Gossip

“වැඩිහිටියන්ට පමණයි” – අනෝමා ජිනාදරීගෙන් ලිංගික උපදෙස් සහිත පොතක්

පුනරුක්‌ති, පුනරෝපකථන, පුනරාගමන, පුනරාවර්තන සහ රඟපෑම කෘති රචනා කරමින් පාඨක සමාජය වෙත ආ සම්මානනීය ප්‍රවීණ රංගනවේදිනී, අනෝමා ජනාදරී විසින් රචිත නවතම කෘතිය ‘ප්‍රේම ජවනිකා’ මෙම 8 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එළිදැක්‌වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ ගැන අනෝමා ජිනාදරී පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ වගේ කතාවක්.

ඔබේ සම්මානිත රංගන දිවියට මේ දිනවල විරාමයක්‌ ලැබී ඇති බවක්‌ පෙනෙන්නට තිබෙනවා. ඒ ගැනත් ඉදිරිය පිළිබඳවත් පවසමින් මේ කතා බහට ප්‍රවේශ වුවහොත්…?

ආසියාවේ හොඳම නිළිය සම්මානය දිනා ගැනීමත් සමග රඟපෑම නොදත් තිර රචකයන් සහ අධ්‍යක්‌ෂවරු බියට පත් වෙනවා. තමුන්ගේ නිර්මාණවල චරිත සඳහා මා වැනි නිළියන් සමග කටයුතු කරන්න. එය මට පමණක්‌ නෙවෙයි දස්‌කම් පෙන්වන ඕනෑම ක්‌ෂේත්‍රයක ශිල්පිනියකට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්‌. නමුත් මම නිකන්ම ඉන්නේ නැහැ. ජනමාධ්‍යකරුවකු හැටියට දීර්ඝ කාලයක්‌ පොදු ජනතාවගේ ගැටලු අනාවරණය කළ නිර්මාණකරුවකු හා එකතුව මේ දිනවල පත්තිනි දේවියගේ පුරාවෘතය පිළිබඳව පර්යේෂණයක නියැළෙමින් ඉන්නවා. මෙරටට ලබා දෙන දළ ජාතික ආදායමේ ප්‍රධාන කොටස්‌කාරියන් වන පිටරට සේවය කරන ගෘහ සේවිකාවන්ගේ ශ්‍රමයත්, පත්තිනි දේවියගේ පුරාවෘතයත් විග්‍රහ කෙරෙන මෙම චිත්‍රපටයේ තිර නාටකය සකස්‌ වුණු පසු එම චිත්‍රපටයට මම රඟපෑමෙන් දායක වෙනවා.

ඔබ ලියූ “ප්‍රේම ජවනිකා” කෘතිය මාර්තු මාසයේ එළැඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය දා (8 වැනිදා) එළි දැක්‌වෙන බව පැවැසුවා….?

ඔව්. මගේ චිත්‍රපට බලන රසික ප්‍රජාවත් මගේ පොත් කියවන පාඨකයනුත් නොඉවසිල්ලෙන් බලා සිටින පොතක්‌ තමයි “ප්‍රේම ජවනිකා” කියන්නේ. මෙය වයස අවුරුදු 18 න් ඉහළ වැඩිහිටියන් උදෙසා ඉදිරිපත් කරන ලිංගික අවබෝධය ස`දහා වෙන් වුණු පොතක්‌.

ඔබේ නවතම ග්‍රන්ථයේ අන්තර්ගතය කෙබඳු වේද ?

අපි හැමෝම දන්න කාරණයක්‌ තමයි යහපත් දරු ඵල ලබා ගැනීමට අපේක්‌ෂා කරන අඹු සැමියන්ට ඒ සඳහා අත්‍යවශ්‍ය රුධිර ගැළපීම, ලිංගික සමායෝජනය, වැනි බරපතළ ක්‍රියාකාරකම්වලදී මුහුණපාන්න වෙන ආගමික, සදාචාරමය, සහ කුහක වත් පිළිවෙත් නිසා මුහුණ දෙන්න සිදු වන කරදර. ඉතින් මම කල්පනා කළා විවෘත සමාජය ඉදිරියට ඇවිත් පොතක්‌ මාර්ගයෙන් කුණුහරුපයක්‌ නොවන, වැදගත් අධ්‍යාපනයක්‌ වන ලිංගිකත්වය ගැන වැදගත් කරුණු කාරණා ඉදිරිපත් කරන්න. මගේ දැඩි විශ්වාසයක්‌ තියෙනවා සෑම දෙනාගේම යහපත් ප්‍රතිචාර මේ සඳහා ලැබේවි කියල.

