Gossip

“විවාහය කියන්නේ අපේ පවුල් හතරේ වෙච්ච පෞද්ගලික කටයුත්තක් ” – දරුවන් තුන්දෙනාම එකම දවසේ විවාහ කරවලා ජැක්සන් ඇන්තනී මාධ්‍යයට කිව්ව දේ

දරුවෝ තුන්දෙනාම එකම දවසේ දීග දීලා ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ ගැන ඔබ සතුටින් ඇත්තේ?
ඇත්තටම ඒක ගාම්භීර සතුටක්. ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ දීග දුන්නම සතුටු වෙනවා. ඒ අම්මා තාත්තා ලබන සතුටටත් වඩා මගේ සතුට විශේෂයි. මොකද මගේ දරුවෝ තුන්දෙනාම දීග දුන්නේ එකම දවසේ. වෙනත් අම්මලා තාත්තලා විටින් විට ලබන සතුට මම එක දවසක ලැබුවා. ඒක දුර්ලභ ආඩම්බරයක්. ඒ සතුට හැමෝටම ගන්න බෑ. දරුවෝ තුන්දෙනාම එකම දවසේ දීග දීලා සතුටු වුණ වෙන තාත්තෙක් මට හම්බවෙලා නෑ. මම ඒ දුර්ලභ සතුට ගෞරවයෙන් විඳිනවා. කවුරුවත් මට ඒකට ඊර්ෂ්‍යා කළත් කරන්න දෙයක් නෑ.

දියණිය සහ පුතුන් දෙදෙනාම එකම දවසේ විවාහ කරන්න හිතුවේ ඇයි?
ඒක දෛවෝපගත සිද්ධියක්. ඒක ජීවිත සැලැස්මේ තිබුණ දෙයක් නෙවෙයි. නමුත් අපේ ජීවිත සැලැස්මේ තිබුණ දෙයක් තමයි එක ළඟ දරුවෝ හදමු කියන එක. ඒක කුමාරිගෙයි මගෙයි එකඟතාවක්. අපි සැලැසුම් කරලා දරුවෝ හැදුවේ. කුමාරියි මමයි විවාහ වෙද්දී අපි නාට්‍යකාරයෝ. දරුවෝ හදන කාර්යයේදී අම්මා, තාත්තා පුදුමාකාර පරිත්‍යාගයක් කරන්න ඕන. අපේ ජීවිතයේ අනාගත සැලැසුම් එක්ක අපි එක කාල සීමාවක් දරුවෝ හදන්න වෙන් කළා. මාධවී දුව කිරි බොද්දී තමයි අකිල පුතා හම්බුණේ. මාධවී තාමත් කියනවා එයාට මතකයිලු අම්මගේ කිරිවල රහ වෙනස් වුණා. අකිල කිරි බොද්දී තමයි සජිත හම්බුණේ. කුමාරි දරුවෝ වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. ඒ සැලැස්මේ අනාගතය තමයි අපේ දරුවෝ තුන්දෙනාම එකම දවසේ විවාහ වීම. දරුවෝ තුන්දෙනාම සම වයසේ හිටියේ. 1988 අපි ගත්ත සැලැස්මේ ප්‍රතිඵලය තමයි 2019 දරුවෝ තුන්දෙනාම එකට විවාහ කරලා අපි භුක්ති වින්දේ.

මෙවැනි දෙයක් කරන යෝජනාව ආවේ කාගෙන්ද?
එකම දවසේ විවාහය කළොත් හොඳයි කියන යෝජනාව ආවේ දරුවන්ගෙන්මයි. එයාලා තමන්ගේ සහකරුවන්ව, සහකාරියන්ව හොයාගෙන ඔවුන්ව තේරුම් ගත්තට පස්සේ විවාහ වෙන්න තීන්දු කළා. දරුවෝ තුන්දෙනයි කුමාරියි මමයි හරියට යාළුවෝ වගේ. අපි තරහා වෙනවා. යාළු වෙනවා. අඬා ගන්නවා. හොඳ යාළුවෝ අතර සිදුවෙන සියල්ල අපි අතර වෙනවා. අපි විනෝදෙන් ඉන්න වෙලාවට දරුවන්ම තමයි විහිළුවට වගේ කිව්වේ, “අප්පච්චී අපි එක දවසේ මඟුලක් ගමු” කියලා. ඒක විහිළුවට කිව්ව කතාවක් වුණාට මම ඒ ගැන හිතුවා. ඔවුන් සම වයසේ හිටපු නිසා එකම දවසේ විවාහය කරන්න පුළුවන් කියලා මටත් හිතුණා. මාසයකට විතර පස්සේ මම ඒ යෝජනාව ස්ථිර කළා. ඊට පස්සේ මගේ දරුවෝ විවාහ වෙන්න හිටපු දරුවන්ගේ මවුපියෝ එක්කත් කතා කළා. ඔවුනුත් දැන් අපේ යාළුවෝ වගේ. මිලාන් පුතාගේ අම්මා, අයියා, බුවිනිකා දුවගේ අම්මා, තාත්තා, ඒමි දුවගේ අම්මා, තාත්තා මේ හැමෝම ඒ යෝජනාවට එකඟ වුණා.

