Gossip News

ලංකාවේ පුද්ගලයින් ලක්ෂ 5 කට හැඳුනුම්පත් නැහැලු-ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය..

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා.

එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ(3) කොළඹදී පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවක දී මේ බව පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ බව හෙළි වී ඇතැයි ඇය සඳහන් කළා.

මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැගවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවද මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබෙනවා.

මීට අමතරව විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව සිටින පිරිස ලක්ෂ 4ක් පමණ වන්නේ යැයි අනුමාන කළ හැකි බව ආරියංවශ මහත්මිය පෙන්වා දී තිබෙනවා.

ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නෙමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම ආදී විවිධ හේතු මීට පාදක වී ඇති බව ඇයගේ අදහසයි.

මෙම ජාතික හැඳුනුම්පත් නොමැති පිරිස අතරින් 87% ක් පමණ වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත් වන බව හෙළිවී තිබෙනවා.

ජාතික හැදුනුම්පතක් සඳහා වන අවශ්‍ය ලියකියවිලි නොමැති අය සඳහා අවම ලියකියවිලි යටතේ ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර තිබෙනවා.

එම වැඩසටහන විධිමත් අයුරින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක කළ ද ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් උදාසීන තත්වයක් දක්වා ඇති බව ද සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කළා.

ජාතික හැදුනුම්පත් ලබාදීම සඳහා වන ජංගම සේවා සඳහා පැමිණෙන බහුතරය තිබෙන හැඳුනුම්පත අළුත් කර ගැනීම, මැකී ගිය හෝ පළුදු වූ හැදුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් ලබාගැනීම ආදී කටයුතු සඳහා පැමිණෙන බව කී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ හැඳුනුම්පත් නොමැති පිරිස් එම ජංගම සේවා සඳහා පැමිණ ඇත්තේ මද වශයෙන් බවයි.

මැතිවරණ වලදී මෙම හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද එම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

මෙලෙස මැතිවරණයක් පාසා තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට සිදුවීම නිසා රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද ඒ සඳහා ද වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බව ඇය පෙන්වා දුන්නාය.

මෙම තත්වය පාදක කරගනිමින් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රහිත පිරිස ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම දක්වා වන උනන්දු කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් වෙත ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ආරම්භ කිරීමට යෝජිත බව අය සඳහන් කළාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 2013 වසරේ සිට 2015 වසර දක්වා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක් දිවයින පුරා පැවැත්වූ බවත් එහිදී ද ලක්ෂ 4කට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් ලබාදීමට හැකිවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!