Gossip

“මෛත්‍රී බුදුහාමුදුරුවො හැටියට ඊළඟට ‍ලෝකෙට පහළ වෙන්න ඉන්නෙ මම” – බැංකු නිළධාරියෙක් කියූ ආන්දෝලනාත්මක කතාව

මෙතේ බුදු පදවිය ලබන පුද්ගලයා දැන් ලංකාවේ මධ්‍යම පළාතේ බැංකු නිලදාරියෙක්ලු මෙන්න එම විශ්මිත කතාව

ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි පියෙකුට දාව බෞද්ධ මවකගේ කුසින් උපන් ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කන්ද උඩරට සුප්‍රකට කිතුණු පාසලකය. මව අනුව යමින් බෞද්ධ වත් පිළිවෙත් කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ ඔහු ඉන් පසුව බුදු දහම පිළිබඳ පොත පත කියවීමට ද යොමු වී ඇත. මේ වන විට විවාහක දෙදරු පියෙකු වන ඔහු ඉතා යහපත් සමාජ ආර්ථික පසුබිමකින් යුත් අයෙකි. ඔහුගේ බිරිඳද රජයේ උසස් තනතුරක් හොබවන්නියකි. සාමාන්‍ය ජීවිතයේ දී ඉතා ප්‍රසන්න ඇවතුම් පැවතුම් සහිත ඔහු තම බැංකුවට ගණුදෙනු කරුවන් ළංකර ගැනීමට රුසියෙකි.

එසේ තමන් හමුවට එන ධනවත් ව්‍යාපාරිකයන්ට ජීවිතය, සමාජය, ලෝකය ගැන විවිධ පාඩම් කියා දෙන මෙම බැංකු කළමණාකරු ඉන්පසුව ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය ආදිය පිළිබඳවද ඔවුනට නොයෙකුත් ධර්ම කරුණු කියා දෙයි. ඔහුගේ මෙම කරුණු පහදාදීමේ හැකියාව කොතෙක්ද යත් කිසිදු ස්වාමීන් වහන්සේ නමකටවත් ඔහු තරම් හොඳින් දම් දෙසිය නොහැකි බව පවසන්නෝද හිඟ නොවෙති. මෙසේ තමන් ලත් බුදු දහම පිළිබඳ දැනුමෙන් ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය සහ නිර්වාණය පිළිබඳව දහම් කරුණු ඉදිරිපත් කරන ඔහු තමන්ට අතිශය සමීප වූවන්ට මෙබඳු දහමක් දෙසයි.

“දැනට අපි බුදු දහම කියලා හඳුන්වන දේ පිරිසිදු බුදු දහම නොවේ. පිරිසිදු බුදු දහම පොත පතින් වත්, කවුරුන් කියන දේකින් වත් ඉගෙන ගන්න බැහැ. ඒක ඉබේටම ප්‍රඥාවට නතුවෙන්න ඕන දෙයක්. මීළඟට බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන බණ පොත් වල තිබෙන කාරණා පට්ටපල් බොරු. නමුත් මුළු බෞද්ධ සමාජයම ඒවයින් මුලා වෙලා තියෙන්නේ. වැඩි දෙනෙකුට නොකියනව නම් මම ඒ ගැන වැදගත් රහසක් කියන්නම්.”

බැංකු කළමණාකරු තම ගණුදෙනු කරුවන් අතරින් තමන්ට වඩාත් සමීපතම වූවන්ට එසේ කියා මෙලෙස ද කියයි.

“මම තමයි මෛත්‍රී බුදුහාමුදුරුවො හැටියට ඊළඟට ‍ලෝකෙට පහළ වෙන්න ඉන්නෙ. නමුත් මේ කථාවට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා. කවුරුවත් ඒක විශ්වාස කරන එකක් නැහැ.”

කෙසේ හෝ තමන් හමුවට පැමිණි ධනවත් ව්‍යාපාරිකයක් කිහිප දෙනෙකුට ඔහු හෙළි කළ මෙම විස්මිත රහස එම ව්‍යාපාරිකයන් අතරේ මුනුමුනුවක් සේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. අවසානයේ එම බැංකු කළමණාකරු ලවාම ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට එම ව්‍යාපාරික කිහිපදෙනෙකුට අවශ්‍ය විය. එනිසා තම හිතමිතුරු පවුල් වල පිරිසක් එක්ව මහනුවරට නොදුරු මහවැලි ගඟ ආසන්නයේ තිබූ සංචාරක නිකේතනයක ඔවුහු මෙම ‘මතු බුදුවන බෝසතාණන්’ ගේ දෙසුමක් සංවිධානය කළහ.

එවිට ඊට එක්වූ ඔහු කියා සිටියේ මෙම දෙසුම සංවිධානය කරන ලද්දේ සාංසාරික වශයෙන් මෛත්‍රී බුදුන් වන තමන් හමුවේ මතු නිවන් දැකීමට පෙරුම්පුරා සිටින මහා භාග්‍යවන්තයින් පිරිසක් බවය. ඒ අනුව එම දෙසුම අවසානයේ ඔහු විසින් ඔවුනට ‘නිල තල’ ප්‍රදානයක් ද සිදුකරන ලදී.

ඒ අතර සැරියුත් හිමියන් වශයෙන් එක් පුද්ගලයෙකු නම් කරන ලද අතර මුගලන් හිමියන් වශයෙන් තව පුද්ගලයෙකු නම් කරන ලදී. ඉන් පසුව සුදවුන් රජු, මහාමායා දේවිය, අනේ පිඬු සිටු තුමා, කොසොල් රජතුමා ආදී නිළ තල ද ඔහු විසින් පත් කරන ලද අතර ඊට අමතරව විශාකාව, සුජාතාව, මල්ලිකාව, ආදී වශයෙන් තවත් තනතුරු කිහිපයක් ඔහු විසින්ම ප්‍රදානය කරන ලදී.

