Gossip

රන්ජන්ගේ ඇමතුම් ලීක් වුණු හැටි මෙන්න – සියළු විස්තර හෙළි වෙයි

ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹී මේ ගෙවෙමින් තිබෙන හැත්තෑ තුන්වැනි අවුරුද්දේ පාර්ලිමේන්තුව ඇත්තේ ගිනි කන්දක් උඩය.
හත් දිනක් තිස්සේ ගිනි කන්ද වරින් වර සක්‍රිය වෙමින් ලාවා පිටකරමින් රටේ ප්‍රබල චරිත දවා හළු කරමින් සිටින්නේය. ඒ අතරේ තවත් පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ ගිනි කන්ද සක්‍රිය වීම වැළැක්වීමටය. ඒ තමන්ට වන හානිය වළක්වා ගැනීමටය.
දේශපාලනඥයන්, ප්‍රසිද්ධ චරිත නළු නිළියන්, අධිකරණ විනිසුරුවරු, පොලිස් නිලධාරීන් ඇතුළු මෙකී නොකී බොහෝ පිරිසක් භීතියට පත්ව ඇති මේ ගිනි කන්ද වත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬ පටය.
සත් දිනක් පුරා එම දුරකථන හඬ පට එළියට එමින් ඇත්තේ ප්‍රසිද්ධ චරිත රැසකගේ සළු පට උනා දමමිනි.
මෑත කාලයේ එවැනි දෙයක් වාර්තා වූයේ විකිලිස් වෙබ් අඩවියෙනි. එය කළේ ජුලියන් අසන්ජේය. ඔහු එළිකළ තොරතුරු මුළු ​ලෝකේම දැඩි ආන්දෝලනයට ලක් විය.
ඔහු තමා සතු තොරතුරු එළියට දැම්මේ වුවමානාවෙනි. එහෙත් රන්ජන් රාමනායක තමාගේ හඬපට වුවමනාවෙන්ම එළියට දැම්මේ නැත. එය තහවුරු වන්නේ ඔහුගේ දුරකථන හඬ පට අන්තර්ජායේ හා මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග එය නතර කිරීමට ඔහු අධිකර ණයෙන් වාරණ නියෝගයක් ඉල්ලූ නිසාය.
එසේ නම් රන්ජන් රාමනායක මන්ත්‍රී වරයාගේ පෞද්ගලික දුරකථනයේ පටිගත කෙරුණු දුරකථන ඇමතුම් පිටට ගියේ කෙසේද? ඊට කතා දෙකකි. පොලිසිය නිල වශයෙන් කියන කතාව මෙසේය.
පොලිසිය කියන හැටියට මිරිහාන පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ​පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාට මෙම දුරකථන ඇමතුම් අඩංගු දෘඪ තැටි ගෙනවිත් දෙන්නේ දකුණු තලංගම අංක 890 දරන නිවසේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරකු වන වෙනුර තුෂාන්තය. ඔහු කියන හැටියට ඔහුට එය ලැබී ඇත්තේ ජනවාරි 02 දා සවස නුගේගොඩ සිට ඔහු ත්‍රිරෝද රථයේ කුලී ගමනක් යන විටය. මාදිවල කිඹුලාවල මන්ත්‍රී නිවාස ළඟදී මොහුගේ ත්‍රිරෝද රථයට අත දැමූ කණ්ණාඩි දමාගත් අයකු එහි නැගගත් ඇති බව පැවසෙන්නේ නුගේගොඩට යාමට බව කියමින්ය.
ඔහු අත ඩයරියක් මෙන් යමක් තිබූ බවද වෙනුරට මතකය.
‘‘රන්ජන් ඇමැතිතුමා සතපහක වැඩක් නැහැ. මට මිනිහගේ වීඩියෝ වගයක් හම්බවුණා’’ යැයි කියමින් ඔහු තමාට ආ දුරකථන ඇමතුමට සම්බන්ධ වූ පුද්ගලයාට කියමින් යද්දී එක්වරම ත්‍රිරෝද රථය නවත්වන්නට රියැදුරාට කියා තිබුණේය. බැද්දගාන ටවුමෙන් දුරකථන ඇමතුමේම රැඳී සිටිමින් රුපියල් එකසිය විස්සක් වෙනුරට දී ඔහු කඩිමුඩියේ බැස ගොස් තිබේ.
