Gossip

“මට නිත්‍යවානීට වඩා හොඳට මේ චරිතය කරන්න පුළුවන් කියලත් හිතුණා. ඒ පට්ට ඉරිසියාව මාව දවසක රංගන ශිල්පිනියක් කළා – නිරංජනී සම්මුගරාජා

නිරංජනී මේ දවස්වල මොනවද කරන්නේ..?
මේ දවස්වල ඇත්තටම ගෙදරට වෙලා ඉන්නවා.

ඒ කියන්නේ “සුනාමියෙන් පස්සේ නිරංජි කිසිම වැඩක් කරලා නැහැ. එහෙමද?
මෙහෙමයි.. සෝමරත්න දිසානායක සර්ගේ “සුනාමි චිත්‍රපටය අපි රූගත කිරීම් කළේ දැන් අවුරුදු කිහිපයකට උඩදීයි. මම සාමාන්‍යයෙන් ලැබෙන හැම නිර්මාණයක්ම එහෙම බාරගන්නේ නැහැ. ඒක මගේ ලොකුකම කියලා නම් හිතන්න එපා. මම වැඩක් බාරගන්නේ ඒ නිර්මාණය මගේ හිතට දැනෙනවා නම් විතරයි. මගේ චරිතය බලන මගේ ප්‍රේක්ෂකයින්ට එයින් කිසිම දෙයක් දැනෙන්නේ නැත්නම් එවැනි නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. එහෙම වුණොත් මම කරගෙන ආපු වැඩවලට, මම ඉස්සරහට කරන වැඩවලට ඒකෙන් හානියක් වේවි කියලා මට හිතෙනනවා. ඒ නිසා මට නිර්මාණයකට කතා කරද්දී ඒ ගැන හොඳට හිතනවා. ඒ නිසා පසුගිය මාස දහය ඇතුලත මම රංගනය පැත්තෙන් වැඩකට අතගැහුවේ නැහැ. ආරාධනා කිහිපයක්ම ලැබුණත් මම ඒවාට සහභාගී වුණේ නැහැ. සුපුරුදු පරිදි මගේ නිවේදන කටයුතු නම් දිගටම කරගෙන යනවා.ඇත්තම කියන්නද? මම සෝමරත්න දිසානායක සර්ගේ පුංචි කාලේ ඉඳන්ම හොඳ රසිකාවියක්. පුංචි කාලේ ඉඳන්ම ඒ සර්ගේ චිත්‍රපට බලලානේ අපි හැඳුණේ. ඉතින් කොහොම හරි මම නිළියක් වුණාට පස්සේ සෝමරත්න සර්ව බොහෝ තැන්වලදී මුණගැහෙන්න අවස්ථා ලැබුණා. උත්සවවලදී, එහෙම සර්ව මුණගැහෙද්දී මම සර්ට “සර්.. අපිව ගන්නේ නැහැනේ.. සර් මාව ඔයාගේ ෆිල්ම් එකට ගන්නේ කවද්ද ඇයි අපි කළුද? කියලා විහිළු කරනවා. හැබැයි සෝමරත්න දිසානායක මහත්මයාගේ චිත්‍රපටකට රඟපාන්න මට ලැබේවී කියලා මම ජීවිතේට හිතුවෙ නැහැ. ඔහු තෝරාගන්න ළමා චරිත පවා හරියට තෝරලා බේරලානේ ඔහු අරගන්නේ. ඒ නිසා ඔහුගේ නිර්මාණයකට මට දායක වෙන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම මම හිතුවෙත් නැහැ.

