Gossip

විවාහ ජීවිතවල ඇතිවෙන ගැටලුවලට මම විසඳුම් හොයලා දෙන්නේ නෑ – ගයාත්‍රි ඩයස්

මමත් Facebook ගිණුමක් පාවිච්චි කරනවා. ඒත් අද ගයාත්‍රි ඩයස් කියලා Facebook එකේ Type කරද්දී එක ‍පෝලිමට ගයාත්‍රි ඩයස්ලාගේ Facebook ගිණුම් හමුවෙනවා. මේ රටේ ගයාත්‍රි ඩයස් කියන නම තවත් කෙනෙකුට තියෙන්න බැරි නැහැ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ Facebook එකේ හමුවෙන මේ හැම ගයාත්‍රි ඩයස් කෙනෙකුටම මගේ මුහුණ තියෙන එකයි ඒ ගිණුම් ඇතුළට ගිහින් බැලුවාම මගේ පින්තූර තියෙන එකයි. ඒ කියන්නේ මේ හැමෝම මගේ නමින් පෙනී සිටින අයයි. ඒ විදියේ ව්‍යාජ ගිණුම් හින්දා තමයි මට නම් Facebook පරිහරණය කරද්දී හුඟක් ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ.

ව්‍යාජ Facebook ගිණුම් හින්දා ප්‍රශ්නවලට මුහුණ දීපු සහෝදර කලාකරුවන් සහ කලාකාරිනියන් හුඟක් ඉන්නවා. මටත් ඒ වගේ අකරතැබ්බ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් අද මේක විසඳුමක් නැති ප්‍රශ්නයක් බවට පත් වෙලයි තියෙන්නේ. මේ විදියේ ව්‍යාජ ගිණුම් ගැන පැමිණිලි කළාට මේ වංචාකාරි කටයුත්ත නවත්තන්නත් බැහැ. මොකද ඕනෑම කෙනෙකුට ඕනෑ තරම් Facebook ගිණුම් හදන්න නිදහස තියෙනවා. අපි ගොඩාක් කාර්යබහුල හින්දා දවසකට Facebook එකේ ගත කරන්නේ ඉතාම සුළු කාලයයි. නමුත් දවසේ පැය 24ම Facebook වල පදිංචි වෙලාම වගේ ඉන්න අයත් නැතුවා නොවෙයි. මට හිතෙන්නේ ඒ වගේ අය අතර තමයි අර මුලින් කී විදියේ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන අය ඉන්නේ.

ඔය වගේ අය හින්දා මට නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔයා මා එක්ක චැට් කළා නේද…? ඔයාට මාව මතකද? මේ වගේ දේවල් කියන අය හිටිගමන් මට මුණ ගැහෙනවා. ඒ හැමෝම මගේ නමින් පෙනී සිටින වංචාකාරි Facebook ගිණුම්වලට රැවටුණු අයයි. මම මේ මොහොතේ හැමෝටම කියන්න කැමතියි. මම ජීවිතේට Facebook හරහා කා එක්කවත් chat කරලා නැහැ කියන එක.

මගේ සමීපතම කෙනෙකුට කතා කරන්න වුවමනා වුණත් මම කතා කරන්නේ දුරකථනයෙන්. මම කවදාවත් යාළුවෝ එක්කවත් Facebook එකේ chat කරන්නේ නැහැ. ඒක මගේ පුරුද්දක්. කවුරු හරි කෙනෙක් Facebook හරහා ගයාත්‍රි ඩයස් එක්ක chat කරලා තියෙනවා නම් එහෙම කරලා තියෙන්නේ මගේ නමින් පෙනී සිටින වංචාකාරි පුද්ගලයන් එක්ක බව මතක තියාගන්න. මේ විදියේ ගිණුම් අතර ටිකක් බරපතළ සිදුවීමකුත් තියෙනවා. මේ වනවිටත් ඒක නතර වෙලා නැහැ.

මීට මාස කිහිපයකට හෝ මගේ හිතවතෙක් මගෙන් ඇහුවා අලුතෙන් ක්ෂේත්‍රයට එන නිරූපණ ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළකට මම සම්බන්ධ වෙලා ඉන්නවාද කියලා. මම ඒ වගේ දේකට සම්බන්ධ නැති බව කිව්වා. මම නිළියක්. ඒ වගේම මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් සම්බන්ධයි. සමහර විට ඒ හින්දා ඒ වගේ කතාවක් පැතිරෙන්න ඇති කියලා හිතලා මම නිහඬ වුණා. ඒත් ගොඩක් අය ඒ වගේ ප්‍රශ්න අහන්න පටන්ගත්තා. මගේ සමහර යාළුවෝ ඇහුවා විවාහ ජීවිතයේදී මතුවෙන යම් යම් ගැටලුවලට පිළිතුරු සපයන වැඩසටහනට සම්බන්ධද කියලා. මේ විදියේ දේවල් ඇහෙද්දී මට තේරුණා මේක ව්‍යාජ facebook ගිණුමක් හෝ ගිණුම් කිහිපයක් හරහා සිද්ධ වෙන දෙයක් බව. ඒ සැකය නිසා මම ඒ ගැන වැඩිදුර හොයලා බැලුවා. මගේ යාළුවෝ facebook එකේ පැතිරුණු ඒ විදිහේ වැරදි පුවත්වල Screen Shot අරගෙන මට එව්වා. එතකොට තමයි දැන ගත්තේ මේක මගේ නමින් හදපු ව්‍යාජ facebook ගිණුමකින් සිදුවූ දෙයක් බව.

ගයාත්‍රි ඩයස් නමින් පෙනී සිටින මේ ව්‍යාජ ගිණුම මට මඩ ගහන්න කවුරුන් හෝ හදපු එකක්ද, එහෙම නැත්නම් මගේ නම පාවිච්චි කරලා අයුතු දේවල් කරන්න හිතාගෙන පවත්වාගෙන යන එකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. ගෙදර ඉඳන් Modling පුහුණුවන්න කැමැති අයට පාඨමාලා පවත්වන බවට දැන්වීම් පවා එහි පළවෙනවා. මෙය ඇත්තටම මම කරන දෙයක් කියලා හිතාගෙන ඒ සඳහා තමන්ගේ ඡායාරූප සහ වීඩියෝ යවපු ගෑනු ළමයි ඉන්නවාද කියන්නත් මම දන්නේ නැහැ.

ඒ වගේම මම විවාහ ජීවිතවල ඇතිවෙන ගැටලුවලට විසඳුම් සපයනවා කියලා හිතාගෙන රැවටුණු අය ඉන්නවාද දන්නෙත් නැහැ. මේ ලිපිය කියවලා හරි ඒ අය දැනුවත් වෙනවා නම් හොඳයි ඒ මම නොවන බව. මොකද මම මේ කතාකරන මොහොත වනවිටත් මේ ව්‍යාජ ගිණුම facebook තුළ තියෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!