Gossip

‘‘ වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ, කවදා හෝ නුඔ වියපත් වූ දා පියා කොහේ දැයි අසනු එපා’’ – අවසන් වටයට පියාට ගීතය තෝරාදී අවසන් ගමන ගිය පුතා

ජීවත්වීමට වෙරදරන මේ ලොව මතුපිට සිදුවන සිද්ධීන්ගෙන් දෑසට නංවන සතුටු කඳුළ මොනතරම් සුන්දර ද? එහෙත් එහි යටිපෙළේ සිදුවන සිද්ධීන් නිසා දෑසට නංවනුයේ මොනතරම් අසුන්දර කඳුළක් ද? මෙම ලිපියට කේන්ද්‍ර වනුයේ, අපේ රටේ පමණක් නොව ලෝකයේ රටරටවල පවා ජීවත්වන ශ‍්‍රී ලාංකික රසික ජනතාවගේ සිත් දිනා ගැනීමට තරම් ගායන හැකියාවෙන් පිරිපුන් මනහර හඬකට, ඉරණම පෑ වයස අවුරුදු හැට ඉක්මවූ මිනිසාගේ දෑසට නැංවුනු සතුටු කඳුළ සහ එම සතුට ඔහුට ලබාදීමේලා අත්වැලක් බඳුවූ හිරිමල්වියේ පසුවන, පුත‍්‍රස්නෙහයේ ලා වැඩුණු තරුණයාට සිදුවූ ඛේදනීය සිද්ධිය නිසා, එම සතුට දුක් කඳුළකට හැරවුණු නිමේෂය කියා පෑමට ය. ජීවත්වීමට දඟලන මිනිසාට මොනතරම් අසුන්දර දුක්වේදනා එක් ක්‍ෂණයකින් පවා ඔහුට අත්කර දෙන්නේද යන්න මෙම සිද්ධිය මනාව කියාපායි.

පසුගිය තුන්වන (3) දිනය උදාවී ගතවන විනාඩි තිහේදී හයිලෙවල් මහා මාර්ගය දෙපස පිහිටි ගොඩනැගිලි හඹායන තරමේ අධික වේගයෙන් පැදවූ මෝටර් බයිසිකලය මහරගම, වත්තේගෙදර බෝසමිඳුන්ට ආවරණය සලසන තාප්පයේ ගැටී, හිරිමල් වයසේ පසුවන මෙම තරුණයා (19) එතැන ම මියයෑමත්, එම අනතුරට ලක්වූ මෝටර් බයිසිකලයක් ධාවනය කිරීමට පවා බලපත‍්‍රයක් නොමැති අනෙක් තරුණයා (16) මරු දැක දැක මහරෝහලේ දැඩි සත්කාරයේ පසුවීමේ ඛේදවාචකය, එතෙක් මෙම මිනිසාගේ ඇසට නැංවුනු සතුටු කඳුළ, අසුන්දර දුක් කඳුළක් බවට පත්කළ සිද්ධියයි. ඔහු, ජී. ඞී. පේ‍්‍රමරත්නය. මියගියේ, ඔහුගේ පූත‍්‍ර සෙනෙහසේ ඇතිදැඩිවුණු විතානගේ දුල්ෂාන් තරුණයාය.

ජී. ඞී. පේමරත්නගේ දෙඇසට නැංවුණු සතුටු කඳුළ, මතුවුණු අවස්ථාව කියා පෑවේ, පසුගිය සැප්තැම්බර් මස 2 වන දින මධ්‍යම රාත‍්‍රියේ දෙරණ නාලිකාවේ සික්සිට් ප්ලස් (60+) කිරුළ පළඳා ගන්නා මොහොතය. එම සිද්ධියෙන් හරියටම මාස දෙකක් ගතවන මොහොතේ, එනම් නොවැම්බර් මස 2 වැනිදා දොළහේ කනිසම පසුවී විනාඩි තිහක කාලයේ සිදුවූ මෙම ඛේදනීය ඉරණම සවනට වැදුනු මොහොතේ, ඔහුගේ දෙනෙතට නැංවුණු කඳුළ මේ දක්වා වියළී නොතිබෙන අයුරු පතිරගොඩ වෙලපාරේ ඔහු ජීවත්ව සිටින නිවසට ගිය මොහොතේ අපට දැක ගැනීමට ලැබිණ.