හිතපු නැති මොහොතක ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙද්දී නිරංජිට මොකද හිතුණේ?
ඒ අවුරැද්දේ මම දේවින්ද අයියාගේ “ගිරි වැසිපුර චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී ලැබුණු පොඩි විවේක වෙලාවකදී මට සර්ගෙන් කෝල් එකක් ආවා. සර්ගේ නම්බර් එක ෆෝන් එකේ දකිද්දී “ඇයි සර් මට කෝල් කරන්නේ. කියලත් එකපාරටම මට හිතුණා. මමත් කතා කරලා “සර් කියන්න සර් කියලා කිව්වා. ඒ වෙලාවේ සර් “නිරංජි.. දැන් ඔයා හැමතිස්සේම මගෙන් කවද්ද ගන්නේ කියලා අහනවානේ… ඔන්න ඔයාව ගන්න යන්නේ.. කියලා කියද්දී මට හිතාගන්නවත් බැරි වුණා. ඇත්තටම මට විශ්වාස කරන්නවත් බැරිවුණා. “සර්.. මොකක්ද සර් කිව්වේ. කියලා ආයේ මම අහද්දී “මගේ අලුත් ෆිල්ම් එකට ඔයාව ගන්නයි කතා කළේ. මේක ලංකාවේ වෙච්චි සත්‍ය සිදුවීමක්. ඒකේ ප්‍රධාන නිළිය ඔයා. ඒවගේම චරිත ලිස්ට් එකේ පළවෙනියාටම තෝරාගත්තු කෙනා ඔයයි. කියලා කිව්වා. ඇත්තටම එදා සෝමරත්න සර් ඒක “සුනාමි කතාවක් කියලා කිව්වේ නැහැ. ඇත්තටම ඒක මට මාරම විෂ් එකක්. මම ෆෝන්එක තියලා වටපිට ඉන්න හැමෝටම ඇහෙන්න “මම සෝමරත්න සර්ගේ ෆිල්ම් එකක වැඩකරන්න යනවා. කියලා කෑ ගහලා කිව්වා. එතැන හිටපු හැමෝටමත් එදා මාරම විදිහට සතුටුයි.

ඔය ආරාධනාව ලැබිලා ෂූටිං පටන්ගන්න ටික කාලයක් ගතවුණානේ?
ඔව්නේ.. හේතු කිහිපයක්ම නිසා රූගත කිරීම් ආරම්භ කරන්න ටික කාලයක් ගත වුණා. ඉතින් ඒකත් එක්ක “අයියෝ… මේකට මොකද වෙන්නේ.. කියලා මම ගොඩාක් දුක් වුණා. මම සාමාන්‍යයෙන් වැඩකට කතා කළාට පස්සේ “කවදාද පටන් ගන්නේ කිය කියා බලෙන් කාටවත් කතා කරලා අහන්නේ නැහැ. මම කාටවත් එහෙම කරදර කරන්නේ නැහැ. මට කතා කරන වෙලාවට මම උපරිමයෙන්ම ඒකට මගේ දායකත්වය ලබලා දෙනවා. ඉතින් ඇත්තටම මම සර්ට කෝල් කරලා ඇහුවෙත් නැහැ. කොහොම හරි 2018 අවුරුද්දේදී මට සර්ගෙන් ආයෙත් කෝල් එකක් ආවා. “නිරංජි.. අපි දැන් හැමදේටම සූදානම් වෙලයි ඉන්නේ. ඒ නිසා මාව හම්බවෙන්න එන්න. මම පිටපත දෙන්නම්. කියලා සර් කිව්වා. මට එදා වගේ සතුටක් දැනිච්ච දවසක්.. ඒ දවස අදටත් මතක් කරද්දී මගේ ඇඟ තාමත් වෙව්ලනවා. ඒ තරමටම එදා මට සතුටක් දැනුණා. මම සර්ව මුණගැහෙන්න දවසක් ගියා. එදා සර් මගේ අතට පිටපත දුන්නා. ඒ පිටපත දෙන්න කලින් මට කතාව පැහැදිලි කළා.

