Gossip

මුළු ඇඟම හිරි වැටෙනවා මේ තරම් මනුස්සයකුට බොරු කියන්න පුළුවන්ද කියලා – නිල්මිණී තෙන්නකෝන්

අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිණියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියෙන්නේ. ඉතින් ඇගේ ජීවිතේ තොරතුරු ඇය පුවත්පතක් සමග මෙලෙස කියා තිබුණා.

පුංචි කාලෙ සිටම හීන මැව්වෙ රංගන ශිල්පිනියක් වෙන්නද?
නැහැ. නර්තන ගුරුවරියක් වෙන්න. ගුරුවරු පස් දෙනෙක් ළඟ නර්තනය හැදෑරුවා. නර්තන තරගවලට සහභාගි වී ජයග්‍රහණය කළා. පුංචි කාලයේ සිටම රංගන ශිල්පිනියක වගේ නර්තනය කරන්න කැමැතියි. මට මතකයි පුංචි කාලෙ සින්දුවක් දාගෙන මේසයක් උඩට නැගලා ගෙදර අයට පෙනෙන්න නටනවා. තාත්තාට නැටුම් පෙන්නලා සල්ලි ගත්ත අවස්ථාත් තියෙනවා.

රංගන ශිල්පිනියක වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පිනියක වීම ගැන සියයට සියයක්ම තෘප්තිමත්. රංගන ශිල්පිනියක වීමෙන් අත්දැකීම් රැසක් ලැබුවා. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සමඟත් ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමගත් රඟපෑමට වගේම ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. සම්මාන ලැබුවා. ඒ සියල්ලට වඩා ජනතාවගේ ආදරය ලබන්නට වාසනාව උදාවූයේ රංගන ශිල්පිනියක වූ නිසයි.

කැමැත්තෙන් කියවූ මතකයේ රැඳුණු පොත මොකක්ද?
මම පොත් කියවන්න බෙහෙවින් කැමැති කෙනෙක්. බොහෝ වෙලාවට හු‍දෙකලාවූ විට විවිධ පොත් කියවනවා. එම අවස්ථාවලට බොහෝ විට බෞද්ධ පොත්පත් කියවනවා. එහෙම කියවපු පොතක් තමයි සීක්‍රට්. සීක්‍රට් පොත කිහිප අවස්ථාවක්ම කියවලා තියෙනවා. එමගින් ලබා ගත් දැනුම මගේ ජීවිතයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත්, දියුණුවෙන ආකාරය සහ ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරය ගැන ඉගෙන ගත්තා. එම නිසා සීක්‍රට් පොත මගේ ජීවිතයේ කියවපු පොත් අතර හැමදාමත් මතකයේ රැඳෙන පොතක්.

කැමැතිම සිනමා පටය..
කුඩා කාලයේ සිටම චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නරඹා තිබෙනවා. රංගන ශිල්පිනියක් වූ පසු මෙරට තිරගතවූ සෑම සිනමා පටයක්ම වගේ නරඹා තිබෙනවා. ඒ අතරින් කුඩාකළ නැරඹූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයාගේ බැද්දේගම සිනමාපටය මා බෙහෙවින් ප්‍රියකරන සිනමා පටයක්.

කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව ..
රංගන ශිල්පියා විජය කුමාරතුංග. මම විජයට කැමැති ඔහු සුන්දර මනුස්සයකු වගේම ආකර්ෂණීය රංගන ශිල්පියකු වන නිසයි. ඊට අමතරව ගාමිණී, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ වගේම කමල් අද්දරආරච්චිගේ රංගනයටත් ප්‍රිය කරනවා. කැමැතිම රංගන ශිල්පිනිය අපේ සිංහල සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා. ඇයට තිබූ ආදරය සහ ආසාව නිසාමයි මම සිනමාවට එන්න සිහින මවන්නෙ. මට මතකයි මම පාසල් යන කාලයේ මාලනී අක්කට ලියපු ලියුමක් ගුරුවරුන්ට අහුවෙලා ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. මාලනීගේ රඟපෑම් පාසලේදි යාළුවන් ඉදිරිපිට රඟ දක්වනවා. ඇය දකින්න තියෙන ආසාවටම තමයි ගෙදරටත් හොරා ‘ලස්සන මුහුණ’ තරගයට ඉදිරිපත්වී ජයග්‍රහණය කර රංගනයට පිවිසෙන්නේ. ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගන විලාශයටත් කැමැතියි. කැමැතිම ගායකයා ගැන සඳහන් කරනවා නම් කිහිප දෙනෙක්ම ඉන්නවා. වික්ටර් රත්නායක, අමරදේව වැනි ප්‍රවීණ ගායකයන්ගේ ගීතවලට කැමැතියි. නිරෝෂා විරාජනී කියන්නේ වත්මන් ගායන පරපුරේ සිටින දක්ෂ ගායිකාවක්. ඇය ගයන සෑම ගීතයකටම ප්‍රිය කරනවා. ඒ නිසා ගායිකාවන් අතර නිරෝෂා මගේ සිත් ගත් ගායිකාවයි.

