Gossip

“රෑ ෆෝන් එකෙන් පාන්දර 3 වෙනකම් කතා කළා. උඹ කැමැති වුණත් මාස හයක්වත් යනකම් කැමැත්තක් පෙන්වන්න එපා’ කියලා යාළුවා කිව්වා.” – විනු සිරිවර්ධන

“අපි කොච්චර ප්ලෑන් කළත් ජීවිතේ විවාහය කියන දේ අපට ලැබෙන්න නම් ඒකට නියම වෙලාව එන්නම ඕන. මේ ඒ නියම වෙලාව කියලා මම හිතුවා. ඇත්තටම නොහිතපු විදිහට තමයි මගේ විවාහය සිද්ධ වුණේ.”

හදිසියේ මුණගැහුණු ජීවන සහකරු ඇත්තටම කොහොම ද මුණගැහුණේ?
“මේක ආදර සම්බන්ධයක් නෙමෙයි, විවාහ යෝජනාවක්. මගේ හොඳම යාළුවෙක් තමයි මේ යෝජනාව අරගෙන එන්නේ.
මුලින්ම කසුන් ගැන කිව්වාට පස්සේ මම කසුන්ව මුහුණුපොත හරහා බැලුවා. ඊට පස්සේ කිව්වා අපි කසුන්ව මුණගැහිලම කතා කරමු කියලා. මුලින්ම කසුන්ව මුණගැහෙන්න ගියේ මගේ පාසල් කාලේ ඉඳලා හොඳම මිතුරිය තරුෂි එක්ක.
ඒත් මුලින්ම මුණගැහැණු දවසේ තරුෂි මගේ යෙහෙළිය කිව්වා ‘උඹ කැමැති වුණත් මාස 6ක්වත් යනකම් කැමැත්තක් පෙන්වන්න එපා’ කියලා. මුණගැහුණු දවසේ රෑ ෆෝන් එකෙන් පාන්දර 3 වෙනකම් කතා කළා. කතා කරලා දවස් 3ක්වත් ගියේ නැහැ මම කසුන්ට මගේ කැමැත්ත කිව්වා. කසුන් එක්ක කරපු පළමු කතාබහේ ඉඳලම මට ඔහු පිළිබඳව ලොකු පැහැදීමක් ඇති වුණා. කතාබහ කරනකොට මට දැනුණා කසුන් මගේ ජීවිතේ ඉදිරි සැලැසුම් හැමදෙයක්ම සාර්ථක කරගන්න හොඳ සහයෝගයක් දෙන සැමියෙක් වේවි කියලා.”

තරුණයින්ගේ ආදරය, විවාහ යෝජනා ඕනෑ තරම් විනූට ලැබෙන්න ඇති. ඒ අතරින් කසුන්ව විශේෂ වුණේ කොහොම ද?
“මම කවදත් හැඩරුවෙන් මිනිස්සුන්ව මැනපු කෙනෙක් නෙමෙයි. මම කසුන්ගේ ගොඩක්ම කැමැති වුණේ ඔහුගේ තියෙන ගතිගුණ, මනුස්සකමට සහ ගුණ යහපත්කම්වලට. හැමදාමත් මම කසුන්ගේ මනුෂ්‍යත්වයේ ගතිගුණවලට ගරු කරනවා. ඒ වගේම හරිම ආදරණීයයි. මම හෙව්වේ මට වගේම මගේ අම්මාට තාත්තාටත් මට වගේම ආදරයෙන් සලකන සැමියෙක්. කසුන්ගේ ඒ ගතිගුණ උපරිමයෙන්ම තියෙනවා.
මගේ සැමියා හෝ පෙම්වතා සුදු ලස්සන උස මහත ආකර්ෂණීය කෙනෙක් වෙන්න ඕන කියන තැන මම කවදාවත් ඉඳලා නැහැ. හැඩරුව ලස්සන කියන දේ සල්ලිවලින් හදාගන්න පුළුවන් ඕන තරම්.
හැබැයි ගතිගුණ සල්ලිවලට ගන්න බැහැ. ඒ නිසා මම බැලුවේ ඔහුගේ ගතිගුණ විතරයි. ගෙදරින් පිට කෙනෙක් ගැන මා තැබූ විශ්වාසයත් ආදර සම්බන්ධතා බිඳවැටිලා වේදනා වින්ද කෙනෙක් මම. එතැනදී ඒ විශ්වාසය මා තුළ ඇති කරගන්න කසුන්ට හැකියාව ලැබුණා.”

විනූ විවාහ වෙනකම් ප්‍රේම සම්බන්ධය හංගගෙන හිටියේ ඇයි?
“ඇත්තටම අපි දෙන්නා යාළු වෙලා අවුරුද්දක් විතර මේ සම්බන්ධතාව ගැන කාටවත් කිව්වේ නැහැ. මගේ දෙමාපියෝ හැරුණම කසුන් ගැන දැනගෙන හිටියේ මගේ හොඳම යෙහෙළියන් දෙදෙනෙක් පමණයි. අනිත් එක මාධ්‍යයට ප්‍රේක්ෂකයින්ට මගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය නැහැ කියන තැන මම හිටියා.
කසුනුයි මායි දෙන්නම තීරණය කළා මේක විවාහය දක්වා යනකම් රහසක් සේ රැකගමු කියලා. හොරෙන් කරපු ආදරෙත් අමුතුම වෙනස් අත්දැකීමක් තියෙනවා. කොටින්ම කියනවා නම් මගේ විවාහ උත්සවයට එනකම් නැදෑ හිතවතුන්වත් කවුද මගේ කුමාරයා කියලා දැනන් හිටියේ නැහැ.”