“සුනාමි චිත්‍රපටයෙන් නැවතත් සුනාමිය මතකයට නැඟෙනවා. එවැනි චිත්‍රපටයකට රංගනයෙන් දායක වේද්දී.. ඒ රූගත කිරීම් කරද්දී නිරංජිට මොකද හිතුණේ?
චිත්‍රපටයේ “සුනාමි කොටස රෑගත කිරීම් කළේ ෆිල්ම් එකේ අනිත් සියලුම කොටස් කරලා ඉවරවුණාට පස්සෙයි. ඇත්තටම ඒ කොටස කරන්න මම බයවෙලා හිටියේ. මම රඟපාන්න බෑ කිව්වා. ඇත්තටම වෙච්චි සිද්ධිය ඒකම තමයි. උසාවියේ පවා හැම කොටසක්ම රූගත කිරීම් කරලා ඉවරවුණාට පස්සේ තමයි අපි සුනාමි කොටස රූගත කිරීම් කළේ. ඉතින් ඒ කොටස රූගත කිරීම් කරන දවසට කලින් දවසේ මම ඒ ලොකේෂන් එකට ගියා. ඇත්තටම මම බය වුණා. ඒ ලොකේෂන් එක හදන විදිහ දැකලා. මගේ ඔළුව අවුල් වුණා. ඇත්තටම මම බය වුණා. ඒ සතියකට කලින් මගේ ඔළුව වැදිලා මගේ ඔළුව රිදි රිදියි තිබුණේ. ඉතින් මේ ඔළුව කැක්කුමත් තියෙද්දී අර වතුරට මට බහින්නේ කොහොමද කියලා මම බයවුණා. ඇත්තටම මට පීනන්න දන්නේ නැහැ. හැබැයි මේ වැඩේට තියන ආසාව නිසාම මම සර්ට මට පීනන්න පුළුවන් කියලා බොරුවක් කිව්වා. ඒ පීනන අභියෝගය මුලදී මම බාරගන්නයි හිතාගෙන හිටියේ. හැබැයි අර ලොකේෂන් එක දකිද්දී මට හිතාගන්නවත් බැරිවුණා. ඒ නිසා “අනේ… මට මේක කරන්න බැහැ. මාව මැරෙයි කියලා මම සර්ට කිව්වා. සර් මට බැනලා “ඔයාට පුළුවන් නිරංජි කියලා කිව්වා. හැබැයි මගේ හිත කියන්නේම “අනේ මට බැහැ කියලයි.

පහුවදා ඒ කොටස රූගත කිරීම් කළේ කොහොමද?
පහුවදා මම කොහොම හරි ලොකේෂන් එකට එන්නම් කියලා සර්ට පොරොන්දු වුණා. ඔන්න ඉතින් පහුවදා ෂූටිං ගිහිල්ලත් මම හිමින් පැත්තකට වෙලා වෙව්ලා වෙව්ලයි හිටියේ. ඇඳුම් ඇඳලා, මේක්අප් කරලාවත් මම කාත් එක්කවත් කතා කළේවත් නැහැ. ඊට පස්සේ මට කලින් සෝමරත්න සර් තමයි මට පෙනෙන්න ඒ කොටස කරලා පෙන්නුවේ. සර් අර ලොකු වතුර පහරට බැහැලා ඒ කොටස මට කරලා පෙන්නුවා. ඒ පෙන්වීමෙන් මගේ තිබුණු බය කොහෙන් ගියාද දන්නේ නැහැ. ඇත්තටම මම සර්ට ගොඩාක් ස්තූති කරනවා. එදා මගේ ඒ බය නැති කළේ සෝමරත්න සර්. ඊට පස්සේ හැමෝගෙන්ම උදව්වෙන් ඒ “සුනාමි කොටස මට හොඳට කරගන්න පුළුවන් වුණා.

රංගන ශිල්පිනියක් වීම පුංචි කාලේ ඉඳන්ම නිරංජි දැකපු හීනයක්ද?
ඇත්ත කතාව නම් මේක මගේ හීනයටත් වඩා ඉරිසියාවක්. කවදාහරි මම නිළියක් වෙනවා කියලා කියන එකටනේ අපි හීනය කියලා කියන්නේ. හැබැයි මම “සරෝජා චිත්‍රපටයේ රඟපාපු නිත්‍යවානීට ඉරිසියා කළා. නිත්‍යවානී නංගී මට වඩා අවුරුදු කිහිපයකින් බාලයි “සරෝජා චිත්‍රපටය අපිට ඉස්කෝලෙන් පෙන්නුවා. ඊට පස්සේ ටී.වී.වලින් අපි බැලුවා. ඉතින් ඔය කාලේදී මමත් මගේ ඉස්කෝලේදී ඒ වගේ දස්කම් පෙන්නපු ළමයෙක්. හැබැයි ගමේ පාසලේ හිටපු මට අපි “සරෝජා චිත්‍රපටයේ රඟපාන්න බැරිවීම ගැන දුක්වුණා. ඒ නිසාම මම ඒ “සරෝජා පුංචි කෙල්ලට ඉරිසියා කළා. ඒ චූටි වයසේදී මම සමහර වෙලාවට “මට නිත්‍යවානීට වඩා හොඳට මේ චරිතය කරන්න පුළුවන් කියලත් හිතුණා. ඒ පට්ට ඉරිසියාව මාව දවසක රංගන ශිල්පිනියක් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!