දරුවන්ව එකම දවසේ විවාහ කරලා සුවිශේෂී සටහනක් තියන්නත් ඕන වුණාද?
විවාහය කියන්නේ අපේ පවුල් හතරේ වෙච්ච පෞද්ගලික කටයුත්තක්. අපිට මේ වගේ වැඩක් කරලා ලෝක වාර්තාවක් තියන්නවත්, මහජන ප්‍රදර්ශනයක් තියන්නවත්, ප්‍රචාරයක් ලබාගන්නවත් ඕන වුණේ නෑ. මේක පෞද්ගලික කටයුත්තක් ලෙස වුණේ. නමුත් මම කලාකාරයෙක්. ප්‍රවීණයෙක්. මගේ දරුවොත් කලාවට සම්බන්ධයි. අපි ජනකාන්ත නිසා අපේ පෞද්ගලික ජීවිතත් ප්‍රකටයි. ඒ නිසා අපේ පවුල් හතරේ පෞද්ගලික විවාහ උත්සවය බොහොම ප්‍රචලිත සුබවාදී උත්සවයක් වුණා. හැමෝම සුබපැතුවා. ආශීර්වාද කළා. සුබවාදී ක්‍රියාවලියක් විදියට එය සිද්ධ වුණා.

ඔබේ සතුට ගැන දරුවන්ගේ සතුට ගැන සතුටු වෙන ඒ සතුටට ආශීර්වාද කරන අය වගේම මේ දේවල් විවේචනය කරන අයත් ඉන්නවා නේද?
ඊර්ෂ්‍යාව, වෛරය කියන්නේ මනුස්ස ගතියක්. මං ගැන, මගේ පවුල ගැන දරුවෝ ගැන කෙනෙක්ට ඊර්ෂ්‍යා හිතෙනවා නම් ඒක මනුෂ්‍ය ගතියක්. මට ඊර්ෂ්‍යා කරන අපි කරපු දේවලට කෝප වෙන අය ඇති. ඒවට හිත රිද්දාගන්න හොඳ නැහැ. මම ඒ දේවල්වලින් හිත රිද්ද ගත්තෙත් නැහැ. ඒවා හිතට ගාවා ගන්නෙත් නැහැ. ඒ මනුස්ස ගතිය භුක්ති විඳිනවා. මම ඒවා ඉවසනවා.

මෙවැනි කටයුත්තක් කරන්න පහසු නැහැ. අංශු මාත්‍රයක හරි වරදක් නොවී දරුවෝ තුන්දෙනාගේ විවාහය සිදු කරන්න ඔබ සහ කුමාරි ගොඩක් මහන්සි වෙන්න ඇති?
අපි සියල්ල සැලැසුම් කළා. දරුවන්ගේ විවාහය උත්සව තුනක් විදියට තිබ්බේ. මුලින්ම කඩවත මහර කිරිමැටියාගාර ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී පල්ලියේ චාරිත්‍ර කළා. අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තමයි පූජාව පැවැත්වූවේ. දරුවන්ගේ විවාහය වෙනුවෙන් සාක්ෂියට අස්සන් කළේ මහාචාර්ය ජේ.බී. දිසානායක. චන්ද්‍රසිරි පල්ලියගුරු, කුසුමා කරුණාරත්න, මුදියන්සේ දිසානායක, ආරියරත්න කළුආරච්චි, පැට්‍රික් රත්නායක. කිසිදු අඩුවක් නැතිව ගෞරවාන්විතව පල්ලියෙ චාරිත්‍ර ඉෂ්ට කළා. කඩවත රෝස් ගාඩ්න් හෝටලයේදී තමයි පෝරුවේ චාරිත්‍ර පැවැත්වූවේ. මම කතෝලික වුණාට මගේ සංස්කෘතිය බෞද්ධ. මෙය බෞද්ධ, කතෝලික සම්මිශ්‍රිත විවාහයක්. එකම මණ්ඩපයේ පෝරු තුනක චාරිත්‍ර සිදු කළා. පසුගිය 19 වැනිදා වෙන්නප්පුව ඇවෙන්රා ගංගාරා හෝටලයේදී දහසකට අධික හිතවතුන් පිරිසක් රැස්වූ විවාහ උත්සවය පැවැත්වූවා. අපිට මේ සියල්ලට “සිරිත” විවාහ මංගල්‍යය සැලැසුම්කරුවන් හොඳ සේවයක් ලබා දුන්නා. චිත්‍රපටයක් වගේ සියල්ල සැලැසුම් කරලා කිසිම අඩුපාඩුවක් නොකර සිදු කරන්න අපිට පුළුවන් වුණා. 21 වැනිදා මාධවී දුවව මිලාන් පුතාගේ ගෙදරට ඇරලවලා එදාම රාත්‍රියේ පවුල් තුනම අපේ ගෙදරට එන චාරිත්‍ර ඉටු කරලා තමයි මේ උත්සවයේ වැඩ කටයුතු නිමා කළේ.

