Gossip

“මුල්ම රස්සාව මාතර රෝහලේ සනීපාරක්ෂක කම්කරු” – වයස 20 දි හිරේ ගිය මාකඳුරේ මධූෂ් පාතාලයේ කෙරුමෙක් වුණු හැටි මෙන්න

කඹුරුපිටිය, ගතාරේ 1979 පෙබරවාරි 21 දා සමරසිංහ පවුලට දාව උපන් මොහු රටක් හොල්ලනු ඇතැයි කවුරුත් සිතන්නට නැතිව ඇති.
කඹුරුපිටියේ ඉපිද රටක් හොල්ලා ජාත්‍යන්තරයේත් කතාබහට ලක්වූ මොහු රටට කීර්තියක් ගෙන දුන්නකු නම් නොවන්නේය.
මේ කියන්නේ පාතාල බලයෙන් හා මත්කුඩු ජාවාරමෙන් රටම හෙල්ලූ කඹුරුපිටියේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් ගැනය.
1989 භීෂණ සමයේදී පොලිසිය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වෙඩි හුවමාරුවකින් මාලනි සමරසිංහ නමැති මධුෂ්ගේ මව මියැදීමත් සමඟ ආච්චි හා පුංචි අම්මා ළඟ මධුෂ් හැදී වැඩුණේය.
පියා වන සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් ඒ වන විටත් මවගෙන් වෙන් වී වෙනත් විවාහයක් කරගෙන වටයල පැත්තේ පදිංචිව සිටියේය.
මවුපිය උණුසුම නොමැතිව හැදී වැඩුණු මොහු අම්පාරේ ගරාජයක සේවය කරන්නට යන්නේ මුල්ම රැකියාව ලෙසය.
එහිදී දෙමළ භාෂාව හොඳින් ඉගෙන ගන්නට මධුෂ්ට හැකියාව ලැබුණේය.
යළිත් ගමට පැමිණෙන මධුෂ් අපරාධ ලෝකයට පා තබන්නේ අත් බෝම්බයක් හා බෝර දොළහේ තුවක්කුවක් ළඟ තබා ගැනීමේ වරදට මාවරල පොලිසියට කොටුවීමත් සමඟය.
ඒ 1999 ඔක්තෝබර් 28දාය. මාතර මහාධිකරණයේ විභාග වූ නඩු විභාගයෙන් ඔහුට වසර දහයකට අත්හිටුවූ සිරදඬුවමක් නියම වන්නේය.
එතැනින් පසුව බන්ධනාගාරගතව සිටියදී අපරාධ ලෝකය ගැන හදාරා සමාජයට පිවිසෙන්නේ සමාජයත් සමඟ ඇති වෛරයත් සමඟය. අපරාධකරුවන්ගේ ලෝකයේ නිදහස ලබා ආවද අපරාධ කරන්නට මධුෂ්ට ඇවැසි නිදහසක් තිබුණේය. ඒ ඔහුව බලා කියා ගන්නට කෙනකු නොමැතිකම නිසාය.
මාකඳුරේ මාවරල පදිංචි ගමගේ ගයාත්‍රි මුතුමාලි හා විවාහ වන්නේ ඉන් පසුවය.
2001 නොවැම්බර් 29 දා මධුෂ් තම පළමු මිනිස් ඝාතනය සිදුකරන්නේ සාක්ෂිවත් ඉතිරි නොකරය.
ආඩසංගවත්තේ පදිංචි ඒ.පී. කුසුමදාසව වෙඩි තබා මරා දමන්නේය. එම ඝාතනය අධිකරණයේදී ඔප්පු කරගත නොහැකි වූයෙන් මාස දහ අටක් හිරබත් කා ඔහු නිදහස් වූයේය.