ඉන්පසුව ඊළඟ මාසයේත් එම හෝටලයේම පෙරවරුවක මෙම දහම් හමුව පැවැත්වීමටත්; එය අවසානයේ එම දහම් හමුවට එක්වන පිරිස සඳහා නිර්මාංශ ආහාර වේලක් ලබා දීමටත්; එසේ ඔහු වෙතින් නව තනතුරු ලත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.

ඒ අනුව දෙවන දහම් හමුවේ දී ඊට තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එක් වූ අතර ඔවුහු මෙම දහම් හමුව දැඩිව විවේචනය කරන්නට වූහ. ඒ මෙය මුළුමනින් බෞද්ධ විරෝධී ක්‍රියාවක් බව පවසමිනි. එවිට එසේ ‘මතු බුදු වන බෝසතාණන්’ එසේ විවේචනය කළ පිරිස දේවදත්ත, චිංචිමානවිකාව, සච්චක බමුණා ලෙස නම් කරමින් ඔවුන් ඒ දහම් හමුවෙන් පිටමං කරන ලද්දේ තම අනුගාමිකයන්ගේ සාධුකාර හඬ මධ්‍යයේය.

කෙසේ හෝ ඉන්පසු සෑම මාසයකම පෙරවරුවේ මෙම දහම් හමුව පැවැති අතර ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට ඔහුගේ මීළඟ බුදු සසුනේ තනතුරු ලත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.

මෙම බැංකු කළමණාකරුගේ අනුගාමිකයන් අතරින් ප්‍රමුඛතම සාමාජිකයෙකුගේ නැන්දනිය මිය යන ලද්දේ ඔය අතරය. ඉන් පසු එහි හත් දවසේ මතක බණ සඳහා මෙම පිරිස සමඟ එම ‘මතු බුදු වන බෝසතාණන්’ ද සහභාගී විය. එදින එම දම් දෙසුම පැවැත් වූ හිමි නම මෛත්‍රී බුදුන් ගේ පහළ වීම පිළිබඳව යමක් කීමට සූදානම් වූවා පමණි; බණ අසන පිරිසේ සිටි ‘බෝසතානෝ’ හනික අසුනෙන් නැගී සිටියහ.

“අනේ හාමුදුරුවනේ; පින් සින්ද වෙයි ඔය පට්ට පල් බොරු නවත්ත ගන්න; මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒවා විශ්වාස කරන්නේ නැහැ.”

ඔහු කෑ ගසන්නට විය.

නමුත් ‍එම මිය ගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් සහ සෙසු ඥාති මිත්‍රාදීන් මෙම ‘බෝසතාණන්’ පිළිබඳ නොදැන සිටීම නිසා ඔහු එම පිරිසෙන් ගුටි නොකා බේරුණේ අනූ නමයෙනි.

එසේම මෙම කලහය අතරට පැමිණි ‘බෝසතාණන්ගේ’ බිරිඳ මෙසේ කීවාය.

“මගේ මහත්තයා හැම අතින්ම හොඳ කෙනෙක්; නමුත් මෙයා හිතාගෙන ඉන්නේ එයා මතු බුදු වන මෛත්‍රී බෝධි සත්වයෝ කියලා. මෙයා ඉන්න හැටියට ඒක අහන සමහරු ඒක පිළිගන්නවා. නමුත් අපිට නම් තේරෙනවා මෙයාගේ මොකක් හරි මානසික විකෘතියක් කියලා. කොහොමත් අපි වුණත් එයාගේ මතයට විරුද්ධ වෙච්ච හැටිය එයා පුදුම විදිහට කේන්ති ගන්නවා.”

බිරිඳගේ එම ප්‍රකාශය හමුවේ ඔහු කියා සිටියේ තම බිරිඳ සාංසාරික වශයෙන් තමන්ට සතුරුව ක්‍රියා කරන්නියක බවත් තමන් බුද්ධත්වයට පත්වූ පසුද ඇය තමන්ට සතුරුකම් කරන බවත්ය.

ඒ කෙසේ හෝ මේ පුද්ගලයාට වැළඳී ඇත්තේ ‘අභිමාන මෝහය’ (Grandiose Delusion) නම් මානසික රෝගය බවත් එම රෝගය වැළඳුණු අය හට සාමාන්‍ය ජීවිතයේ සෙසු කටයුතු වල දී ‍එය බල නොපාන බවත් එහි පැමිණ සිටි ඒ පිළිබඳව තතු දත් අයෙකු පහදා දුන් අතර ඔහු වැඩිදුටත් කියා සිටියේ මෙම පුද්ගලයන් මෙසේ තමන් එල්බ ගත් වැරදි විශ්වාසය පදනම් කර ගත් කරුණේ දී පමණක් අතිශය සංවේදී වන බවත් කෝප වන බවත් ය.

ඒ කෙසේ හෝ මනෝ වෛද්‍යවරයෙකු හමුවී කලක් ප්‍රතිකාර ගතහොත් ඔහුගේ මෙම මානසික විකෘති තාවය දුරු වෙතැයි ඇතැමුන් පැවසුවද ඒ සඳහා ඔහුගේ අනුගාමිකයන් මේ දක්වා ඔහුට කිසිදු අවසරයක් දී නැත. ඊට හේතුව ඔහුගේ එම මානසික රෝගය සුව වුවහොත් ඔහු පවසන ඊළඟ බුදු සසුනේ තමන්ට හිමි තනතුරු අහිමි වන නිසාද විය හැක.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!