දරුවෝ තෝරගත්ත සහකරුවන් සහකාරියන් ගැනත් ඔබට සතුටු ඇති?
මගේ සන්තෝෂය අනාගතයටත් සම්බන්ධයි. අපි හැමදේම කරන්නේ අනාගතය ගැන හිතලා. අනාගතය අඳුරු නම් සතුටු වෙන්න බෑ. නමුත් මගේ සතුට තියෙන්නේ අනාගතයේ දීප්තියක් පේන නිසා. මගේ දරුවෝ හොයාගෙන තියෙන්නේ එයාලා වගේම හොඳට හැදිච්ච දරුවෝ තුන් දෙනෙක්. ඒ වගේ දරුවෝ තුන්දෙනෙක් හැදුව අම්මලා තාත්තලාට මම මේ වෙලාවේ ස්තුති කරන්න ඕන. මවුපියන්ගේ සැලැස්ම මත තමයි දරුවෝ හැදෙන්නේ. මගේ දරුවන්ගේ ජීවිතයට එකතු වුණ මිලාන් පුතා, බුවිනිකා දුව, අමන්දා දුව ගැන මම පුදුම සන්තෝෂයෙන් ඉන්නේ. ඒ දරුවෝ තුන්දෙනා මගේ දරුවෝ වගේමයි.

ඔවුන්ව මේ තරම් වටින්නේ ඔවුන්ගේ මොන වගේ ගතිගුණ නිසාද?
සමහර දරුවෝ ඉන්නවානේ හරි ගුප්තයි. ඒත් මේ දරුවෝ ගුප්ත නෑ. හරිම විවෘතයි. කරුණාවන්තයි. සරලයි. සාමාන්‍යයි. ළෙන්ගතුයි. හැඟීම්බරයි. හරිම සංවේදියි. ඒ වගේම දක්ෂයි. මගේ දරුවෝ තුන්දෙනාටම තිබ්බ සියලු ගුණාංග මේ දරුවෝ තුන්දෙනා ළඟ තියෙනවා.

දැන් ඔබ දරුවෝ හය දෙනකුගේ පියෙක්. ඔබ දරුවන්ගෙන් හරිම පොහොසත් නේද?
ඔව්. මම දරුවෝ දුන්නා නෙවෙයි. තව දරුවෝ තුන් දෙනෙක් ලබාගත්තා. දැන් මට දරුවෝ හයක්. මම දරුවෝ හය දෙනකුගේ පියෙක්. කුමාරි දරුවෝ හය දෙනකුගේ මවක්. වෙන සතුටක් කොයින්ද? අපි කවදාවත් තනි වෙන්නේ නෑ. මම හරිම පොහොසත්. ධනවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ සන්තුට්ඨි පරමං ධනං කියලා. මම තරම් සතුටින් ධනවත් කෙනෙක් මම දැකලා නැහැ.

දැන් ඔබ දරුවෝ වෙනුවෙන් දැක්ක හීන අහවරද?
කිසිවක් සිදුවී අවසන් නැහැ. සියල්ල සිදුවෙමින් පවතිනවා. අතීත සැලැසුම් මත තමයි වර්තමානය බිහිවෙන්නේ. වර්තමාන සැලැසුම් මත තමයි අනාගතය බිහිවෙන්නේ. මම දරුවන්ට කියා දීලා තියෙන්නේ අතීතය ප්‍රතික්ෂේප කරන්න හෝ එහි රැඳී සිටින්න නෙවෙයි, අතීතය පහුකරගෙන යන්න කියලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!