සිඟිති දරුවන් පවා අමුඅමුවේ කපාකොටා මරාදමන අයුරු මාධ්‍යයෙන් අසන්නට ලැබෙන තරමේ කාලකණ්ණි මිනිසුන් ජීවත්ව සිටින අපේ රටේ, අකල් මරණයට ගොදුරුවුණු මෙම තරුණයාගේ ජීවන පුවතේ, මිනිස්කම් කියාපාන කාගේ වුව දෑස් අරවන තරමේ සුන්දර කතාවක් මෙහි යටිපෙළේ වෙයි. ස්වකීය පවුලේ එකම දියණිය සමඟ වයස අවුරුදු දෙකක තරමේ කුඩා අවධියේ සිට ලොකු මහත්වන තෙක්, මෙම තරුණයා, පුත‍්‍ර ස්නේහයෙන් ඇතිදැඩි වුණු පුත‍්‍ර රත්නයකි.

මෙහි යට මතුවී සිට, මෙම අනතුර නිසා එළියට පැන්න සිද්ධියක්ද වෙයි. සික්සිට් පලස් (60+) කිරුළ පළඳගන්නා අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලය පමණක් නොව, ඇසුණු කාගේ වුව සිත් වශීකළ ඔහු ගැයූ ගීතයේ් පදමාලාව, මරණයෙන් කෙලවර වූ මෙම කතාවේ අවසානයටත් එක්ව තිබීම ය. ඔහු ගැයුවේ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ‘‘ වීදි කොනේ මාවත අද්දර හඬන කිරි දරුවෝ කවදා හෝ නුඔ වියපත් වූ දා පියා කොහේ දැයි අසනු එපා’’ පේමරත්න ගැයූ මෙම ගීය දෛවෝපගත පරිදිම, මෙම තරුණ කිරිදරුවා මියගියේ, වීදී කොනේ මාවත අද්දර තිබූ වත්තේගෙදර බෝසමිඳුන්ට ආවරණය සලසන තාප්පයේ හැපීමෙනි.

අනේ තාත්තේ, මිල්ටන් මල්ලව ආරච්චිගේ අර ‘‘විදී කොනේ මාවත අද්දර’’ ගීය කොහොම හරි අවසන් වටයේ ගයන්න ම ඕනේ. අවසන් වටයේ ගීත ගැයීමට ගීත පහක් (5) තෝරා දෙන්න කියා දෙරණ නාළිකාව අපට දැන්වූ අවස්ථාවේ, මියගිය පුතාගේ ඉල්ලීම නිසා, ඔහු යොමු කළ මෙම ගීතය තෝරා දී, අවසන් වටයේ කෙසේ හෝ එම ගීය ගායනා කිරීමට මට අවස්ථාව ලබාදෙන මෙන් සංවිධායකයන්ගෙන් මම ඉල්ලා සිටියා. එකී අවස්ථාව දෛවෝපගත සිද්ධියකින් දැයි කියන්න මම දන්නේ නැහැ, මියගිය පුතා තෝරා දුන්නු ගීතය ගායනා කිරීමේ භාග්‍යය මට ලැබුණා. මම හිතනවා මියගිය පුතා තෝරා දුන් මෙම ගීතය නිසා තමයි මෙම තරගයේ ජයග‍්‍රහණයේ වාසනාව මට අත්කර දුනේ. මෙම තරගයේ මුල සිටම මට අත්වැලක් වූයේ අරන් හදාගත්ත මගේම ඥාතියාගේ මෙම පුත‍්‍ර රත්නයි. ඔහු ගීටාර් වාදකයෙක්. ඒ වගේම සංගීතයටත් ඔහුගේ දක්‍ෂතාවක් තිබුණා.

මෙම අවාසනාවන්ත මරණය ඔහුට උදාවූයේ, ඔහුට මම දුන්නු අවවාදය ඔහු විසින් නොපිළිපැද්ද නිසා. ඒ, රාත‍්‍රි කාලයේ ගමන්බිමන් වලින් වළකින ලෙස මම ඔහුට දුන්නු උපදෙස් ඔහු විසින් කඩකිරීමයි. මෙම සිද්ධිය වූ දවසේ රාත‍්‍රිය අට පසුවන විටත් මියගිය දුල්ෂාන් පුතා නිවසේ නොසිටි නිසා, ඔහුගේ දුරකථනයට කතා කළාම, ඔහු කීවේ යාළුවෙකුගේ මළ ගෙදරක සිටින බවයි. ‘‘දැන් කීයද වේලාව, මං කියල තියෙනවා නේද කොහේ ගියත් රාත‍්‍රි අටෙන් පස්සේ ගෙදර එන්න කියල.’’ ‘‘යාළුවෙක් නේ තාත්තේ, එහෙනම් මම පාන්දර තුනට විතර එන්නම්, පොළේ රෙදිපිළි දාන්නත් එක්ක ම බලාගෙන’’. එසේ කී ඔහු දුරකථනය විසන්ධි කළා. පසුව මට දැන ගන්න ලැබුණා, ඒ ඔහු සමඟ පැවැත්වූ මගේ අවසන් කතාවය ඒ. එම මොහොතේ, මම හිතාගත්තා උන්දැ ගෙදර ආවාහම ආයෙත් රාත‍්‍රි කාලයේ මෙහෙම ගමන් බිමන් නොයන්න මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ කියලා. ඒත් ඔහුට දඬුවම ලබාදුන්නේ, වෙනත් බලවේගයක්, මොනතරම් කුරිරු අන්දමටද? මගේ හිතට නම් එය වාවන්නේ නැහැ.

