Gossip

විපතකදී හැර යන පසමිතුරන් මැද තම මිතුරා වෙනුවෙන් ජීවිතය කැප කළ උතුම් මිනිසෙකුගේ සංවේදී කතාව

“උඹ ආයෙත් ඒ ගෙවල් පැත්තේ ගිහිල්ලා අහුවුණොත් අඬු කඩනවා. උන් උඹේවත් මගේවත් නෑයෝ නෙමෙයි. මුළු ගමම උන්ව කොන්කරලා තියෙන්නේ. එහෙව් එකේ උඹ යනවා ඒ ගෙට රිංගන්න…”
අප්පච්චි සාලයේ වාඩිවෙලා ආවේසයෙන් වගේ කියන්න ගත්තේ මුළු ගමටම ඇහෙන්න.
ඒ වෙනකොට මගේ වයස අවුරුදු දාසයයි. පවුලේ එකම පිරිමි දරුවා මම නිසා අම්මයි අප්පච්චියි හැම වෙලේම හිටියේ මං ගැන සෙවිල්ලෙන්.
ඒ නිසා මං කොහේ ගියත් මොනවා කළත් ගෙදරට ආරංචි වෙනවා. මම ජයසිරිගෙ ගෙදර යන එකත් කවුරු හරි අප්පච්චිට කියපු බව මම දැන ගත්තේ අප්පච්චි මට බැන්න‍ට පස්සේ.”

කවුද ජයසිරි කියන්නේ?
“ජයසිරි කියන්නේ මගේම වයසේ කෙනෙක්. එයයි මමයි ඉගෙන ගත්තේ එක පන්තියේ.
ජයසිරිගේ තාත්තා හිටියේ හිරේ. එයාගේ තාත්තා හිරේ ගියේ එයාගෙම මල්ලිව මරලා. තමන්ගෙම සහෝදරයා මරන්න හේතුව වෙලා තියෙන්නේ අනියම් ප්‍රේම සම්බන්ධයක්.
ගමේම මිනිස්සු ජයසිරිගෙ ගෙදර එක්ක තරහයි. ඒත් මට ඒ අය ගැන තිබුණේ අනුකම්පාවක්. ඒ නිසයි මම නිතර ඒ ගෙදරට ගියේ.
ජයසිරිගේ තාත්තා නරක වුණාට ජයසිරි හොඳ ළමයෙක්. එයාට නංගි කෙනෙකුත් හිටියා. කොහොම හරි ජයසිරිගේ අම්මට මගේ තාත්තා දවසක් බැණලා තිබුණා මාව ගෙන්න ගන්න එපා කියලා.
මේ සිද්ධිය වෙලා දවස් කිහිපයකට පස්සේ ජයසිරිගේ අම්මා මට කිව්වා එහෙ එන්න එපා කියලා. එදා ඒ ගෙදරින් එළියට බහිද්දි ජයසිරියි එයාගේ නංගියි මගේ දිහා බලාගෙන හිටියේ හරිම දුකෙන්. මමත් ආවේ හිතේ අමාරුවෙන්.”

ඉන් පස්සේ මොකද වුණේ.?
“අපේ තාත්තට හොඳට සල්ලි තිබුණා. ඒ නිසා තාත්තා ‍ටවුමේ ඉස්කෝලෙකට මාව දැම්මා. මට නම් හිත තිබුණේ ගමේ ඉස්කොලෙට යන්න.
මට එහෙම හිත තිබුණා කියලා අපිට ‍ඕන දේ කරන්න ඉඩක් ලැබුණේ නැහැ. අලුත් ඉස්කෝලේ මට අලුත් අත්දැකීමක් වුණා. ඒ වගේම ගෙදර වැඩිහියන්ට හිරවෙලා ගතකරපු මගේ ජීවතේට ලොකු නිදහසක් ලැබුණා. මම අලුත් ඉස්කෝලෙට ගියේ තාත්තගෙ නංගිගෙ ගෙදර නතර වෙලා.
නැන්දා මගේ අම්මයි තාත්තයි තරම් මගේ පස්සෙන් ආවේ නැහැ. තාත්තා සතියකට සැරයක් අම්මා එක්ක ඇවිල්ලා මාව බලලා ගියා.
අපේ ඉස්කෝලේ එක එක ජාතියේ ළමයි හිටියා. මුලින් මුලින් මේ ළමයි මට රැග් කළා. ඒත් ටික දවසක් යන විට හැමදේම හරි ගියා . පන්තියේ ළමයි හැමෝම මා එක්ක යාළු වුණා. මා එක්ක වැඩියෙන්ම යාළු වුණේ පන්තියේ හිටපු දඟම ළමයි ටික..”

