Gossip

“ලොකුම ලොකු කළු පාට ඇස් දෙකක් තියෙන මහා භයානක යකෙක් වගේ තමයි එයාව මට පේන්නේ”

මේ කියන්න යන කතාව හුඟ දෙනෙක් මා ගැන නොදන්නා කතාවක්.
හැබැයි ඉතින් මේ ගැන පත්තරේ පළ වුණාට පස්සේ නම් හැමෝම මේ රහස දැන ගනීවි.
කොහොම වුණත් මේ කියන්න යන කතාව මගේ වර්තමානයට සම්බන්ධ දෙයක් නොවෙයි. මේ රහස අතීතයට සම්බන්ධ එකක්.
මේ කතාව සම්බන්ධ භීතිකාව මට මුලින්ම ඇති වුණේ කවදාද කියලා නම් මට හරියටම කියන්න බෑ. හැබැයි ඉතින් මගේ පාසල් ජීවිතය ආරම්භ වූ කා‍ලේ වෙනතුරු දීර්ඝ ඉතිහාසයක් ඒකට තියෙනවා.
මම පුංචි කා‍ලේ කණ්ණාඩි දාපු මිනිසුන්ට පුදුමාකාර බයකින් හිටපු ළමයෙක්.
මොකද ඒ කා‍ලේ කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න කෙනෙක් දැක්කාම මට පෙනෙන්නේ මහ විශාල ඇස් දෙකක් තියෙන අමුතු යකෙක් වගෙයි.
කළුපාට අව් කණ්ණාඩි දාපු අයව නම් කොහොමත් දකින්න බයයි. ලොකුම ලොකු කළු පාට ඇස් දෙකක් තියෙන මහා භයානක යකෙක් වගේ තමයි ඒ අයව මට පේන්නේ. පුංචිම කා‍ලේ අපිව බිල්ලෝ ගැන කතා කියලා සමහරු බය කරනවනේ.
ඒ වගේ කතා ඇහෙද්දී ඕනෑම පුංචි දරුවෙකුට ඒ කතාවලින් කියැවෙන බිල්ලන්ගේ රුප මනසේ මැවෙනවා.
මම හිතන්නේ මටත් ඔය කණ්ණාඩි භීතිකාව ඇතිවෙන්න ඇත්තේ ඒ විදියටයි. බිල්ලෙක් කියන්නේ මහා විශාල ඇස් දෙකක් තියෙන, අමුතු සතෙක් කියලා මට හිතෙන්න ඇති. ඒ සිතුවිලි මගේ හිතේ කා වැදිලා කණ්ණාඩි දාපු මිනිස්සු දකින වෙලාවට මේ විදියේ භීතිකාවක් ලෙස මතු වෙන්න ඇති.
කොහොම හරි තේරෙන වයසේ ඉඳලා මම කණ්ණාඩි දාන අයට නම් පුදුමාකාර විදිහට බයයි. හැබැයි මම පුංචි කා‍ලේ පසුගාමී චරිතයක් නම් ‍නෙවෙයි. සින්දු කියන්න, නටන්න වගේ ඕනෑම දේකට ඉදිරිපත් වන හරිම ක්‍රියාශීලී දරුවෙක්. ඒ හින්දා හැමෝම මට ආදරෙයි. මමත් මිනිස්සු දැක්කම ලැජ්ජාවෙන් පැත්තකට යන දරුවෙකුත් ‍නෙවෙයි.
ඕනෑම කෙනෙක් ළඟට යනවා. හැබැයි ඉතින් කණ්ණාඩි දෙකක් දාපු කෙනෙක් හිටියොත් නම් පැත්ත පළාතක ඉන්නේ නැතුව දුවලා යනවා.
අපේ ගෙදර හිටියේ අම්මයි, තාත්තයි, මමයි විතරයි. වටාපිටාවේවත් මගේ වයසේ ළමයි වැඩිය හිටියේ නැහැ.
ඒ හින්ද හොඳ වෙලාවට මගේ මේ කණ්ණාඩි භීතිකාව ගැන කියලා විහිළු කරන්න අය නම් හිටියේ නැහැ. ඒත් මගේ මේ බය අම්මටයි තාත්තාටයි නම් වෙලාවකට ලොකු විනෝදයක් වුණා. ඇයි ඉතින් බොහොම හොඳට දුවලා පැනලා නටලා ඉන්න ළමයා, කණ්ණාඩි දාපු කෙනෙක් දැකපු ගමන් ගේ ඇතුළට දුවලා යනවනේ.
අපි ගමන් බිමන් යද්දී වුණත් කණ්ණාඩි දාපු කෙනෙක් දැක්කොත් අම්මයි තාත්තයි කරන්නේ මාව හොඳින් අල්ලාගෙන ඒ පුද්ගලයා නොපෙනෙන විදියට මගහැර යන එකයි. අර මනුස්සයා දැකලා මම පාර මැද කලබලයක් ඇති කළොත් කියන බයට තමයි එහෙම කරන්නේ. ඒ වගේම තමයි නෑදෑ ගෙදරක මංගල උත්සවයකට හෝ වෙනත් උත්සවයකට ගියත් මටත් වඩා ඒ අය උනන්දුවෙන් වටපිට බලනවා කණ්ණාඩි දාපු කෙනෙක් ඉන්නවද කියලා.
කොහොම හරි ඉතින් ඔය විදියට ගිහින් මාව පෙර පාසලට භාර දුන්නා. සාමාන්‍යයෙන් පෙර පාසලට යන ළමයි ඉන්න බැහැ කියලා අඬනවනේ.
ඒත් මම නම් එහෙම කළේ නෑ. මොකද සම වයසේ යාළුවෝ ගොඩක් එක්ක ඉන්න, ගී ගයන්න, නටන්න මම හරිම කැමතියි. මට මගේ පෙර පාසල හරිම සුන්දර තැනක් වුණා. හැබැයි ඒ සුන්දරත්වය වැඩි දවසක් තිබුණේ නැහැ. ඒ මොකද දන්නවාද?
පෙර පාස‍ලේ ගුරුතුමියගේ මල්ලී පෙර පාස‍ලේ කටයුතුවලට උදව්වට එනවා. එයා ලොකු කණ්ණාඩි දෙකක් දාගෙනයි ඉන්නේ. හා හා පුරා කියලා එයාව දැක්ක හැටියේ මම මුල්ලකට ගිහින් හැංගුණා.
එදා ඉඳන් මම පෙර පාසල් යන්න බෑ කියලා අඬන්න පටන් ගත්තා. බොහොම ක්‍රියාශීලීව හිටපු දරුවා හිටිහැටියේ වෙනස් වීම ගැන පෙරපාසල් ගුරුතුමිය අම්මලාගෙන් ඇහුවාම තමයි ඇත්තම කාරණය දැන ගත්තේ. ඒත් ඉතින් ගුරුතුමියට එයාගේ මල්ලී පෙර පාසලට එන එක නතර කරන්නත් බැහැනේ.
ඒ නිසා කොහොම හරි ඉතින් මම එයාගේ පෙනෙන මානෙවත් ඉන්නේ නැතුව තමයි ඒ දවස්වල කාලය ගත කළේ.
පස්සේ මම පාසල් යන්න පටන් ගත්තා. එක, දෙක වසරවලට යද්දී ඉබේම වාගේ මේ කණ්ණාඩි භීතිකාව නැතිවෙලා ගියා. ඊට පස්සේ අම්මටයි තාත්තාටයි බය නැතුව මාව ඕනෑ තැනකට එක්කරගෙන යන්න පුළුවන් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!