මෙම අනතුරෙන් පස්සේ මට දැන ගන්න ලැබුණා, එතැන හිටපු අයෙක් තමන්ගේ මෝටර් රථයෙන් පුතා ගිහින් බස්සවන්නද කියා අහලා තියෙන බව. මෝටර් බයිසිකලය පැදපු කෙනා කියා තියෙනවා අපි දෙන්නා බයිසිකලයෙන්ම යන්නම් කියා. කෙනෙකුගේ ජීවිතය තමන්ට අහිමි වන්නේ මොන තරම් අවාසනාවන්ත අන්දමටද?

ඔහු තමයි මගේ රෙදිපිළි වෙළඳාමේ කටයුතුවල යෙදිලා හිටියේ. මහරගම හන්දියේ පිහිටි රෙදි අලෙවි කරන ලෑල්ල වෙත ඔහු යන්නේ, පාන්දර දෙකට විතර. අටෙන් පස්සේ ඔහු ඊළඟ ලෑල්ලේ රෙදි වෙළඳාම් කරනවා. ඒ අතරේ ෆෝන් රෙපයාර් කරනවා. තරගයේදි මට ලැබුණු මෝටර් බයිසිකලය සහ මුදල් යොදවා, ඔහුත් හරිහම්බ කරන මුදල් යොදවා ගෙන මෝටර් රථයක් මිලදී ගැනීමේ අපේක්‍ෂාවෙන් ඔහු පසුවූයේ. ඒ සියල්ලම මේ වන විට වැළලී හමාරයි.

මෙම සිද්ධියෙන් මියගිය දුල්ෂාන් ගැන මහරගම නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න කියන්නේ මෙවැන්නකි. මෙම තරුණයා කාටත් උදව් පදව් කරන කාගේත් හිත් දිනාගෙන සිටින මෙම ප‍්‍රදේශයට මහත් ආලෝකයක් ගෙන දෙන්න හිටි තරුණයෙක්. දුරකථන සහ කොම්පියුටර් වැනි විද්්‍යුත් උපකරණ මනා අයුරින් එකලස් කිරීමේ දක්‍ෂතාවෙන් හෙබි තරුණයෙක් මෙයා. මොහුගේ වියෝව මෙම ගමටත් ඔහුගේ පවුලේ අයටත් අත්කර දුන්න මහා පාඩුවක්.

මග දෙපස තිබුණු සීසීටීවී කැමරාවල සටහන් පරීක්‍ෂා කර, මහරගම පොලිසිය කියන්නේ මෙවැන්නකි. කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගයේ ධාවනය වූ මෙම මෝටර් බයිසිකලය සුළං වේගයටත් වඩා අධික වේගයෙන් ධාවනය කර තිබෙනවා. ආපු වේගය නිසා හැප්පුනු ස්ථානය පසුකරමින් ධාවනය වුණු ලොරිය මගහරවා ගෙන තමන්ට බයිසිකලය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසායි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

මෙම අනතුරෙන් දැඩි සත්කාරයේ දැනට පසුවන තරුණයා, බලපත‍්‍රයක් නොමැතිව ධාවනය කරමින්, නොසිතා හෝ මරණයක් සිදුකිරීමේ වරදට නීතිය අභිසය දණ්ඩනයකට හසුවීමට සිදුවෙයි. අපේ රටට මෙසේ අහිමිවන්නේ අනාගතය සරුකිරීමට යොමුවන තාරුණ්‍යයයි. තාරුණ්‍යය විසින් තමන්ගේ ජීවිතවලට තිබෙන අවදානම ගැන සිතා කටයුතු නොකළහොත්, අපේ රටට උදාවන්නේ, යළිත් කවර කලෙක වුව පිරිමැසිය නොහැකි කාලකණ්ණි තත්ත්වයකි.

උපුටා ගැනීම – උදේනී චන්ද්‍රසිරි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!