ඉන්පසුව ඉදිරියට ඇදුණු ත්‍රිරෝද රථය වාහනයකට ඉස්සර කිරීමට යද්දී එක්වරම තිරිංග තද කරන්නේ ඉදිරියෙන් ආ වාහනයක් නිසාය. එසැණින් රථයේ පසුපස අසුනේ තිබූ යමක් වැටුණු ශබ්දය ඇසෙද්දී රියැදුරා දැක තිබුණේ එහි වැටී තිබූ ඩයරියක් වැනි දෙයකි.
තමගේ ත්‍රිරෝද රථයෙන් බැස ගිය පුද්ගලයාට අයත් බව සිතූ එය නැවත ලබාදීම සඳහා වෙනුර පිටකෝට්ටේ දෙස සිට යළි බැද්දගාන දෙසට ගමන් ගන්නේ බැස ගිය පුද්ගලයා මහමගදී හෝ සොයා දෙන්නටය.
එහෙත් ඔහු හමු නොවූ ඔහු තුළ වූ අමතක වී දමා ගිය දෘඪ තැටිය පාගොඩ පාරේ වූ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය හෙවත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට දුන් බව ඔහු පොලිසියට කියා තිබුණි. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා වෙත ත්‍රිරෝද රථ රියැදුරා ගෙනවිත් දුන් දෘඪ තැටිය පරීක්ෂා කර බලන්නේ සැරයන්වරුන් වූ ලක්ෂ්මන් හා මෙන්ඩිස්ගේද සහාය ඇතිවය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ දුරකථන සංවාද හා වීඩියෝ පට එහි වන බව පොලිසිය හෙළි කර ගන්නේ පරීක්ෂා කිරීම්වලදීය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දේශපාලනඥයන් සමග කරන කතා බහක් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් ඇතුළුව විනිසුරුවරුන් රැසක් සමග අධිකරණයේ විභාග වන නඩු විභාග ගැන මෙන්ම අධිකරණ තීන්දු ගැන සංවේදී කතා රැසකි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, රහස් පොලිසියෙන් කෙරෙන විමර්ශනවල තොරතුරු රන්ජන් රාමනායකට හෙළිකරමින් කෙරෙන කතාබස් ඇතුළත් මෙම හඬ පට අතරේ වූයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල තොරතුරු රන්ජන් රාමනායක හමුවේ හෙළි කරමින් රටේ නමක් දිනාගත් විමර්ශන නිලධාරියකු වූ ශානි අබේසේකරත් ඇමතිගේ නිවසේ වළං සේදීමට වුව යන බවට කියන්නට තරම් පත් වූ වග හෙළි වන්නේ මෙම හඬපටවලින්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව ප්‍රධාන​ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පාත් රන්ජන් රාමනායක ඇමැතිවරයා අතර කතා කරන හඬපටයක්ද මෙහි තිබී හමුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව කරන විමර්ශන ගැන රන්ජන් රාමනායකට හෙළි කරමින් රහස් පොලිසියේ රහස් තොරතුරු එළියට දුන් බවට හඬ පටය එළියට එන්නේ රහස් පොලිසියේ සයිබර් අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ කටහඬද සමගය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනු පිටින් දේශපාලනඥයන් අතට පත් කරමින් මොවුන් කළ විනාශයක මුල මේ අයුරින් ආරම්භ වේ.
මේ රන්ජන්ගේ හඬපට තමන්ට හමු වූ ආකාරය ගැන පොලිසිය කියන කතාවය. එනමුත් ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවක්ද ඇසෙන්නේය. ඒ කතාවට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට ලැබෙන හා තමන් කතා කරන හැම දුරකථන ඇමතුමක්ම පටි ගත කර තිබේ. සාමාන්‍යයෙන් දුරකථන ඇමතුමක් පටිගත කෙරෙන්නේ තමන්ට ඒ ගැන සැකයක් හෝ යළි තහවුරු කර ගැනීමක් අවශ්‍ය වූ විටය.
එහෙත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පටිගත කළ දුරකථන සංවාද අසන විට පැහැදිලි වන්නේ එවැනි අවශ්‍යතාවකට ඔහු දුරකථන ඇමතුම් පටිගත නොකළ බවය. නිළියන් නිරූපිකාවන් සමග කළ අතිශය පෞද්ගලික කතාබස් පවා ඔහු පටිගත කිරීමෙන් ඒ බව පෙනී යයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ සියලුම ඇමතුම් පටිගත කර ඇති බව පැවසෙන්නේ තමාගේ ජංගම දුරකථනයේ ‘‘ඔටෝ කෝල් රෙකෝඩර් ඇප්’’ මගින්ය. ඒ සියලු දුරකථන සංවාද ඔහුගේ ලේකම්වරයකු බව පැවසෙන අයකු හට පරිගණක දෘඩ තැටියක ගබඩා කිරීමට පවරා තිබූ බවද පැවසේ. ඒ කියන පුද්ගලයාගේ පැටිකිරිය දන්නේ පාර්ලි​මේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායකය. මන්ත්‍රීවරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයා සමග ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු මේ හඬ පට එළියට දුන් බවද පැවසේ.
