නොවන අවස්ථාවකදී එය අක්‍රිය කිරීමය.

හතළිස් දෙහැවිරිදි,ජොනිටා ලන්ඩන් නගරයේ පිහිටි ‘රෝයල් ෆ්‍රී ආරෝග්‍යශාලාවේ’ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෙදියකි. ඇය අධිසත්කාර අංශයේ විශේෂඥ හෙදියක ලෙස වසර දහසයක කාලයක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ’ (NHS) කටයුතු කරන්නීය.

”මේ රැකියාව වේදනාකාරීයි. සිත කම්පාවට පත් කෙරෙන්නක්. සමහර අවස්ථාවල මට හිතිලා තියෙනව මමත් සමහර මරණවලට යම් ආකාරයකින් වගකිව යුතුය කියල” ජොනිටා සඳහන් කළාය.

කොරෝනාවෛරසය ආසාදිතව රෝගියකුගේ පෙනහැල්ල දුර්වලව අක්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස – ප්‍රාශ්වාස කාර්යය ‘වෙන්ටිලේටර්’ යන්ත්‍රයකට පැවරෙයි.

කොරෝනා රෝගියාට වෛරසයට එරෙහිව තවදුරටත් පොර බැදීම සඳහා එමගින් තවත් කාලයක් ලැබෙනු ඇත.එහෙත් ඇතැම් අවස්ථාවන්හි එම කාලය ප්‍රමාණවත් නොවීමට ද ඉඩකඩ පවතී.

සුවයක් නොලබන රෝගියකුට සම්බන්ධ කර තිබෙන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍රයක් අක්‍රිය කිරීමේ තීන්දුව ගැනීමේ දී වෛද්‍ය කාර්ය මණ්ඩල ඉතා දුෂ්කර මොහොතකට මුහුණ දෙති. එවැනි තීන්දුවක් ගනු ලබන්නේ කරුණු රාශියක් දැඩි සැලකිල්ලට ගනිමිනි. රෝගියාගේ වයස, ඔහු පීඩා විඳින වෙනත් දරුණු සෞඛ්‍ය ප්‍රශ්න, ඔවුන් ‘Covid 19’ වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය සහ වෛරසයෙන් බේරීම අතින් අදාළ රෝගියාට ඇති අවස්ථාලාභය වැනි කරුණු එවැනි අවස්ථාවන්හි සැලකිල්ලට ගනු ලැබේ.

අප්‍රියෙල් මාසයේ දෙවැනි සතියේ එක් උදෑසනක ජොනිටා හෙදිය කැඳවූ අධිසත්කාර ඒකකයේ රෝගීන් ලියාපදිංචි කරන නිලධාරියා, එදින ඇයගේ නිල රාජකාරි පිළිබඳව දැනුවත් කළාය. ඇයට එදින පැවරුණ පළමු නිල කාර්යය වුණේ, Covid-19 වෛරසය ආසාදිතව සිටි වයස අවුරුදු පනස් ගණනක් වූ වෙනත් හෙදියක් සඳහා සැපයෙමින් තිබූ ප්‍රතිකාර නතර කිරීමය.

කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් අප්‍රියෙල් මස මුලදී බල පැවැත්වුන රෙගුලාසි අනුව පවුලේ සාමාජිකයන්ටවත් මියැදෙමින් සිටින රෝගියකු බැලීමට අවසර නොලැබුණි. ඒ අනුව ජොනිටා හට සිදුවූයේ කොරෝනාවෛරසය ආසාදිතව මරණාසන්නයේ සිටි හෙදිය සම්බන්ධයෙන් ගැනීමට යන ක්‍රියාමාර්ගය දුරකතනය ඔස්සේ එම හෙදියගේ දියණියට දැනුම්දීමය.

– බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද නව රෙගුලාසි අනුව කොරෝනාවෛරසය ආසාදිත රෝගියකු මරණාසන්න වූ විට, ඔහුගේ හෝ ඇයගේ පවුලේ කිට්ටුම ඥාතීන්ට ඔවුන්ගෙන් සමුගැනීමට රෝහල් සයනය අසලට යාමට දැන් අවසර ලැබේ.-

” මම රෝගියාගේ දුවට කිව්වා අම්මා වේදනාවකින් තොරව, ඒ වගේ ම ඉතා ම පහසුවෙන් සිටින බවක් පෙනෙනවාය කියල.” ජොනිටා සඳහන් කළාය.

