Gossip

වන මැද නටබුන් වූ විහාර බිමක සිට බුදු සසුන සුරකින බුදු පුතුන් – Photos

බොහෝම අමාරුවෙන් දරුවෝ අට දෙනෙක් මහණ කරගෙන රැකබලාගෙන ඉන්නවා.
ඒත් හරිහමන් විදිහට වැඩ ඉන්න අවාසයක් නෑ. තියෙන එකේ ඉඩකඩ මදි. ඔක්කෝටම එක ගොඩේ වැටිලා ඉන්ඩ වෙලා තියෙන්නේ. පන්සලට තියෙන්නේ එකම එක වැසිකිලියයි.
ඔක්කෝම පාවිච්චි කරන්නේ ඒක. වැසිකිලිය තියෙන්නේ ආවාසෙට ටිකක් ඈතට වෙන්න. මං පන්සලෙන් රෑකට පිරිතකට එහෙම වැඩිය දවසකට පොඩි හාමුදුරුවරු බයයි ඈතින් තියෙන වැසිකිලියට යන්න. එහෙන් අලි. තව පැත්තකින් හොර හතුරෝ. ආවාසේ ඇතුළේ වැසිකිලි පහසුකමක් නැති එක ලොකු ප්‍රශ්නයක්.
පෝය දවසකට, දහම් පාසල තියෙන දවසට එහෙම මේ අඩුව හොඳටම දැනෙනවා. බොහෝම අමාරුවෙන් බුද්ධ මන්දිරයක් හදාගන්න ගත්තා. ඒත් දැන් ඒකේ වැඩ ඉවර කර ගන්න මුදල් නෑ. දහම් පාසලේ පුටු, බංකු නැති නිසා දරුවෝ පැදුරු එලාගෙන ඉගෙන ගන්නේ. දානේ අඩුපාඩු වෙන දවසට තියෙන දෙයක් උයාපිහා ගන්න කුස්සියක් නෑ.
දානේ අඩුපාඩු වෙන දවසකට ඔහේ අයිනකින් ලිපක් හදාගෙන මොනවා හරි උයා ගන්නවා. වහින දවස්වලට එහෙම ඒක කරන්නත් අමාරුයි.”
මේ බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා කහ සිවුරට ආදරය කරන්නට පටන් ගත් කුඩා බෙල්ලන්කඩවල, පුරාණ කුඩා ගල් විහාරස්ථාන විහාරාධිපති පූජ්‍ය කුඩා බෙල්ලන්කඩවල මුදිතධම්ම හිමියන් එසේ පවසන්නේ සිය භික්ෂු ජීවිතයේ දුෂ්කරම කාලය ගෙවාදමන අයුරු පහදන්නටය.
විවිධ දුෂ්කරතා මැද පන්සල රැක ගැනීමට වෙහෙසෙන එහිමියන්ගේ අකම්පිත බව රළු, පරලු කලු ගල් පව්වක් තරම්ය. පියකු සේ කුඩා සාමානේර අට නමක් රැකීමට ගන්නා වෙහෙස දන්නේ මුදිතධම්ම හිමියන් පමණක්මය.
වියළී ගිය කටු පදුරු හා නේක ගහකොළින් සපිරි වන රොද මැදින් මා සැතපුම් තුනකට ආසන්න දුරක් මේ වන විට පැමිණ ඇත.
බැස යන හිරු තුළ ඇත්තේ සන්සුන් බවකි. නේක සකුණ නාද ඇසේ. ගල්, මුල් ඉපිලි, වළ ගොඩැලි මතු වී ඇති මාවතේ ගමන් කිරීම ඉතා දුෂ්කර කාර්යකි. එහෙත් මේ සන්සුන් බවට, නේක ගහකොළින් සපිරි වන රොද පිළිබදව මා මනසේ දලුලා ඇත්තේ වශීකෘත හැඟීමකි. ඈත ගල් පව්වක සැදි සෑයක සේයා මාත්‍රයක් මා නෙත ගැටුණි.
මා කෙමෙන් ගමනාන්තයට පිවිස සිටිමි.