ඉගෙන ගන්න එකට මොකද වුණේ?
“තාත්තා මාව ටවුමේ පන්තියකට දැම්මා. ඒත් මට නම් ඉගෙන ගන්න ආසාවක් තිබුණේ නැහැ.
තාත්තා පන්ති යන්න දුන්න සල්ලි වලින් අපි යාළුවෝ එකතු වෙලා සිගරට් බිව්වා. ගංජා ගැහුවා. යාළුවෝ එක්ක බීච් ගියා .ඇත්තම කිව්වොත් මට ඒ කාලේ තේරුණේ නැහැ මම කරන දේවල හරි වැරැද්ද.”

තාත්තා මේවා ගැන දන්නේ නැද්ද?
“තාත්තා මේ ගැන දන්නවා. මුලින්ම දැන ගත්ත දවසේ මට හොඳටම ගැහුවා.
එදා මාව බේරගත්තේ නැන්දා. නැත්නම් එදා මම ගුටි කාලම මැරෙනවා. තාත්තා ඊට පස්සෙත් මට හුඟක් අවවාද කළා. නමුත් තාත්තගෙ අවවාද වලට බැරි වුණා මාව හදන්න. මං ගැන හිතලම තාත්තා ලෙඩ වෙලා මැරුණා කියලා තමයි අම්මා කියන්නේ. ඒ දවස්වල මම ඒකත් විහිළුවකට ගත්තේ.”

විභාගෙ කළා ද?
“නැහැ . මම ඕලෙවල් විභාගේ කළේ නැහැ. තාත්තා මැරුණේ මම විභාගේ ලියන්න හිටපු අවුරුද්දේ. තාත්තා මැරුණේ පපුවේ අමාරුව හැදිලා.
ගෙදර අය වගේම අනෙක් නෑයොත් මට තමයි දොස් පැවරුවේ. මට ආදරෙන් හිටපු නැන්දත් කිව්වේ තාත්තා මැරුණේ මං නිසා කියලා.
මට මුළු ගෙදරම අය එපා වුණා. අන්තිමට මම ගෙදරින් යන්න හිතුවා .
යන්න තැනක් තිබුණේ නැහැ. ටී ෂර්ට් දෙක තුනක් කලිසම් දෙක තුනක් විතරක් අරගෙන මම ගෙදරින් එළියට බැස්සා.
මම ‍ගියේ අනුරාධපුරය පැත්තට. ඒ වෙනකොට මගෙ යාළුවා ජයසිරි හිටියේ අනුරාධපුරේ.. ජයසිරි එයාගේ පවුලේ අයත් එක්ක වත්තක් බලාගන්න එක කෙරුවේ.
ජයසිරි මාව පිළිගත්තේ හරිම සතුටින්. අපි දෙන්නම එකතු වෙලා වත්ත බලා ගත්තා .වත්ත අයිති මහත්තයා කිසිම කරදරයක් නැති කෙනෙක්. එයා පදිංචි වෙලා හිටියේ කොළඹ.”

ගෙදරින් ඔයාව හෙව්වේ නැද්ද?
“නැහැ. අම්මා මං ගැන දුක්වෙන බව දන්නවා. අම්මා මං ගැන හොයන්න ඇති. ඒත් තාත්තා මැරුණේ මම නිසා කියලා හැමෝම කියන නිසා අම්මා මාව ඈත් කරන්න ඇති.ඒ නිසා මං කවදාවත් ආයේ ගෙදර ගියේ නැහැ.”

විවාහ වුණා ද?
“ඔව් මම ජයසිරිගේ නංගිව බැන්දා එයාගේ නම නදීකා. එයා හරි හොඳයි. ම‍ගෙ වැරදි එයා ඉවසුවා. ඇත්තම කිව්වොත් ඒ කෙල්ල මගෙ ජීවිතේ ගොඩ දැම්මා.
මම මගේ හුඟක් වැරදි හදා ගත්තා. ඇත්තම කිව්වොත් මම සිගරට් බොන එක පවා නතර කෙරුවා.
වත්ත අයිති මහත්තයට අපේ වත්ත ට කිලෝමීටර හය හතකට එහායින් තවත් වත්තක් තිබුණා. එයා ඒ වත්ත බලා ගන්න දුන්නේ මට . මමයි ජයසිරියි දෙන්නා අපේ දේවල් වගේ තමයි ඒවා බලා ගත්තේ.”

