Gossip

මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා හිතුවා නම් මොන ප්‍රශ්න ආවත් තව කාලයක් ක්‍රිකට් තුළ රැඳෙනවා – තිලකරත්න ඩිල්ෂාන්

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ තවමත් හැමෝගෙම මතකයන් අතර වැජඹෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ තිලකරත්න ඩිල්ෂාන් ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් ක්‍රීඩකයෙක්. ඉතින් වත්මන් ක්‍රීඩාවේ පසුබෑම ගැනත් පෞද්ගලික ජීවිතය ගැනත් ඩිල්ෂාන් සතිඅන්ත පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

දැන් ජීවිතේ විවේකීව ගෙවනවා ඇති නේද?
ඔව්. දැන් ඉතින් ජීවිතේ විවේකීව ගත වෙනවා. අපේ අලුත් සාමාජිකයත් එක්ක ජීවිතේ දැන් තවත් ලස්සන වෙලා. දැන් ඉතින් නිතරම පවු‍ලේ අයත් එක්ක ඉන්න මට කාලය තියෙනවා. ඉස්සර ක්‍රිකට් නිසා මගෙන් වෙන්න ඕනි ගොඩක් දේවල් මගහැරුණා. නමුත් දැන් මම පවු‍ලේ මගේ දරුවෝ, බිරිඳ, දෙමව්පියෝ වෙනුවෙන් කාලය වෙන් කරලයි තියෙන්නේ.

ඉස්සර තිබුණු කාර්ය බහුලත්වය ටික ටික වෙනස් වෙනකොට කොහොමද දැනුණේ?
මං හිතන්නේ ඉස්සරට වඩා දැන් මම කාර්යබහුලයි. මොකද දරුවෝ දවසින් දවස වැඩෙනකොට අපිට තියෙන වගකීම් වැඩියි. ඉස්සර රට වෙනුවෙන් තිබුණු වගකීම තරමටම ඊටත් වඩා ලොකු වගකීමක් දරුවෝ වෙනුවෙන් ඉටු කරන්න තියෙනවා. ඒ වගකීම් බර වැඩි නෑ. මොකද ඒ දේවල් අනිවාර්යයෙන්ම විය යුතුයි.

ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනකොට මොනවද දැනුණේ?
ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේ හා සමාන දෙයක්. වසර 30ක ක්‍රිකට් ජීවිතයක් මට තියෙනවා. ඉතින් ක්‍රිකට් මට ‍ලේවලටම දැනිලයි තිබුණේ. ගොඩක් අමාරු තීරණයක් මම ගත්තේ. නමුත් බිරිඳ, දරුවෝ එක්ක කා‍ලේ ගත වෙනකොට මට මගේ හිත හදාගන්න ඒ අය ලොකු ශක්තියක් වුණා.

ක්‍රිකට්වලින් සමුගන්නකොට තව ටිකක් කල් හිටියා නම් කියලා හිතුණේ නැද්ද?
එහෙමත් හිතුණා. රට වෙනුවෙන් තව කාලයක් සෙල්ලම් කළා නම් කියලා හිතුණා. නමුත් ඒ කා‍ලේ මට තිබුණු තත්ත්වයත් එක්ක මම එදාට ගැළපෙන නිවැරදිම තීරණේ ගත්තා. දුකයි තමයි නමුත් මම හිතනවා මම හරි තීරණයක් ගත්තා කියලා.

වර්තමාන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මොකද හිතෙන්නේ?
වර්තමාන තත්ත්වය නම් ටිකක් පසුගාමී. දිගින් දිගටම තරග පරාජය වීම් තමයි අත්විඳින්න ලැබුණේ. එතැන වරද ක්‍රීඩකයින්ටම පවරන්න හැකියාවකුත් නෑ. මොකද මම ක්‍රිකට්වලින් අයින් වුණේ හොඳ තරුණයින් පිරිසක් කණ්ඩායම තුළ හිටිය නිසයි. මම එදා හිතුවේ අපේ තරුණ ක්‍රීඩකයින්ගෙන් හොඳ ප්‍රයෝජනයක් ගනීවි කියලා. මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා හිතුවා නම් මම මොන ප්‍රශ්න ආවත් තව කාලයක් ක්‍රිකට් තුළ රැඳෙනවා. අපි අපේ ක්‍රීඩකයින්ගෙන් හරියාකාරව ප්‍රයෝජන ගන්නවද කියන ගැටලුවයි මට තියෙන්නේ. 2018 දී වත් අපි සුබ බලා‍පොරොත්තුවක් ඇතිකර ගනිමු.