කෙසේ නමුදු මන්ත්‍රීවරයාගේ දුරකථන ඇමතුම් එළියට එන්නේ මිරිහාන පොලිසිය රන්ජන්ගේ නිල නිවස වැටලූ පසුය. ඒ ජනවාරි 04 දා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට බී 42/2020 යටතේ කරුණු වාර්තා කර ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවස සංකීර්ණයේ වූ අංක ඒ/05 දරන නිවසය.
මිරිහාන පොලිසිය එහි යන්නේ හඬ පට අතරේ වූ මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සඳහා කියමින් පිස්තෝලයෙන් වෙඩි තබන්නට කළ කතාබහක් නිසාය. රන්ජන් රාමනායක රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ඔහු සමග කරන දුරකථන කතාබහේදී මෙම ඝාතන තැතක් ගැන කියවුණේය.
මෙම ඝාතන කතා බහ හෙළි වූ දෘඪ තැටියේ පළමු පිටපත් හා පිස්තෝලය සොයා පොලිස් කණ්ඩායම ජනවාරි 04 දා සවස 3.00ට මාදිවෙල මන්ත්‍රී නිවස වැටලූහ.
එහිදී මන්ත්‍රීවරයාගේ නිදන කාමරයේ හා යාබද කාමරයේ තිබී ලියාපදිංචි නොකළ පිස්තෝලයක් එහි පතොරම් ගැබ් දෙකක් හා ජීව උණ්ඩ 127ක් සොයා ගැනිණි. මෙහිදී උණ්ඩ පනහ බැගින් වූ උණ්ඩ බහාලන ඇසුරුම් තුනක් තිබුණද සොයාගත හැකි වූයේ උණ්ඩ 127 කි. ඉතිරි උණ්ඩ විසිතුනකට වූ දෙයක් නොවීය.
මෙම පරීක්ෂාවේදීම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක්, බාහිර දෘඩ තැටි හතරක්, හාර්ඩ් ඩිස්ක් පහක්, අසභ්‍ය වීඩියෝ පට ඇතුළු ඩී.වී.ඩී. පට 164ක්, වසීම් තාජුඩින් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු දෙකක්, ජංගම දුරකථනයක් ඇතුළු දෑ සොයා ගැනුණේය.
පිස්තෝලයේ බලපත්‍රය 2016 න් පසුව ලියාපදිංචි නොකිරීම හා ජීව උණ්ඩ අතුරුදන් වීම ගැන විමර්ශන කිරීමට මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනුණේය. මෙහිදී අත්අඩංගුවට ගත් දේපොළ මන්ත්‍රීවරයාගේ වම් මාපට ඇඟිලි සලකුණ සහිතව මුද්‍රා තබා නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට සිල් තැබීය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එදින (04) රාත්‍රියේ ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම සිද්ධි දාමය රටම ගිනි ගන්නා උණුසුම් තත්ත්වයට පත්වන්නේ එතැන් පටන් හඬ පට හා වීඩියේ පට රූපවාහිනී ගුවන්විදුලි නාළිකා සමාජ ජාල ඔස්සේ සංසරණය වීමත් සමගය. එතැන් පටන් නීතිය නවන හැටි හා නීතියේ දෙවඟන අසරණ කරමින් විනිසුරුවරුන් හා විනිසුරුවරියන් දේශපාලන ජවනිකා කළ හැටි එකින් එක එළියට එන්නට වූයේය.
නිළියන් හා මෝස්තර නිරූපිකාවන් සමග අතිශය පෞද්ගලික කතාබස්ද එළියට ආවේය. ඒ අතරේ පියුමි හංසමාලා, ටීනා මිෂෙල් වැනි නිළියන් වයස අවුරුදු දහනවයක තරුණියක ගෙන්වා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තරුණියක සමග කෙරුණ කතාබහක්ද ඒ අතර විය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රන්ජන් රාමනායක සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බිරිය ජලනි ප්‍රේමදාස පතුරු ගසන හඬපටද එළියට ආවේය. එළියට පැමිණ ඇත්තේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණි. කෙසේ නමුදු දැනට හෙළි වී තිබෙන ආකාරයට රන්ජන් රාමනායක ළඟ එක්ලක්ෂ විසිහත්දහසක් වූ පටිගත කළ දුරකථන ඇමතුම් තිබේ.