තඹුත්තේගම නගරයට නැඟෙනහිර දෙසින් කිලෝ මීටර් අටක් පමණ මෑත්ව පිහිටි පුරාණ කුඩා ගල් විහාරස්ථානය කි.පූ. 200 – 300 අතර කාලයේ වලගම්බා රජ දවස ඉදිකරන ලද්දක් බවට ජනප්‍රවාදයේ කියැවේ. මෙහි පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු සලකුණු ඒ වගට දෙස් දෙයි. ගල් පව්වලින් වටව පිහිටීම විහාර භූමියේ විචිත්‍රත්වය වැඩි කිරීමට හේතුවකි.
විහාරයේ දකුණු දෙසින් විහිද පැතිර ඇති ගල් තලාව මත පිහිටි සිරිපතුල මෙහි පිහිටි විශේෂ සලකුණකි.
එමෙන්ම විහාරය පසෙක පිහිටි ඉපැරණි පොකුණ තවත් වටිනා සාක්ෂියකි. වර්තමානයේ සෑය ඉදිකොට ඇති ගල් පව්වට ගොඩවීම සඳහා ගලින් මතුකොට පිහිටුවා ඇති පියගැටපෙළ සියවස් ගණනාවකට ඉහත ඉදිකරන ලද්දක් බව පුරාවිද්‍යාත්මක විශ්ලේෂණය වී තිබේ. සෑය පිහිටි ගල මත ඇති සෙල් ලිපිය විහාරස්ථානයේ පෞරාණික බවට හොඳ සහතිකයකි.
තඹුත්තේගම – එප්පාවල ප්‍රධාන මාර්ගයේ තෙල්හිරියාව ගම්මානය තෙක් පැමිණ එතැන් සිට වම් අත දෙසට ඇති අතුරු මාර්ගයේ සැතපුම් 03ක් ඔරුගල යාය ගම්මානය තෙක් පැමිණ එතැන් සිට තවත් සැතපුම් 03ක් පමණ පැමිණි පසු කුඩාගල් විහාරස්ථානය හමු වේ. තඹුත්තේගම – තලාව ප්‍රධාන මාර්ගයේදී හමුවන කුඩා බෙල්ලන්කඩවල අතුරු මාර්ගයෙන් කිලෝ මීටර් හතරක් පමණ පැමිණි විටද විහාරස්ථානය දැකගත හැකිව පවතී.
මෙම විහාරස්ථානයේ ඇති පෞරාණික බව සහ පාරිසරික පිහිටීම අනුව නිදන් සොරුන්ගේ නිරන්තර බලපෑමට ලක්ව තිබීම මෙහි පවතින නිමාවක් නැති ගැටලුවකි. ඒ හැම අතරේ වර්තමානය වන විට විහාරස්ථානය තුළ පවතින අඩුපාඩු කිහිපයක් හේතුවෙන් වැඩවසන භික්ෂුන් වහන්සේලා මහත් අපහසුතාවයට පත්ව වැඩවසති.
නිසි පානීය ජල පහසුකමක් විහාරස්ථානයට නොතිබීම ඉමහත් ගැටලුවකි.
විහාරස්ථානය තුළ පවත්වාගෙන යන ශ්‍රී ජයවිමල දහම් පාසල සඳහා ඩෙස්, බංකු ආදිය නොමැති වීම දහම් අධ්‍යපනය ලබන දරුවන්ට මහත් අපහසුතාවයකි. පැදුරු කඩමාල්ලක හිඳගෙන දහම් අධ්‍යාපනය ලබන දරුවෝ වසර ගණනාවක සිට තවමත් ඒ දුක විදිති. ඉදිකෙරෙමින් පවතින විහාර මන්දිරයෙහි කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වී ඇත්තේ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.
යාබද ඔරුගලයාය රක්ෂිතයේ සිට කඩාවදින වන අලි විහාරස්ථානයට මහත් හිරිහැරයක් වී ඇත. විහාරාධිපති හිමියන්, තවත් වැඩිහිටි හිමිනමක් සහ කුඩා සාමනේර ස්වාමීන් වහන්සේලා අට නමක් වර්තමානය තුළ විහාරයේ වැඩ වසති. සාමනේර හිමිවරු තලාව, ජයගඟ ශ්‍රී ඥානෝදය පිරිවෙන මඟින් දහම් අධ්‍යපනය ලබති. මේ සියලු හිමිවරුන්ට විසීමට ඇති එකම ආවාසය ප්‍රමාණවත් නැත. ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නිසි වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැති වීමද ඉමහත් ගැටලුවකි.