ඔයතරම් හොඳට හිටපු ඔයාට හිරේ එන්න වුණේ ඇයි. ?
“මගෙ බිරිය නදීකාට දරුවෙක් ලැබෙන්න ආවා. ඒ වෙනකොට ජයසිරි බැඳලා එයාටත් දරුවෝ දෙන්නෙක් හිටියා. ජයසිරිගේ අම්මා හිටියේ අපි ගාව.
නදිකා දරුවා ලැබෙන්න ඉන්නකොට එක පාරටම උණක් හැදිලා අසනීප වුණා.
දවස් ගානක් රෝහලේ හිටියා. එ්ත් අපට එයාව බේර ගන්න බැරි වුණා. මට දරුවයි නදීකයි දෙන්නම නැති වුණා. හිත හදා ගන්න හුඟක් අමාරු වුණා. මම බලාගෙන හිටපු වත්ත ආයෙමත් මහත්තයාට දීලා ටික දවසක් යනතුරු ජයසිරි ගාවට ආවා.
ඒ අදහස දුන්නේ ජයසිරිමයි. ජයසිරිගෙ අම්මයි මමයි දෙන්නම ඒ ගෙදර හිටියේ. ටික කාලයක ඉඳලා ජයසිරි ගේ වත්තේ පොල් නැති වෙන්න ගත්තා අප‍ට හොරා කවුද කියලා අල්ලගන්න බැරි වුණා .
මේ බව අපි මහත්තයාටත් කිව්වා . අපි මේ ගැන බොහෝම සෙවිල්ලෙන් හිටියේ. මෙහෙම ඉන්න කොට තමයි දවසක් දා රෑ මමයි ජයසිරියි වත්ත වටේ යද්දි දැක්කේ දෙන්නෙක් වත්තෙන් පොල් හොරෙන් ගෙනියනවා.
අපි දෙන්නා දෙපැත්තෙන් ගිහිල්ලා එක්කෙනෙක්ව අල්ලා ගත්තා . අනිත් කෙනා පැනලා දිව්වා. මම පැනලා ගිය එකාගේ පස්සෙන් දිව්වා . කොහොම හරි එයාව අල්ලගන්න බැරි වුණා. අල්ල ගත්ත එකා පැනලා යන්න හදද්දි ජයසිරි එයාගේ අතේ තිබුණ පො‍ල්ලෙන් අර මිනිහට ගැහුවා.
මම හිතුවේ නැහැ ඒ මිනිහා මැරෙයි කියලා. නමුත් ජයසිරි‍ගෙ පොලු පාරට ඒ මිනිහා මැරිලා. අපිට ඕන නම් ඒ මිනිය වළ දාන්නත් තිබුණා. ඒත් ජයසිරි රෑම මහත්තයාට කතාකරලා කිව්වා. පහුවදා උදේම මහත්තයයි පොලීසියයි ආවා. මම ජයසිරිට කිව්වා මුකුත්ම කියන්න එපා කියලා. මම තමයි පොලිසියට කිව්වේ අතේ තියෙන පොල්ලෙන් මමයි ගැහුවෙ කියලා.
මගේ කීම පොලිසිය විශ්වාස කළා. මම ජයසිරිව කැමති කරව ගත්තා උසාවියේදි මේ සිද්ධිය දැක්ක විදිහට කතා කරන්න.”

ඇයි ඔයා ජයසිරි වෙනුවෙන් හිරේ ආවේ?
“මම කාත් කවුරුවත් නැති කෙනෙක්. මට මගේ ගෙදර අයගෙන් වැඩක් නැහැ. ඒත් ජයසිරි මාව හොඳට බලා ගත්තා . එයා මගේ හොඳම යාළුවා. ජයසිරි හිරේ ගියා නම් එයාගේ දරුවෝ බිරිය අනාථ වෙනවා. ඒ නිසයි ජයසිරි කරපු වරද මම බාර ගත්තේ.”

ජයසිරි ඔයාව බලන්න එනවද?
“අපොයි ඔව්. හැම මාසෙම ජයසිරි මාව බලන්න එනවා. එයාගෙ ගෙදර අය එනවා. මට දුකක් නැහැ මේ ජීවිතේ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!