Gossip

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකුගෙන් කොරෝනා ගැන පරස්පර ප්‍රකාශයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියෙකු විසින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින්ගෙන් කොරෝනා වෛරස් ආසාදනය  සමාජය තුළ පැතිරීම ඉතා කලාතුරකින් සිදු වන බවට මුලදී ප්‍රකාශ කර දිනක් තුළදී  එම ස්ථාවරය වෙනස් කරමින් එවැනි ආසාදිතයින්ගෙන් කොරෝනා වෛරස් ආසාදනය  පැතිරිය හැකි බව ප්‍රකාශ කිරීම පිළිබඳව බටහිර මාධ්‍ය හා ජනතාව විසින් සිය දැඩි  අප්‍රසාදය පළ කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා තාක්ෂණ කමිටුවේ ප්‍රධානියා වන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මරියා වැන් කර්කොව්  මහත්මිය විසින් මෙසේ  ඉකුත් සඳුදා (08දා ) සමාජ මාධ්‍ය ජාලයක් විසින් සංවිධානය කරනු ලැබූ සජීවී සාකච්ජාවකදී  ප්‍රකාශ කර ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා වෛරස් ආසාදිතයින් හරහා  එම වෛරස් ආසාදනය  සමාජය තුළ  පැතිරීම ඉතාමත් කලාතුරකින් සිදු වන්නක් බවත්, බොහෝ රටවලින් ලැබුණු වාර්තාවලට අනුව එවැනි ආසාදිතයින්ගෙන් සමාජය තුළ ආසාදනය පැතිර ගිය බවක් වාර්තා වී නොමැති බවයි. එහෙත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය හා ජනතාව විරෝධය පෑමත් සමගම පෙරේදා (09දා ) නැවත අදාළ සජීවී සාකච්ජාවට එක් වෙමින්  වෛද්‍ය කර්කොව් මුලින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්  පවසා ඇත්තේ  කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 6ත් 41ත් අතර ප්‍රතිශතයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට එම වෛරස් ආසාදනය පැතිරවිය හැකි බවයි.
“ඇතැම් රටවල සිදු කරන ලද කුඩා අධ්‍යයන කිහිපයකට  අනුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින්ගෙන් එම වෛරස් ආසාදනය නොපැතිරෙන බවට පර්යේෂකයින් විසින් නිගමනයකට එළඹ තිබේ. මේ නිසා මා එවැනි ආසාදිතයින්ගෙන් වෛරස් ආසාදනය පැතිරීම ඉතා කලාතුරකින් සිදු වන බව පැවසීම බොහෝ දෙනෙකු වැරදියට තේරුම් ගෙන තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් සිදු කර ඇති වඩාත් විශ්ලේෂණාත්මක අධ්‍යයනවලදී අනාවරණය   වී ඇත්තේ  කොරෝනා වෛරස් ආසාදිතයින්ගෙන්  සියයට 40කට පමණ ආසාදනය  පැතිර ඇත්තේ  රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින් නිසා  බවයි “වෛද්‍ය කර්කොව් කීවාය.
මේ අතර ඉකුත් අප්‍රේල් මස 15 වැනිදා .”නේචර් මෙඩිසින් “සඟරාවේ පළ කර ඇති චීනයේ සිදු කර ඇති අධ්‍යයනයක වාර්තාවට අනුව එරට කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 44කට එම ආසාදනය වැළඳී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින් හරහාය.
වෛද්‍ය කර්කොව් විසින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය බොහෝ දෙනා වැරදි ආකාරයෙන් අර්ථකථනය කර ඇති අතර එයට හේතු වී ඇත්තේ අප විසින් භාවිතා කරන වදන් නිසා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් විසින් විදෙස් මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!