”ඒත් එක්ක ම මම ඇහුවා අම්මගේ බලාපොරොත්තු හැටියට තිබුණේ මොනව ද? ඇයගේ ආගමික උවමනා මොනව ද? කියල ”

ජොනිටා උවැටන් කරමින් සිටි රෝගී කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටියේ තවත් රෝගීන් අටදෙනෙකු තබා ගත් වාට්ටුවකය. සිහිසුන් තවත් රෝගීන් පිරිසක් ඇයගේ පිරිවර විය.

”මම රෝගියාගේ සයනය තිර රෙදිවලින් ආවරණය කළා. අනතුරු ඇඟවීමේ සියලු සීනු අක්‍රිය කෙරුව”

ඒ සමඟ වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මොහොතකට නිහඬ වූහ. දුරකතනය අතට ගත් ජොනිටා එය රෝගියාගේ කනට ලංකොට මවට කතාකරන ලෙස ඇයගේ දියණියට උපදෙස් දුන්නාය.

අනතුරුව ඇය රෝගියාගේ පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි සංගීතයක් වාදනය කරමින් ‘වෙන්ටිලේටරයේ’ ස්විචය සෙමෙන් අක්‍රිය කළාය.

”මම මියැදෙමින් සිටි රෝගී කාන්තාව අවසන් හුස්ම හෙලන තෙක් ඇයගේ අත අල්ලාගෙන සිටියා”

ජොනිටා ‘වෙන්ටිලේටරය’ අක්‍රිය කරනු ලැබීමෙන් මිනිත්තු පහකටත් අඩු කාලයක් ඇතුළත රෝගී කාන්තාව අවසන් හුස්ම හෙළුවාය.

”රෝගියාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කෙරෙන යන්ත්‍රයේ ආලෝකය නිවෙන්න -දැල්වෙන්න පටන් ගන්නවා මම දැක්කා. හෘදස්පන්දනය ‘බිංදුව’ හැටියට සටහන් වුණා. හද ගැස්ම පෙන්වන රේඛාව තිරයේ පෙන්නුම් කෙරුණේ තනි ඉරක් විධියට ”

මොහොතකට පෙර අවසන් හුස්ම හෙළූ රෝගියාගේ සිරුරට වේදනා නාශක ඖෂධ සපයමින් තිබුණ බට එම සිරුරෙන් ගළවා ඉවත් කිරීමට ජොනිටා පියවර ගත්තාය.

එහෙත් රෝගී කතගේ දියණිය දුරකතනය ඔස්සේ සිය මවගේ කනට තවමත් කතා කරමින් සිටින්නේ රෝහල් කාමරයේ සිදු වූ හෝ සිදුවෙමින් පවතින දේ නොදැනය. ඇය සිය මව වෙනුවෙන් තවමත් යාඥා කරන්නීය. අනතුරුව ජොනිටා දැන් සියල්ල හමාර බව දුරකතනයේ එහා කෙළවර සිටින කාන්තාවට දැනුම් දීමට රිසීවරය සියතට ගත්තාය.

”මම මගේ කණ්ඩායමේ අනිත් අයගේත් උදව් ඇතිව මියගිය කාන්තාව ඇඳේදී ම සේදුවා. ඊට පස්සේ සුදුපාට මිනී ඇඳුමකින් මළසිරුර එතුවා. ඊළඟට සිරුර ‘බොඩි බෑග්’ එකකට ඇතුල් කළා. බෑග් එක සීල් කරන්න ඉස්සර වෙලා මම මළ සිරුරේ නළලේ කුරුසය සටහන් කළා”

රැයේ දකින නපුරු සිහින
මියැදෙමින් සිටින රෝගීන්ට උවැටන් කිරීමට හැකි වීම උද්ගතව පවතින අර්බුදය සමඟ පොර බැදීමේදී තමාට උදව්වක් බව ජොනිටා පවසන්නීය.

රෝහලට ඇතුළත් කර ගනු ලබන රෝගීන්ගේ සංඛ්‍යාව එකවරම මහා පරිමාණයෙන් වැඩිවීමත් සමඟ ඇය සේවය කරන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සංඛ්‍යාව 34 සිට තෙක් වැඩි කරනු ලැබිණි.

”සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයක එක රෝගියෙකුට එක හෙදියක් යන අනුපාතයටයි – හෙද සේවකයන් යොදවන්නේ. දැන් එක හෙද හෝ හෙදියකට රෝගීන් තුන් දෙනෙක් බලාගන්න වෙනවා” ජොනිටා විස්තර කළාය.

”පවතින තත්ත්වය තවත් නරක අතට හැරුණොත්, එක හෙදියකට රෝගීන් හය දෙනකු බලාගන්න වෙන තත්ත්වයක් උද්ගත වේවි”

ජොනිටාගේ හෙද කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් ද කොරෝනා ආසාදිත ලක්ෂණ ප්‍රදර්ශනය කරන ලද හෙයින් මේවනවිට ස්වයං-නිරෝධායනයේ පසුවෙති. ඒ අතරවාරයේ ‘ලන්ඩන් රෝයල් ෆ්‍රී රෝහල’ දැඩි සත්කාර අංශවල සේවය සඳහා සහායක හෙද හෙදියන් පුහුණු කරමින් ඇත.

”අපි අපේ සේවා මුර භාරගන්නකොට අත් එකට අල්ලගෙන ‘ප්‍රවේශම් වෙන්න’ (stay safe!) කියල හැමෝට ම කියා ගන්නවා. එකිනෙකා ගැන අවධානයෙන් ඉන්නේ.හැම කෙනෙක් ම අත්වැසුම්, මුඛ ආවරණ සහ වෛරසයෙන් බේරීමට අඳින ඇඳුම් ඇඳල ද? කියල බලනවා” ජොනිටා සිය කටයුතු පැහැදිලි කළාය.

ඇය සේවය කරන දැඩි සත්කාර ඒකකයෙන් දැන් දිනකට එක මරණයක්වත් වාර්තා වේ. එය මෙම කොරෝනා වසංගතය ආරම්භවීමට පෙර පැවති තත්ත්වය සමග සාපේක්ෂව බැලීමේදී ඉහළ මට්ටමේ අනුපාතයකි.

”මෙය බිය උපදවන තත්ත්වයක්” ජොනිටා කියා සිටියාය. ප්‍රධාන හෙද නිලධාරිනියක ලෙස ඇයට ඇතැම්විට සිය භීතිය මැඩලීමේ ප්‍රයත්නයක නිරත වන්නට සිදුවේ.

”මට නපුරු හීන පේනවා. නිදාගන්න බැහැ. වෛරසය මටත් ආසාදනය වේවි කියල බියක් දැනෙනවා. බිය කියන දේ කාටත් දැනෙන දෙයක්”

පසුගිය වසරේ ක්ෂය රෝගයට ගොදුරු වීමෙන් ජොනිටා හට මාස කිහිපයක් ම රැකියාවෙන් බැහැර වීමට සිදුවිය. ඇයගේ පෙනහැලිවල ශක්තිය දුර්වල බව ඇය දනී.

”සමහරු මට කියනවා මම වැඩට නොයා යුතුයි කියල. ඒත් මේක වසංගතයක්. මම මගේ තත්ත්වය අමතක කරලා මගේ කාර්යභාරය ඉටු කරනවා”

”මම බලා ගනිමින් සිටියදී මරණයට පත් රෝගීන් ගැන මට මගේ වැඩ මුරය අවසානයේදී සිහිපත් වෙනවා. නමුත් මම රෝහලෙන් පිටවෙද්දී ඒ ඔක්කොම අමතක කරන්න මම උත්සහ ගන්නවා”

ජොනිටා අවසන් වශයෙන් සඳහන් කළාය.

ජොනිටා බීබීසී වෙත සිය අදහස් දැක්වීමෙන් අනතුරුව, රෝහලේ ප්‍රධානියා ඇය පෙළෙන අනතුරුදායක අසනීප තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නිවසේ රැදී සිටින ලෙස ඇයට උපදස් දී ඇත. එම කාලය තුළ සිය නිවසේ සිට රෝහල් පරිපාලන කාර්යයන්ට සහයෝගය දෙමින් සේවය කිරීමට ජොනිටා සැලසුම් කරයි.

උපුටා ගැනීම – BBC සිංහල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!