Gossip

“මේනක ලංකාවේ ඉන්නවා – මම ආයේ ඇමෙරිකාවේ යනවා” – ලංකාවට ආපු මේනකයි නෙහාරයි හදිසියේම තීරණය වෙනස් කරයි

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස් කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරපු යුවළක්. ඉතින් පසුගිය අවුරුදු 03 පුරාවට ඔවුන් සිටියේ විදේශගත වෙලායි. කොහොමවුනත් මොවුන් දෙදෙනා හදිසියේ ලංකාවට පැමිණියේ නෙහාරාගේ මල්ලිගේ විවාහ උත්සවයට සහභාගි වෙලා නැවතත් ඇමරිකාව බලා පිටත්වෙන අධිෂ්ඨානයෙන්. නමුත් දැන් මේ දෙන්නා හදිසියේ තීරණය වෙනස් කරලා. ඒ් ගැන ඔවුන් කියලා තිබුණේ මේ විදියට.

නෙහාරා ආයෙත් ඇමරිකාවට යන්නේ නැහැ කියන්නේ ඇත්තද?
ආයෙත් ඇමරිකාවට නොගිහින් ලංකාවේම රැඳි ඉන්න අපි දෙදෙනාම තීරණය කළා.

හදිසියේම තීරණය වෙනස් කළේ මොකද?
මේනක එයාගේ ඉගෙනුම් වැඩ අවසන් කළේ පසුගිය මැයි මාසයේ. එතැන් පටන් ඔහු රැකියාවක් කළා. මමත් A.M.I පෙරපාසල් පාඨමාලාවක් හදාරනවා. එය තවම අවසන් නැහැ. එය අවසන් කිරීමට නියමිත ලබන අවුරුද්දේ ජූලි මාසයේ. ඒ සඳහා නැවතත් මාස කිහිපයකට ඇමරිකාවට යන්න සිදුවනවා. ඒ ගියත් කෝස් එක අවසන් කර නැවත ලංකාවට එනවා. මේනක නම් දිගටම ලංකාවේ රැ‍ඳී සිටියි.

මේනක, මෙවැනි තීරණයක් ගත්තේ ඇමෙරිකාව එපා වෙලාද?
අපෝ නැහැ. මම එහිදී කෙළේ බිස්නස් ඩිග්‍රියක්. මගේ බලාපොරොත්තුවක් තිබෙනවා ඉදිරියේදි උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න. නෙහාරාගේ ඥාතීන්ගෙන් බේරිල්ලක් නැහැ ලංකාවේ ඉන්න කියල.

නෙහාරා ලංකාවට ආපු ගමන්ම කාර්ය බහුල වුණා…
අනේ ඔව්. පසුගිය සතියේ මගේ මල්ලි නෙහාන්ගේ වෙඩින් එක තිබුණා. මල්ලිගේ පැත්තෙන් අත්සන් කළේ මම. වෙඩින් එක ලස්සනට කෙරුණා. ඉන් පසු වෙඩින් එකට පැමිණි ඕස්ට්‍රේලියා, කැනඩා, ඇමරිකා සහ ස්විස් ඥාතීන් සමග විනෝද ගමන් කිහිපයක්ම යන්න වුණා. ඒ සියලු දෙනාම නැවත ඒ රටවලට ගියා. දැන් තමයි අපිට ටිකක් විවේකය ලැබුණේ.

මේනක, ඇමෙරිකාවේදි ගෙවපු ජීවිතය කො‍හාමද?
සුන්දරයි. අපි වසර තුනක් සැහැල්ලුවෙන්, සතුටෙන්, ස්වාධීනව ජීවත්වුණා. ලංකාවෙන් ගිහින් ටික කලකට පසුව ටික දවසකට ලංකාවට ඇවිත් ගියා. ඒ රංගන කටයුත්තකට. ඉන් පස්සේ ආවේ නෑ. නෙහාරා වසර තුනටම ලංකාවට ආවෙ එක වරයි.

ඔබ දෙදෙනාම එහිදී රැකියාව කළා..
මගේ ඉගෙනුම් අවසන් වු පසු පසුගිය මාස කිහිපයේදි රැකියාවක් කළා. නෙහාරානම් මොන්ටිසෝරි කෝස් එකට අදාළව දවසට ‍පැය කිහිපයක් මොන්ටි සෝරියක වැඩ කළා.ඇය ‍නිවෙසේ වැඩ කරගෙන හිටියා.

ඇයි මේනක ආයෙත් ඇමරිකා නොගිහින් ඉන්න තීරණය කළේ.?
මල්ලිගේ වෙඩින් එකට නෙහාරගේ සියලුම ඥාතීන් එකතුවුණා. ඔවුන් සියලු දෙනාමයි මගේ ඥාතීන් පිරිසයි හැමදෙනාම කිව්වේ අධ්‍යාපන වැඩ අවසන් නම් ලංකාවේ රැඳී ඉන්න කියලයි.

ලංකාවට පැමිණි පසු ක්ෂේත්‍රයේ මිතුරන් හමුවුණේ නැද්ද?
අපි ඇමරිකාවේ සිටිද්දීත් ඇතැම් අය සමග දුරකතනයෙන් කතා කළා. ඒ වෙලාවට ලංකාවේ කලාව ගැන විමසනවා. නමුත් ලංකාවට ආවට පස්සෙ තවම හරියට කට්ටිය එකතුවෙන්න අවස්ථාව ලැබුණේ නෑ. පසුගිය දවස් ටිකේම කාර්යබහුල වූ නිසා.