ඔහු බාහිර කථිකාචාර්යවරයෙක් නේද?
ඔහු බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය උසස් පෙළ ශිෂ්‍යයන්ට ටියුෂන් කරනවා. කසුන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන හොඳ ගුරුවරයෙක්.”

විවාහයෙන් පස්සේ විනූගේ කලා ජීවිතේට වාරණ වැටේවි ද?
“ඇත්තම කියනවා නම් මීට පෙර මුණගැහුණු හැම කෙනෙක්ම ආදර සම්බන්ධතා පැවැත්වූයේ එක්කෝ මගේ ජනප්‍රියත්වයට, එහෙම නැත්නම් ඒ අයට මං හරහා ක්ෂේත්‍රයට එන්න තියෙන වුවමනාවට. මට ගොඩක් මුණගැහිලා තියෙන්නේ ඒ වගේ අය. කසුන් කියන්නේ වෙනම ක්ෂේත්‍රයක කෙනෙක් සහ ඔහු ගුරු වෘත්තියේ තැනක් හදාගත්ත කෙනෙක්.
මට කවදාවත් ඔහු වාරණ දාලා නැහැ. සම්පූර්ණ නිදහස, මගේ වැඩ කරගන්න මට දීලා තියෙනවා. තනිකඩ කාලේ ගෙවපු ජීවිතේ වගේ දැන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මම විසින්ම මට යම් වාරණ දාගෙන ඉන්නවා. මොකද විවාහයෙන් පස්සේ මම ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ සැමියාට සහ පවුලට.”

මේ විනූගේ පවුලේ කරපු පළමු විවාහය ද?
“ඔව්. මට ඉන්නේ අයියයි නංගියි. පවුලේ පළමු විවාහය නිසා ඒක භාරධූර කටයුත්තක් වුණා. හැබැයි මට හැමෝම ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ සියලුදෙනාට මම ස්තූති කරනවා. කසුන්ගේ පවුලේ නම් කසුන් තමයි බාලම. අක්කා විවාහකයි. කසුන්ගේ අම්මලා කසුන්ට හරියට විවාහ යෝජනා ගෙනැල්ලා තියෙනවා. ඒත් එයා උනන්දුවක් දක්වලා නැහැ. කසුන් මං වෙනුවෙන් හිටපු කෙනෙක් වෙන්න ඇති. ඒකනේ කසුන් මටම ලැබුණේ කියලා හිතෙනවා.”
කතාබහ අතරතුර විනූගේ අත ගත්ත ආදරණීය සැමියා කසුන් ඒ රසබර කතාබහට මේ විදිහට එකතු වුණා.

ඉතින් කොහොම ද?
“බොහොම සතුටෙන් කාලය ගතවෙනවා.”

විනූව ඔබේ සහකාරිය විදිහට තෝරගන්න විශේෂත්වයක් තිබුණා ද?
“අමාරුවේ වැටෙන ප්‍රශ්න තමයි මේවා. (ඔහු සිනාසෙයි)

මුලින්ම දැකපු දවසේ කැමැති වුණේ ඇයගේ ආකර්ෂණීය ලස්සනට. ඒක විවාහයක් දක්වා වර්ධනය වුණේ විනූගේ තියෙන ගතිගුණවලට. ඒ වගේම ඇය හරිම ආදරණීයයි. ටික දවසක් ආශ්‍රය කළාම විවාහ වෙන්න මට ගැළැපෙන කෙනා ඇය තමයි කියලා මම තීරණය කළා.”

ඔබ විනූගේ කලා නිර්මාණවලට ඇළුම් කළ ප්‍රේක්ෂකයෙක් ද?
“අපෝ නැහැ. මම විනූගේ කලා නිර්මාණවලට ප්‍රිය කරපු, ඒවා නරඹපු කෙනෙක් නෙමෙයි. ඇය කලාකාරිනියක් කියලා මම දැනගෙන හිටියාට කවදාවත් මම ඇයගේ රසිකයෙක් නෙමෙයි. මම ආදරය කළේ විනූ උදාරි කියන නිළියට නෙමෙයි. මම ගෑනු ළමයෙකුට කැමැති වුණා, කතා කළා, ගැළැපෙන නිසා විවාහ වුණා. ඇය විනූ උදාරි. මම විවාහ කරගත්තෙ විනූ උදාරි කියන සාමාන්‍ය ගැහැනු ළමයා විතරයි. මම ඇයගේ ඉදිරි ජීවිතේ ඕනෑම වැඩ කටයුත්තකට උපරිම සහයෝගය දෙනවා. විවාහය කියන්නේ තේරුම් ගැනීම. විනූ රඟපාන්න කැමැති තාක්කල් ඇයට ඒ නිදහස දෙනවා.”

විනූගේ ආදර කතාව ගෙදරට කිව්වාම අම්මාගෙන් එක පයින් කැමැත්ත ලැබුණා ද?
අම්මේ… අපේ අම්මා මට විවාහ යෝජනා ගේන්න ඇති ඉහේ කෙස් ගාණට. ගෙදර ප්‍රධාන මාතෘකාව වුණේ මගේ විවාහය. විනූ ගැන කිව්වාම අම්මා තාත්තා තරම් සතුටු වුණේ නැහැ වෙන කවුරුවත්.”

නදීශා අතුකෝරළ
ලංකාදීප සදැල්ල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!