Gossip

මුළු හෝටලයම හෙල්ලිලා ගියා – දවල් කෑම වෙලාවේදී මේ ප්‍රහාරය එල්ල වුණා නම් සිදුවන ජීවිත විනාශය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා – උදේ පූල් එකේ පිහිනමින් හිටිය සුදු මහත්තයත් ලේ විලක් මැද වැටිලා හිටියා

ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ‘ෂැංග්‍රිලා’, ‘කිංස්බරි’ හා ‘සිනමන් ග්‍රෑන්ඩ්’ තරුපහේ හෝටල් තුනට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව දෙස් විදෙස් සංචාරකයන්ට හා එම හෝටල් පරිශ්‍රවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අංශ විසින් පියවර ගැනුණා.

බෝම්බ ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී හෝටල්වල රැඳී සිටි දෙස් – විදෙස් සංචාරකයන් උදෑසන ආහාර ගැනීම සඳහා ප්‍රධාන ආපනශාලාව (රෙස්ටොරන්ට්) වෙත පැමිණ සිට ඇත. තවත් පැයකට පමණ පසු මෙම ප්‍රහාර එල්ල වූයේ නම් දහවල් ආහාර ගන්නා මොහොත ඉලක්ක කළේ නම් සිදුවන විනාශය මෙයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇතැයි හෝටල් කළමනාකාරිත්වය හෙළිකර සිටියේය.

මෙම සිද්ධිය සියැසින් දුටු ෂැංග්‍රිලා හෝටලයේ සේවක දිනේෂ් රංජන මහතා මේ බිහිසුණු සිද්ධිය විස්තර කළේ මෙසේය.

‘මම සිද්ධිය වන අවස්ථාවේ ෂැංග්‍රිලා හෝටලයේ වෙන තැනක හිටියේ. මහා පිපුරුම් හඬක් ආවා. ඒ වනවිට උදේ නවය පහුවුණා විතරයි. මම හිතුවේ ගෑස් සිලින්ඩරයක් පිපිරුවා කියලා. ඒත් දැක්ක දෙයින් මම උඩ ගිහින් බිම වැටුණා වගේ දැනුණා. ඒත් එක්කම තවත් බෝම්බයක් පුපුරා ගියා. රෙස්ටොරන්ට් එකම විනාශයි. තැන තැන මිනිසුන්ගෙ ඔළු, අතපය විසිරිලා තිබුණා. ටික වෙලාවකට කලින් උදේ පූල් එකේ පිහින _ පිහිනා හිටිය සුදු මහත්තයත් ලේ විලක් මැද වැටිලා හිටියා. මමත් අනෙක් අයත් එක්ක එකතු වෙලා තුවාලකරුවන් උස්සලා වාහනවලට පටවලා රෝහල්වලට යැව්වා.’

ගාලුමුව‍ෙදාර කිංස්බරි හෝටලයේ ආපනශාලාවට (රෙස්ටොරන්ට්) එල්ල වූ බෝම්බ ප්‍රහාරය හමුවේ අනූනවයෙන් දිවි බේරාගත් හෝටල් සේවක ජී.ඒ.එස්. ගුණවර්ධන මහතා සිද්ධිය විස්තර කළේ මෙසේය. ‘මම බේරිලා ඉන්න එක ගැන මටම පුදුමයි. බෝම්බය පුපුරා යනවිට මම හිටියෙ රෙස්ටොරන්ට් එකේ වැඩ කර කර. ඒ වනවිට පනස්දෙනෙක් පමණ උදේ ආහාරයට ඇවිත් හිටියා. තව පැයක් විතර පමාවෙලා මේ ප්‍රහාරය එල්ල වුණා නම් සිදුවන ජීවිත විනාශය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. දවල් කෑම වෙලාව නම් හාර පන්සියයක් පමණ දෙනා මේ බෝම්බයට අහුවෙනවා. බෝම්බය පුපුරනවත් එක්ක මුළු හෝටලයම හෙල්ලිලා ගියා. ඇත්තටම මම බේරුණේ කොහොමද කියලා මටම හිතාගන්න බෑ. මගෙ ළඟ හිටපු කිහිපදෙනකුගේ අත _ පය තිබුණේ තැන තැන. මට මරණ බියක් දැනුණේ නෑ. තුවාල වෙලා හිටිය අය රෝහල් ගත කළා.’ මෙම සිද්ධියෙන් පසු ගාලු මුව‍ෙදාර රැඳී සිටි විදේශිකයන් කිහිපදෙනකු කියා සිටියේ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉතා පිළිකුල් සහගත එකක් බවයි. ‘ලංකාව සුන්දර රටක්. අපි සති කිහිපයක් ලංකාවේ සංචාරය කළා. ආගන්තුක සත්කාර අතින් ශ්‍රී ලාංකිකයන් හරිම ශ්‍රේෂ්ඨයි. එදා ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් අපි දැන සිටියා. නමුත් එම යුද්ධයෙන් පස්සෙ රට සාමකාමී වුණා. මෙම ප්‍රහාරය ඉතාම ම්ලේච්ඡ එකක්. නිරායුධ සංචාරකයන් ඉලක්ක කර ලොව පුරා ප්‍රහාර එල්ල වෙනවා. අපි හිතන්නෙ මේ ප්‍රහාරයත් එහි තවත් එකක් පමණයි කියලා.’

උපුටා ගැනීම – මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!