මීට ප්‍රථම ලියූ ග්‍රන්ථ පිළිබඳව සහ පාඨක සමාජයේ ප්‍රතිචාර පිළිබඳව පැවැසුවොත්?

මම නිළියක්‌. ලේඛනයට මම ආවේ මට සිදු වූ අකටයුතුකම් ගැන හඬා ගා කියන්න. මුලින්ම මම ලිව්වේ මගේ ජීවිත කථාව. රටේ පොදු කාන්තාවෝ “පුනරුක්‌ති” පොතට දක්‌වපු ප්‍රතිචාර රැයක්‌ දවාලක්‌ නැතිව මම අහගෙන හිටියා.

මෙවැනි ග්‍රන්ථ එළිදැක්‌විම හරහා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්‌ද…?

මුළු රටම දන්නවා කාන්තාව පීඩනයට පත් වීම ගැන පොත් ලියන පිරිමි ලේඛකයෝ / සිනමා කෘති හදන සිනමාකරුවෝ තමුන්ගේ නිර්මාණය ඇතුළෙ මේ පොළොවෙ ගැහැනිය මරලා ඝාතනය කරන බව. “ප්‍රේම ජවනිකා” පොත ලියන්න මගේ විවාහ ජීවිතයේ බිඳ වැටීමට තුඩු දුන්න ප්‍රශ්නත් බලපෑවා. ඔබේ ග්‍රන්ථ වෙනුවෙන් ගල් සහ මල් පුද දෙන පිරිසක්‌ මේ සමාජයේ සිටිනවා. ඒ ගැන…? යම් විචාරයක්‌ ඉදිරිපත් කළ හැකි යැයි සිතුණු බොහෝ දෙනකුට මම මගේ ග්‍රන්ථ ලබා දී තිබුණා. නමුත් මට තෘප්තිමත් විය හැකි දෙයක්‌ ඒ හරහා සිදු නොවුණු බවකුයි සඳහන් කරන්නට තිබෙන්නේ. සමහරුන්ගේ විචාර මගින් පෙන්නුම් කළේ පක්‌ෂග්‍රාහීත්වයක්‌. ඒක පුරුෂ ප්‍රචණ්‌ඩත්වය සහ ස්‌ත්‍රිය නොසලකා හැරීමක්‌ විදිහටයි මා දකින්නේ. නමුත් සිහි තබා ගත යුතුයි මේ තත්ත්වයන් මට පමණක්‌ නෙවී, ඔවුන්ගේ බිරින්දැවරුන්ටත් පොදු බව. මේ අතර මගේ ග්‍රන්ථ වෙනුවෙන් විද්වත්, උගත්, බුද්ධිමත් විචාර ලබා දුන් පිරිසකුත් සිටි බව සිහිපත් කළ යුතුයි. මගේ නවතම කෘතිය වන “ප්‍රේම ජවනිකා” ලෝකය පුරා සිටින මගේ රසිකයන් සහ පාඨකයන් අගය කරන බව මට විශ්වාසයි. මේ දවස්‌වල මගේ “වැඩි බර” යොදා තිබෙන්නේ පොත වෙනුවෙන්.

සෑහෙන කාලයකින් අපි ඔබ රූපවාහිනි නිර්මාණයකදී දුටුවෙ නැහැ… ?

නැහැ. මම ගොඩක්‌ වැඩ කළා. ඒ අතරින් ධම්මික තිසේරාගේ “මානාවාරිය” සහ “හේලන්කඩ”ත්, ඩැනී ඩබ්ලිව්.පතිරණගේ “ගිරි කුළ දෝංකාරය” කියන ටෙලි නිර්මාණ පුංචි තිරයේ දිග හැරීමට නියමිතව තිබෙනවා. මා අන්තර්ජාතිකව සම්මානිත වූ “දැවෙන විහඟුන්” සිනමා සිත්තමත් තිරගත විය යුතුව තිබෙනවා. නමුත් ඒ ගැන කතා කිරීම ලොකු ප්‍රශ්නාර්ථයක්‌.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!