Gossip

වැඩ භාර අරගෙන කවුරුවත් අමාරුවේ දැමීම සුදුසු වැඩක් නෙවෙයිනේ – මුතු තරංගා

එහෙමම නොවුණත් මට ඒකට හරියටම උත්තරයක් දෙන්න වෙනවා. ඇත්තටම කීවොත් හුඟක් වැඩ ලැබෙනවා. නමුත් අද අපි කලාව කරන කුලීකාරයෝ ගණනට වැටිලා. මෙතනදී වැඩිපුරම බලපාල තියෙන්නේ මූල්‍යමය ප්‍රශ්න. ඇඳුම් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න සහ ගමනා ගමන ප්‍රශ්නත් ඒ අතරට එකතු වී තිබෙනවා. එදා වගේ නෙවෙයි අද මේ හැම දෙයක්ම දමලා තියෙන්නේ කලාකාරයාගේ පිටට. මම රඟපෑ ටෙලිනාට්‍ය රැසකටම මේ දක්වා මුදල් ලැබිලා නෑ.අපේම රංගන ශිල්පියෙක් කරපු මම රඟපෑ ටෙලියක් වෙනුවෙන් මට තවම සතයක්වත් ගෙවලා නෑ. දැන් ඒකට අවුරුදු තුනක් ගෙවිලත් ඉවරයි. මේ වගේ සිද්ධි නිසා මම ඉන්නේ උපරිමයෙන් කලකිරිලා. මට මුදල් ඉල්ලමින් පසු පස යන්න බැහැ. අද කලාව ඇතුලේ අවස්ථාවාදීන් බොහොමයි. හුඟක් අයට මේ වගේ ප්‍රශ්න තියනවා. සමහරු ඒ ප්‍රශ්න තියාගෙනම කලාව කරනවා. ඒ වෙන විකල්පයක් නැති නිසා. තවත් සමහරු ගෙවල්වල. කොහොම වුණත් බාල්දු වෙවී කලාව කරන්න මගේ අදහසක් නෑ.

ඔබ කලාවට පිවිසියේ අරමුණක් නොමැතිව බව පැවසුවා…

ඇත්තටම ඔව්. මට එහෙම විශේෂ ටාගට් තිබුණේ නැහැ. නමුත් මම දැන් කලාවට ඇවිත් දශක දෙකකට ආසන්නයි. ඉතිං.. එදා වගේම මම කරන නිර්මාණ දායකත්වය වෙනුවෙන් සල්ලි ලැබෙයිද කියලා බයෙන් බයේ වැඩ කරන්න නම් බෑනේ. මම ඒ කාලේ වැඩිපුරම කළේ වෙළෙඳ දැන්වීම්. පස්සේ තමයි නිරූපණයට ඇවිත් ඊටත් පස්සේ රංගනයට ආවේ. නමුත් මම රංගනය ගැන යම් හැදෑරීමක් කළා. අපේ කලාව ඇතුළේ ඉන්න ප්‍රවීණයන් හැමෝම සමගම වගේ වැඩ කළා. බොහෝ දේ පිළිබඳව ඔවුන්ගෙන් උගත්තා. ඒ ආභාෂයන් ලැබුවා. ඒ නිසාවෙන්ම තමයි මෙතරම් දුරක් පැමිණියෙත්. නමුත් මට එක් හීනයක් තිබුණා.

අද ඔබ ඒ හීනය සැබෑ කර ගනිමින් පසු වෙනවා….

ඇත්තෙන්ම. ඒ හීනය සැබෑ කර ගත යුතු නිසාවෙන්ම තමයි මම නිතරම ගීත ගායනා කළේ. විශාරද පී.වී. නන්දසිරි මහතා යටතේ සංගීතය පිළිබඳව හැදෑරුවා. එතුමාගේ වියෝව නිසා තමයි බොහෝ දුර යන්නට සිටි මගේ ගමන නතර වුණේ. අද මම මගේ ගීත වගේම උත්තර භාරතීය හින්දි ගීතත් ගායනා කරනවා. බොහෝ විට මම විදේශයන්හී ප්‍රසංග වෙනුවෙන් නිතරම සහභාගී වෙන්නේ මේ නිසාවෙන්. ඇත්තටම කීවොත් දැන් මම වැඩිපුරම කැමති ගායන ශිල්පිනියක ලෙස ඉදිරියට යන්න තමයි.