ක්‍රිකට් ක්‍රීඩාවට මේ වගේ තත්ත්වයක් උදා වෙන්න හේතුව හැටියට ඔබ දකින්නේ මොකක්ද?
මම දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු අරන් වසරකට ආසන්න කාලයක් වෙනවා. ඉතින් එහෙම සමුගත්තට පස්සේ ක්‍රිකට් ගැන මම හොයන්න ගියේ නෑ. මොකද අපිත් ගිහින් පාලක මණ්ඩ‍ලේ ප්‍රශ්න ගැන කතා කරන්න ගත්තොත් අපේ ක්‍රීඩකයින්ට එක් මානසික වදයක් තරමටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ක්‍රිකට්වලින් ඉවත් වුණාට පස්සේ මමත් ක්‍රිකට් ක්‍රීඩාව නරඹන තවත් එක ප්‍රේක්ෂකයෙක්ම විතරයි.

ඉස්සර ලැබුණු ජනප්‍රියත්වය, ආකර්ෂණය තවම ඒ විදියටම ලැබෙනවද?
ඉස්සරට වඩා මම හිතනවා දැන් මම ජනප්‍රියයි කියලා. මොකද හැමෝම වයස, තරාතිරම, තත්ත්වය කියන කිසිම භේදයකින් තොරව මගෙන් අහන එකම ප්‍රශ්නය ‘ඇයි ඔයා ක්‍රිකට්වලින් සමුගත්තේ?’ කියන එක. ඉතින් මට තවම ඒ විදියටම ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරවලවත් ආකර්ෂණයේවත් කිසිම අඩුවක් නම් වෙලා නෑ. තවත් ඒ ප්‍රතිචාර වැඩිවෙලයි තියෙන්නේ. ලෝකමෙ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා හැටියට මගේ සමුගැනීම ගොඩක් දෙනෙක්ට හදවතටම දැනිලා කියන හැඟීම ඇති වෙනවා මේ ප්‍රතිචාර ලැබෙනකොට.

පුතාලා දෙන්නා ක්‍රිකට්වලට යොමු වෙනවා දකින්නද කැමැති?
අපේ තාත්තා පාපන්දු ක්‍රීඩාවේ නියැළුණු ක්‍රීඩකයෙක් හැටියට ඔහුට අවශ්‍ය වුණේ මාව පාපන්දු ක්‍රීඩාවට යොමු කරන්න. නමුත් මගේ කැමැත්ත සහ දක්ෂතාව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. සමහර විට මම ක්‍රිකට්වලට යොමු නොවුණා නම් අද ලෝකේම දන්න තිලකරත්න ඩිල්ෂාන් කෙනෙක් නැති වෙන්න තිබුණා. ඒ වගේම මගේ දරුවන්ටත් මම බලපෑම් කරන්නේ නෑ. පුතාලාට වැඩිය දූට තමයි ක්‍රිකට් ගැන උනන්දුව තියෙන්නේ. නමුත් මම කැමැති මම නියෝජනය කරපු ක්‍රීඩාව දවසක මගේ දරුවෙක් නියෝජනය කරනවා දකින්න.

ව්‍යාපාරික කටයුතු ගැනත් කතා කරමු?
කිරුළපන අපේ හොටෙල් එකක් තියෙනවා. කාමර හත අටක සුන්දර සංචාරක නිකේතනයක් හැටියට අපි ඒක පවත්වාගෙන යනවා. මමත් විඩාව නිවාගන්නේ එතැන කාලය ගත කරමින්. කොළඹ වුණත් සුන්දර අත්දැකීමක් විඳගන්න පුළුවන් තැනක්. ඒ වගේම අලුතින් අපි තේ සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගත්තා. ලබන වසරේ මැද භාගය වන විට හැමෝටම අපේ වෙළෙඳ නාමය යටතේ මේ තේ රසවිඳින්න හැකියාව ලැබෙයි.

අලුත් අවුරුද්දේ මොනවද තියෙන බලා‍පොරොත්තු?
ලොකු ලොකු බලා‍පොරොත්තු නෑ. අපේ ජීවිත හරි සරලව, සැහැල්ලුවෙන් ගත වෙනවා. අපි දෙන්නගෙම බලා‍පොරොත්තුව අපේ දරුවෝ. එයාලත් එක්ක වගේම අපිට ආදරේ කරන අපේ ප්‍රේක්ෂකයොත් එක්ක 2018 වසරත් සතුටින් හිනාවෙලා ගත කරන්න ලැබෙන්න කියන බලා‍පොරොත්තුව තමයි මට තියෙන්නේ.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!