තව කෙනකු කරනවට අකැමැති දෙය..
මිනිසුන් බොරු කරනවට, කියනවට මම ඉතාම අකැමැතියි. සමහර අය රඟපානවා බොරුවෙන්. නමුත් අපි සියලු ඇත්ත දන්නවා. එම අවස්ථාවට මගේ මුළු ඇඟම හිරි වැටෙනවා මේ තරම් මනුස්සයකුට බොරු කියන්න කරන්න පුළුවන්ද කියලා. එහෙත් මේ බොරු කියන සහ කරන පුද්ගලයා දන්නේ නෑ අවසානයට මොකද වෙන්නේ කියලා. ඒ වගේ අය ඇසුරු කරන්න හොඳ නෑ. බුදු හාමුදුරුවොත් දේශනාකර තිබෙනවා එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න එපා කියල.

රංගන ශිල්පිනියක ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?..
රංගන ශිල්පිනියක ලෙස සමාජයට කියන්න තියෙන්නේ මොළය පාවිච්චි කරලා ප්‍රඥාවෙන් වැඩ කරන්න කියල. විශේෂයෙන් හිතේ ශක්තිය, තියෙන්න ඕන. විනය ගරුක හොඳ පුරවැසියෙක් ව සිටියහොත් රටට බර නැති පුද්ගලයකු ලෙස ජීවත්විය හැකියි. සෑම විටම මනුෂ්‍යයා මනුෂ්‍යයන්ට ආදරය කරන්න කියාත් ඉල්ලනවා.

රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..
පළමුව ජනතාව හොඳ මානසිකත්වයෙන් තියන්න අවශ්‍ය පසුබිම සකස්කරන්න ඕනෑ. දැන් ඉන්න මිනිසුන් බහුතරයක් විකෘති මානසිකත්වයෙන් ජීවත්වන්නේ. මෙය නැති කරන්න පාසල් මට්ටමින් ළමයින්ගේ විනය හදන්න ඕනෑ. ඒ සඳහා මිනිසුන්ගේ මොළයට ආමන්ත්‍රණය කළ යුතුයි. බලන්න සිංගප්පූරුව ‍පුංචි රටක් වුවත් එහි වෙසෙන මිනිසුන් කොතරම් විනයෙන් ඉහළද? අපේ ර‍ට කොතරම් බෞද්ධාගම ඇදහුවත් බුදුන්ගේ දර්ශනය නිවැරැදිව තේරුම් ගෙන නැහැ. ඒ නිසා පළමුව නායකයන්ගේ මනස හදල දෙවනුව ජනතාවගේ මනස හැදීමෙන් මේ රට සංවර්ධිත රටක් බවට පත්කළ හැකියි.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති..
නිදහසේ ඉන්න පුළුවන් බලන්න පුළුවන් ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට කැමැතියි. සංචාරය කිරීමට කැමැතිම රටනම් ඔස්ට්‍රියාව. ඒ රටේ පාරක කොළයක් නැහැ. ඉතාම පිරිසුදුයි. අපේ රටෙත් ගොඩක් ස්ථාන තිබෙනවා නැරඹිය හැකි.

ජීවිතයේ අමතක නොවන සිදුවීම..
මගේ දුව ස්වේතා මන්දාකිණී ඉපදුණු දිනය සහ මම මුහුණ පෑ රිය අනතුර මගේ ජීවිතේට අමතක නොවන සිදුවීම්. මේ හැම දේකදිම මගේ සෙවණැල්ල වගේ ළඟින් සිටියේ මගේ අම්මා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!