Gossip

මොනවා හරි වැඩක් කරන්න කිව්වොත් හරියටම ඒ දේ කරනවා. එයාට ඒකටම කියලා මොකක්දෝ දක්ෂකමක් තියෙනවා – රවින්ද්‍ර යසස්ගේ ආදරණීය බිරිඳ

ඔබට රවින්ද්‍රව මුණගැහුණේ කොහොමද?
1987දී විතර පිළියන්දල මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් මම සමස්ත ලංකා නාට්‍ය තරගවලට ගියා. රවින්ද්‍රත් තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් ඒ තරගවලට ආවා. අපි හමුවුණේ එහෙම. ‘අබුද්දස්ස’ කෝලම නාට්‍යයේ අපි දෙන්නම රඟපෑවා. එතකොට තමයි අපි ආදරෙයි කියලා කතාබහ කරන්න ගත්තේ.

මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
හරිම සරල චරිතයක්. මට ඔහුගෙන් ලොකු ආරක්ෂාවක් ලැබුණා. මං ගැන එයා හොඳට හොයලා බැලුවා.

පෙම්වතා කාලේ?
හරියට වෙලාවට, කලාවට, පිළිවෙළට වැඩ කරන කෙනෙක්. මුණගැහෙන්න එන්න කිව්වොත් වෙලාවටම යන්න ඕන. හැබැයි මොන ප්‍රශ්නය ආවත් හරිම විනෝදකාමීව ඉන්න කෙනෙක්.

සැමියෙක් විධියට ඔහු?
මුල් කාලයේදී නම් බොහොම සහයෝගයෙන් වැඩ කළා. ඒත් පස්සෙ එයා හරිම අවිවේකී චරිතයක් වුණා. ඒ කාර්යබහුලත්වය නිසාම ටිකක් අපි වෙනුවෙන් වැය කරන්න තියෙන කාලය අඩුවුණා.

ජනප්‍රියත්වය එක්ක ඔහු?
ජනප්‍රිය වෙන්න කලින් සහ පසු කියලා වෙනසක් වුණේ නැහැ. මිනිස්සු හැම වෙලේම එයාව අල්ලගෙන කතා කරනවා. අස්සන් ගන්න දුවගෙන එනවා. 90 දශකයේදී විතර එහෙම කාලයකුත් තිබුණා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විධිය?
අපි ඉස්සර දරුවා එක්ක සත්තු වත්ත බලන්න ගියොත්, මිනිස්සු වටවෙලා රවින්ද්‍ර එක්ක කතා කරනවා. එතකොට නම් අපේ නිදහස අපිට නැතිව ගියා. ලොකු සතුටුදායක පැත්තක් තිබුණා. ඒ අතර පොඩි දුකකුත් තිබුණා. නිදහස නැතිවීම ගැන.

විවිධ භූමිකාවල හිරවුණ ඔහුට ඔබව සහ පවුල මඟහැරෙනවද?
මඟහැරෙනවා. ඒ වුණාට ඔහු අපිට උදවු කරනවා. අපි ගැන හොයලා බලනවා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?
මම හිතන්නෙ එහෙම දේවල් නම් නැහැ. සම්මාන පවා එයාට ලැබිලා තියෙනවා.

ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
සියයට සියයක්ම ඔව්. මොනවා හරි වැඩක් කරන්න කිව්වොත් හරියටම ඒ දේ කරනවා. එයාට ඒකටම කියලා මොකක්දෝ දක්ෂකමක් තියෙනවා.

සාමාන්‍ය ජීවිතයේ ඔහු මොනවගේ චරිතයක්ද?
කොච්චර විනෝදයෙන් හිටියත් ටිකක් සැරයි. සාමාන්‍ය ජීවිතයේ හරිම සරල පුද්ගලයෙක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස්ව හිතන කෙනෙක්ද?
මම හිතන්නෙ සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. ජීවිතයේ එක දෙයක් බැරිවුණොත් ඊළඟ එකෙන් ඒක සම්පූර්ණ කරගන්නවා. හැම දෙයක්ම ඉතින් අකුරටම කරන්න උත්සාහ කරනවා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඔව්. ඇත්තටම සතුටු වෙනවා

දුක හිතුණම ඔහු?
මට මතකයි තාත්තා නැතිවුණු වෙලාවේ එයා හයියෙන් ඇඬුවා. එයාට දුකේදී ඒක දරාගන්න අමාරුයි. හයියෙන් අඬනවා.

සතුටු හිතුණම ඔහු?
හරිම නිහඬයි.

තරහා ගියාම?
මමයි පුතයි නම් කිට්ටු වෙන්නෙවත් නැහැ එයාට තරහා ගියාම. ටිකක් අෑතට වෙලා ඉඳලා තරහා නිවුණම කතා කරනවා.

වැඩිපුරම යන්න කැමැති තැන්?
මුහුදු වෙරළට හුඟක් කැමැතියි. ඒ වගේම නිදහස් තැන්වලට යන්න කැමැතියි.

ඔහු වැඩිපුරම ආදරය කරන්නෙ කාටද?
මට හිතෙන්නෙ පුතාට කියලා.

ඔහුට නැතිවම බැරි අය කවුද?
පවුලේ අය ඇරුණම යාළුවො.

මොන වගේ විලාසිතාවලටද කැමැති?
ඩෙනිමයි ටීෂර්ට් එකයි තමයි වැඩිපුරම අඳින්නෙ. නමුත් තැනට ගැළපෙන, සුදුසු විධියට අඳිනවා. හුඟක් විලාසිතා කරන කෙනෙක් නෙමෙයි.

ඔහු ගැන අහන්න ලැබුණ සතුටුම ආරංචිය?
දවසක් ඔහුට ලොකු රිය අනතුරක් වුණා. ඔහු මට දුරකථන ඇමතුමක් දීලා විස්තරේ කිව්වා. මම එතැනට ගිහින් බලනකොට කාර් එක ගන්න දෙයක් නැහැ. ඒත් ඔහුට කිසිම හීරීමක්වත් වෙලා තිබුණෙ නැහැ. ඒක මගේ ජීවිතයේ දකින්න ලැබුණ සතුටුම දේ. එයා හුඟක් හොඳින් හිටියා.

ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?

දැනට නම් එහෙම ආරංචියක් නැහැ

එහෙම ආරංචියක් ආවොත්?
මෙච්චර කාලයක් ක්ෂේත්‍රයේ හිටියා. නමුත් එයා ගැන එහෙම නරක කිසිම ආරංචියක් ඇවිත් නැහැ. එහෙම ආරංචි ඉදිරියට එන එකකුත් නැහැ කියලා හිතනවා.

ඔහු ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?
පුතා ලැබුණු දවස.

ඔහු ජීවිතයේ වැඩි වටිනාකමක් දෙන්නෙ මොනවටද?
පොදු සමාජයේ වැඩකටයුතුවලට තමයි. මොනව හරි වැඩක් දාගෙන තිබුණොත් ඒ වැඩේ කරලම තමයි ඉවර කරන්නෙ. සමාජ සේවයට තමයි ඉතින් පළමු තැන දෙන්නෙ.

විනෝදාංශ?
බැට්මින්ටන් සෙල්ලම් කරන්න සහ පීනන්න ගොඩක් කැමැතියි.

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
පුතාව තමයි ඉතින්.

ඔහුට ගැළපෙනම නිළිය කවුද?
දමිතා නංගි හොඳයි. නිරෝෂා හේරත් නංගිත් ගැලපෙනවා. ඊට අමතරව එයාගේ උසත් එක්ක දිල්හානි අශෝකමාලා වගේ අයත් එයාට ගැළපෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!