මෙම හඬ පටවලට අමතරව මීළඟට දේශපාලන ක්ෂේත්‍රය යළිදු වරක් ගිනි ගෙන ඇත්තේ ඉතිරි හඬපට එකින් එකට එළියට එන්නට වූ විටය. මේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය භාරයේ වූ විමර්ශන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාර කර තිබේ.
මෙම ලක්ෂ ගණනක් වූ දුරකථන ඇමතුම් එකින් එකට අසා අපරාධමය ගණයට වැටෙන ඇමතුම් හා රහස් හෙළිකිරීම් ඇතුළු දෑ වෙන් කිරීමට වෙනමම පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ. එම කණ්ඩායම හඬපට පරීක්ෂා කිරීම ඔවුන් ඇරඹුවේ සිකුරාදා (10 වැනිදා) සිටය.
මුලින්ම හෙළි වූ හඬපටවලින් පොලිසියට වූ අපකීර්තිය නිසාම ජාතික පොලිස් කොමිසම හදිසියේම රැස් වූයේ ඉකුත් අඟහරුවාදා (07වැනිදා) ය. වෙනදාට පොලිස් කොමිසම රැස්වන්නේ සතියේ බ්‍රහස්පතින්දාය.
හදිසියේම රැස් වූ පොලිස් කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වහාම වැඩතහනම් කිරීමට තීරණය කළේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලෙස ඔහු පොලිසිය අපකීර්තියට පත් කිරී‍ම් චෝදනාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමටය. වහාම මේ සම්බන්ධ සති දෙකක් ඇතුළත පොලිසියට වාර්තාවක් දෙන්නැයි වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට පොලිස් කොමිසම නියෝග කළේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගැන පොලිස් කොමිසමට මීට පෙරද පැමිණිලි රැසක් ලැබී තිබුණේ ඔහු පක්ෂග්‍රාහීව හා තම වුවමනාවන් මත විමර්ශන කරන බව කියමිනි.
ශානිට එරෙහිව ගත් තීරණය ඉදිරියේදී අනෙකුත් හඬපටවලින් එළිවන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් ගැනීමට පොලිස් කොමිසම තීරණය කර ඇත. මේ අතරේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග කතාබස් කළ බව කියන විනිසුරුවරුන් පිළිබඳවද පරීක්ෂණයක් ඇරඹීමට නියමිතය. කෙසේ නමුදු විනිසුරු පද්මිණී රණවක මේ වන විට සිටින්නේ විශ්‍රාම ලබාය.
මෙම හඬ පටවලින් හෙළි වූ කරුණු අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන් ඝාතනය කිරීමට සැරසෙන බව පවසමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාත් පොලිස් මූලස්ථානය වෙත බ්‍රහස්පතින්දා (09වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ අතරේ දේශපාලන ​ක්ෂේත්‍රයේ පැතිරී ගිය කතාවක් වූයේ දැන් බොහෝ දෙනෙක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට කතා කිරීමට බිය වී ඇති බවය. ඔහුට මින් පෙර කතා කළ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් බියට පත්වී සිටින බවට පැවසේ. ඒ තමන් සමග කළ පෞද්ගලික කතාබස් ද ඔහු පටිගත කර ඇති බවට ඇති සැකය නිසාය. මැති ඇමැතිවරු , මැති ඇමැති බිරියන් ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්, අමාත්‍යාංශ ලේකම්වරු, ජනමාධ්‍යවේදීන් ඇතුළු ලැයිස්තුවක් එහි ඇත්තේය.
කෙසේ නමුදු මේ සිද්ධිය සම්බන්ධයෙන් අප රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අදහස දැන ගැනීමට දින කීපයක් පුරා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුවද දුරකථනයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා කීවේ ඔහු කාර්ය බහුල බවය. මන්ත්‍රීවරයා සම්බන්ධ කර දෙන බව කීවද පුවත්පත මුද්‍රණයට යන විටත් එය වූයේ නැත. බොහෝ විට අප ගත් ඇමතුමද ඔහුගේ දුරකථනයේ පටිගත වී තිබෙනු ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!