නිසි පානීය ජල පහසුකමක් සහ වැසිකිලි, කැසිකිලි පහසුකම් නොමැතිවීම හේතුවෙන් පොහොය දිනයට සිල් සමාදන් වන දායක පිංවතුන්ට මෙන්ම දහම් පාසල් දරුවන්ටද මහත් හිරිහැරයක් වී ඇත. විහාරස්ථානයට පිවිසීමට ඇති ප්‍රවේශ මාර්ග දෙකම වළ ගොඩැලි මතු වී, ගල් මුල් ඉපිලී අබලන්ව තිබීම තවත් අවධානයට ලක් විය යුතු ගැටලුවකි.
සඳසිරිගම සහ කුඩා බෙල්ලන්කඩවල යන ගම්මාන පමණක් විහාරස්ථානයේ දායක ගම්මාන ලෙස පවතී. මේ හේතුවෙන් විහාරස්ථානයට දානය පිරිනැමීමේදී යම් අතපසුවීම් සිදුවන බවද විහාරාධිපති හිමියන් පැහැදිලි කළේය.
අඩු ආදායම්ලාභී දායක පිරිසක් මෙම ගම්මානවල ජීවත් වන බැවින් එකවර ස්වාමීන් වහන්සේලා දහ නමකට පමණ දානය පිරිනැමීම ගැටලුසහගත වී ඇත. මෙහෙයින් වාර්ෂිකව හෝ මාසිකව විහාරස්ථානය වෙත දානය පිරිනැමීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් මැනවැයි විහාරාධිපති හිමියන් ඉල්ලා සිටියේය.
උන්වහන්සේ මෙසේද කරුණු පැහැදිලි කළහ.
“මේක රජමහා විහාරස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ බව තහවුරු කරන්න පුළුවන් සාක්ෂි ගණනාවක් විහාර භූමියේ අදටත් ඉතිරි වෙලා තියෙනවා. චෛත්‍ය පිහිටලා තියෙන ගල් පර්වතයට ගොඩවෙන්න සකස් කරලා තියෙන පියගැට පේළිය වගේම පර්වතය මුදුනේ පිහිටුවලා තියෙන සෙල්ලිපිය බොහෝම ඈත අතීතයක් තියෙන සලකුණු විදිහට තමයි දැනට හඳුනගෙන තියෙන්නේ. මේ පුරාණ දේවල් හින්දම නිදන් හොරුන්ගෙන් ලොකු කරදරයක් පන්සලට තියෙන්නේ.
බොන්න වතුර නැති එක තමයි අද තියෙන ලොකුම අපහසුතාවය.
ළිඳේ වතුර තිබුණට ඒවා බොන්න පුළුවන් මට්ටමක නෑ. තද පෑවිල්ලක් ආවොත් ළිඳත් හිඳෙනවා. එතකොට නාගන්නවත් විදිහක් නැතිව යනවා. දැනට මාසෙකට රුපියල් තුන්දහක් විතර වියදම් කරලා සල්ලිවලට තමයි වතුර බොන්නේ. ගම්වල ඉන්න අහිංසක දායකයන්ට කරදර කරන්ඩ අමාරුයි. කාටහරි පන්සලට බොන්න වතුර දෙන එක පිළිවෙළක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.”
සොබා සෞන්දර්යයෙන් අනූනව ඉතා නිහඬ පරිසරයක පිහිටි හෙයින්ම භාවනා මධ්‍යස්ථානයක් නොමැතිනම් පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම සඳහා මෙම විහාර භූමිය යොදා ගැනීම පිළිබදව වගකිව යුතු අවධානය යොමුවීම වඩාත් යෝග්‍ය බව විහාරාධිපති නායක හිමියන්ගේ අදහස වී ඇත. දායක ගම්මානවලින් සැතපුම් කිහිපයක් මෑත්ව පිහිටි හෙයින් එවැන්නකට මේ භුමිය වඩාත් සුදුසු බව උන්වහන්සේගේ පැහැදිලි කිරීම වී ඇත.
මේ පුරාණ කුඩාගල් විහාරස්ථානයට ඔබට යම් පිළිසරණක් විය හැකි නම් 077 4154737 මඟින් විහාරාධිපති කුඩා බෙල්ලන්කඩවල මුදිතධම්ම හිමියන් අමතා ඒ බව පැවසිය හැකිය.

තඹුත්තේගම ප්‍රදීප් – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!