Life Style

ලංකාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල අතුරුදහන්

111

අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තබන බවට අදාළ සමාගම පසුගිය කාලය පුරාවටම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගියේය. කෙසේ වෙතත් අප කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අල් අමාන් සමූහය සම්බන්ධ කිරීමට කළ උත්සාහයක දී අදාළ සමාගමේ දුරකතන අංක ද ක්‍රියා විරහිත වී ඇති බව තහවුරු විය.

කොළඹ 02 ඉදිකරනු ලබන බවට සඳහන් වූ මෙම දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණය මහල් 117 කින් යුක්ත වන බවත් එය ඉදි වූ පසුව දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැගිල්ල වනු ඇති බවත් අදාළ සමාගම සිය පූර්ව ප්‍රචාරණයේ දී සඳහන් කොට තිබිණි. මීටර 625 ක උසකින් යුතු මෙම ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විත වන අතර එය ලෝකයේ 09 වැනියට උසම ගොඩනැගිල්ල වනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබිණි. එහෙත් මෙකී පරිශ්‍රය ඉදිවන භූමිභාගය පිළිබඳ නිශ්චිත සඳහනක් කොතැනකවත් දකින්නට ලැබුණේ නැත.

මෙකී ව්‍යාපෘතියේ නිල වෙබ්අඩවියට අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ අල් අමාන් සමූහය විසින් බවට ප්‍රකාශ කර තිබිණි. බැලූ බැල්මට මෙය මැදපෙරදිග සමාගම් ලෙස පෙනුන ද අල් අමාන් සමූහයේ නිල වෙබ් අඩවියට අනුව එය 2001 වසරේ දී ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ සමාගමකි. එහි අනු ශාඛාවක් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කර ඇත.

වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතියට අමතරව තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකකට, අල් අමාන් සමූහය අත ගසා ඇති බවත් ඒවා නම් උතුරු කොළඹ වෙරළබඩ තීරයට යාබදව ඉදිවන Aman 101 – Royal Empire සහ යාපනය අර්ධද්වීපයේ මණ්ඩතිවු දූපතේ ඉදිකිරීමට යෝජිත Aman Royal Island ව්‍යාපෘතීන් බවත් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් නිල වෙබ් අඩවියේ සඳහන් වී ඇත.

අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් නිල ෆේස්බුක් පිටුව ද මේ වන විට ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම අත්හිටුවා ඇත.

මේ පිළිබඳව තොරතුරු ලබාගැනීමට අදාළ නිළධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

උපුටා ගැනීම -biz.adaderana.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!