කලාවේ නිරතවන ශිල්පිනියන්ට නොයෙකුත් බලපෑම්, කරදර අත්විඳින්නට සිදුවෙනවැයි කියන කතාවල සත්‍යතාවක් තිබෙනවාද…

මගේ කලා දිවියට නම් එවැනි බලපෑම් මේ දක්වා පැමිණ නැහැ. නමුත් කලාව ඇතුළේ එහෙම දේවල් නැහැ කියලා කියන්නත් මම ඉක්මන් වෙන්නේ නැහැ. මා දිහා වැරදියට බලපු අධ්‍යක්ෂවරු සිටියේ නැහැ. නමුත් දැන් තියන තත්ත්වය ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ. ඒ කොහොම වෙතත් අපි කිසියම් දෙයකට අනුබල දෙන්නෙ නැතිනම් කිසි කෙනකුට බලෙන් කිසිවක් කළ හැකි තත්ත්වයකුත් නැහැනේ.

ඇයි ඔබ වේදිකාව පැත්තට උනන්දු නොවුණේ..

ආරාධනා ආවා. නමුත් කාලය කළමනාකරණය කර ගැනීමේ ගැටලූවත් තිබුණා. වැඩ භාර අරගෙන කවුරුවත් අමාරුවේ දැමීම සුදුසු වැඩක් නෙවෙයිනේ. අනික මම කාලයක් හිටියේ ඇහැළියගොඩ. හැබැයි වේදිකාවේ පැවැත්වුණු රියැලටි ෂෝ වෙනුවෙන් මම සහභාගි වුණා. ඒකත් වේදිකාවේ රංගනයක නියැළෙනවා හා සමානයි. විනිසුරුවනුත් ඉන්නවනේ. මට මෙතනදීත් ඉතාමත් හොඳ ජනතා ප්‍රතිචාර ලැබුණා. ඒක විශාල සතුටක්.

ඉදිරි නිර්මාණ වෙනුවෙන් තිබෙන සූදානම ..?

සංගීත ප්‍රසංග වෙනුවෙන් විදේශ සංචාර කිහිපයක් ලැබී තිබෙනවා. මෙතනදී නම් පොරොන්දු වෙන මුදල ලැබෙනවා. හොඳ නිර්මාණ තිබෙනවා නම් ඒ වෙනුවෙන් මගේ දායකත්වය ලබා දෙන්නට උනන්දු වෙනවා. හැබැයි අද නිර්මාණ වෙනුවෙන් පොරොන්දු දෙන්නේ ෆෝන් එකෙන්. ඒ කාලේ තමයි ඇග්රිමන්ට් සයින් කරලා පිටපත් ලබා දුන්නේ. ඉතිං සමහර විට ෆෝන් එකෙන් වෙන කතා බහ පොරොන්දු පමණක්ම විය හැකියි. අපිට ඒවා රෙකෝඞ් කරලා නඩු; දාන්නත් බෑනේ. ඇත්තටම මෙහෙම වෙලා තියන්නේ නිසි සැලැස්මක් නැති නිසා.

චරිත වෙනුවෙන් සීමා මායිම් දමා ගෙනද ඔබ රංගනයට දායකත්වය සපයන්නේ….

ඔව්. මගේ යම් සීමාවක් තිබෙනවා. මම හුඟක් චරිත නිරූපනය කළා. මගේ ස්වරූපයට ගැලපෙන චරිත තමයි වැඩිපුරම කළේ. නපුරු, කළු චරිතත් කළා. මම කිසියම් වූ චරිතයකට කොටු වී සිටියෙත් නැහැ. නමුත් මම අකැමැති චරිත කරන්න මට ගට්ස් නෑ කියලා කිව යුතුයි. ඒත් කවුරුන් හෝ එවැනි චරිත කළ යුතුයි. සම්භාව්‍ය ගණයේ චරිත කරන්න තරම් මට පෞරුෂයක් නෑ. හැබැයි අපට සම්භාව්‍ය සිනමාවක් තිබිය යුතුයි. ඒ වගේ සිනමාවක් රස විඳින්න මමත් කැමතියි. හැබැයි ඔය කියන සම්භාව්‍ය සිනමාව මිනිසුන්ට තේරෙන, අවබෝධ කර ගත හැකි සිනමාවක් විය යුතුයි.

ඔබ රංගන දායකත්වය දැක්වූ නිර්මාණ ඉදිරියේදී අපට දැකිය හැකිද?

ඔව්. මෑතකදී මගේ රංගන දක්ෂතා පෙන්වූ ටෙලි නාටක කිහිපයක් විකාශයට නියමිතව තිබෙනවා. ඒ ගැන යහපත් බලාපොරොත්තු තියාගෙනත් ඉන්නවා. ඊට අමතරව මගේ ගීතයකට රූප රචනයක් එකතු කිරීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ජීවිතයේ පුද්ගලික පැත්ත ගැනත් කතා කරන්න සතුටු ද..

අනේ ඔව්. මම විවාහ ගිවිසගෙන ඉන්නේ. ඔහු නිශාන්ත ජයවර්ධන. එයා කලාවටත් සම්බන්ධවී සිටියා. දැන් ව්‍යාපාරිකයෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!