ඔබ දෙදෙනා පුංචි තිරේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ ලෙස රඟපෑ අතීතය මතකද?
අපි ගොඩක්ම ජනප්‍රිය වුණේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයෙන්. එම ටෙලි නාට්‍යයට අපේ රටේ රසිකයන් බෙහෙවින් ආදරය කළා. මම විදෙස්ගත වෙනකොට කලාවේ රැඳී සිටි කාලය අවුරුදු 10 ක්. නෙහාරා වසර අටක් කලාවේ රැඳී සිටියා. තාමත් ඇතැම් රසිකයන් අපිව හඳුන්වන්නේ මුතුකිරිල්ලී ටෙලි නාට්‍යයේ නම්වලින්. ඒ අතීතය ඉතාම සුන්දරයි.

ඔබ දෙපොළ ලංකාවට පැමිණියාට පසුව රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
රූපවාහිනී වැඩ සටහන් දෙකකට සහ රියැලටි වැඩසටහන් වල නැටුමකට සහභාගි වුණා. තාමත් වෙන කිසිම කලා කටයුත්තකට ආරාධනා නම් ලැබුණේ නෑ. ඒ අපි නැවත යන බව කීව නිසා වෙන්න ඇති. නමුත් අපි. කොහොමටත් ලංකාවේ රැ‍ඳෙනවනම් කලාවේ නියැළිය යුතුයි. අපි දෙන්නම බද්ධවෙලා සිටින්නෙ කලාවත් සමගයි.

නෙහාරා හිතනවද අලුත් පරපුරත් සමග රඟපෑම පහසුවෙයි කියලා?
කාලෙන් කාලෙට අලුත් අලුත් අය එනවා. නමුත් එහෙම ආව කියල පරණ අයට තිබෙන තැන නැතිවෙලා නෑ. හැම කෙනාටම අනන්‍යතාවක් තිබෙනවා. මටයි මේනකටත් ලංකාවේ අනන්‍යතාවක් ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසා අපිට සුදුසු, හොඳ නිර්මාණ ලැබුණොත් රඟපානවා. අලුත් පරම්පරාව නියෝජනය කරන ටෙලිනාට්‍ය දැක්කම හිතෙනවා ඔවුන් දක්ෂයි කියලා. ඒක හොඳයි. එතකොට අපිත් උපරිමයෙන් අපේ දක්ෂතා පෙන්වනවා. කලාවේ හොඳ තරගයක් දෙන්න අපි සූදානම්.

මේනකට නෙහාරා එහිදී රසට කෑම උයල දෙන්න ඇති නේද?
අනේ ඔව්. ගෙදර සියලු වැඩ කෙළේ නෙහාරා. ඒකට නම් නෙහාරාට ගොඩක් ස්තූති කරන්න ඕනෑ. මාව සම්පූර්ණයෙන්ම ගෙදර වැඩවලින් නිදහස් කළා.

මොනවද නෙහාරා මේනකට හදපු රසවත් කෑම…?
ගොඩක් කෑම වර්ග හැදුවා. නමුත් මේනක ගොඩක් කැමැති ආට රොටි කන්න. ඒවත් එක්ක කන්න චිකන් කරි හදනවා. පිට්ටු කන්නත් මේනක කැමැතියි.

රසිකයන්ට කියනවද නෙහාරා පිට්ටු හදපු හැටි..
මම කියන්නම්. හාල්පිටි , පොල්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, සහ වතුර අරගන්නවා.හාල්පිටි සහ පොල් මිශ්‍රකර අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් වතුරත් මිශ්‍රකර අතේ නොඇලෙන ප්‍රමාණයට කැට හදාගන්නවා. පිට්ටු බම්බුවට හදාගත් මිශ්‍රණය දමා ස්ටීමරයේ තබා තම්බනවා. මම නම් සාමාන්‍යයෙන් පිට්ටු කන්නේ පොල්කිරි සහ සීනි සමග. මේනකට නම් ලුණු මිරිස් හෝ චිකන් කරි ඕනෑ.

ඔය දෙන්නට මෙහෙ වගේම ඇමරිකාවෙත් මිතුරන් ඇති නේද…?
මගේ අම්මගෙ අක්කා සහ තවත් ඥාතීන් කිහිප දෙනෙක්ම ජීවත්වෙන්නේ ඇමරිකාවේ. ඔවුන්ගේ එහි සිටින මිතුරන් දැන් අපෙත් මිතුරන්. එයට අමතරව අපි දෙදෙනාගේ මිතුරනුත් ඉන්නවා. ඔවුන්ට හරිම දුකයි අපි නැවත එන්නෙ නෑ කීවම. ඒ අය කියනවා ලංකාවට එනවා කියලා අපිව බලලා යන්න.

මොනවද දෙන්නාගේ අනාගත බලාපොරොත්තු..
තවම නම් මොනවද කරන්නේ කියල තීරණයක් නෑ. කොහොමටත් අපි දෙන්නම ගොඩක් බලාපොරොත්තු හිතේ දැක්කාම ආයෙමත් රඟපාන්න ආසාවක් ඇතිවුණා. ලංකාවේ රසිකයන් අපිට ආදරය කරනවා නේද කියලා හිතුණා. ඒ හේතුත් ආයෙමත් ලංකාවේ ඉන්න තීරණය ගන්න බලපෑවා. තියාගෙන ජීවත්වන දෙන්නෙක් නෙමෙයි. හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න ‍දෙන්නෙක්. රඟපෑමට එනවා කියන එකනම් දෙන්නම තීරණය කරලා ඉවරයි. එයට අමතරව මේනකගේ ඔළුවේ තියෙනවා අයිඩියාස් දෙක තුනක්ම. තව ටික දවසක් රෙස්ට් කරලා අලුත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!