මාතර මහ රෝහලේ සනීපාරක්ෂක කම්කරුවකු ලෙස මධුෂ් කටයුතු කරමින් සිටියේය. 2001 වසරේ හිරගෙදරට නියම වනවිටත් මධුෂ් එක් දරු පියකු විය. අලුත උපන් පුතාගේ දරු සුරතල් බලන්නටවත් මධුෂ්ට නිවෙසේ සිටීමට ඉඩ නොවීය. හිරගෙදර බැමි හතරට කොටු වී මාස දහඅටක් එක තැන කල් ගෙවන්නට සිදුවන්නේ කරපු පව්වලටය.
හිරෙන් නිදහස් වී පැමිණෙන මධුෂ් තවත් මාස දහසයක් ගත වෙද්දී තවත් ජීවිතයකට වගකියන්නේය.
මාකඳුර, අකුරැස්ස පාරේ, මහගෙදරවත්තේ පදිංචිව සිටි ගමගේ උපනන්දට පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරන්නේ සාක්ෂි නොතබාය.
මාවරල පොලිසිය මොරවක මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ පසුව මාකඳුරේ මධුෂ් යළිත් ඇප ලබා පැමිණෙන්නේය.
මංකොල්ලකාර චෝදනාවලට යළිත් හිරගෙදර සිටින අතරතුර මධුෂ්ගේ සොහොයුරා
නිරෝෂණ ඝාතනය කරන්නේ අබිරහස් අයුරෙන්ය. නිරෝෂණගේ සිරුර දමාගොස් තිබුණේ මාතර වේල්ල මතය.
මීගමුව ප්‍රදේශයේ කොල්ලකෑම් නිසා ඔහු නැවතත් සිරගෙදරට යන්නේය. මීගමුවේ කොල්ලකෑම් දෙකක් මෙහෙය වූ චෝදනාවට මධුෂ් මීගමුව බන්ධනාගාරයේ සිටියදී කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මුල්කරගෙන රට හොල්ලන ඝාතනයක් සිදු කරන්නේය.
ඒ හිටපු පළාත් සභා අමාත්‍යවරයකු හා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කරමිනි.
2006 ජුනි 11දා ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කරන්නේය. ඇටයා සහ හර්ෂ ඔහු තම අනුගාමිකයන් යවා එම ඝාතනය කරන්නේය.
මින් පසුව මීගමුව බන්ධනාගාරයේ සිටිමින් ලලිත් පින්තෝ සමඟ එකතු වී රුපියල් එක්කෝටි විසිලක්ෂයක කොල්ලයක් හිරගෙදර සිට මෙහෙයවන්නේය.
කොල්ල කණ්ඩායම පිළිමතලාවේදී එම කොල්ලය සිදුකරන්නේය. මින් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් මාකඳුරේ මධුෂ්ව අධිකරණයට කරුණු වාර්තා කර තම රැඳවුම් භාරයේ තබාගන්නේය. ඒ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන ක්‍රමන්ත්‍රණයකට එල්ටීටීඊයට උදවු කළ චෝදනාව මතය. අම්පාරේ සිටියදී දෙමළ කතාකරන්නට ඉගෙන ගත් නිසා මාකඳුරේ මධුෂ්ට එල්ටීටීඊය සමඟ සබඳතා ඇතිවන්නේ හිරගෙදරදීය. ඒ මත ප්‍රශ්න කරන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටියදීත් මධුෂ්ගේ අපරාධ රැල්ල ඒ අයුරින් ක්‍රියාත්මක විය.
මාකඳුරේ මධුෂ් ගෝලයන් යොදවා අපරාධ රැල්ල මෙහෙයවූයේය. වසර දෙකකට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර සිටියදී ජනපති ඝාතන තැත ඔහුගෙන් අනාවරණය නොවන තැන යළිත් බන්ධනාගාර ගත කෙරෙන්නේය.
ඒ වන විට බන්ධනාගාරය කේන්ද්‍ර කරගෙන මධුෂ් කළ ඝාතන රැල්ලත් එමඟින් මධුෂ්ගේ අපරාධ රැල්ල යළිත් කරළියට ආවේය. මෙම කාලසීමාවේ රට තුළ පාතාල මර්දනය කරන්නට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගත්තේ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා යටතේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇරැඹූ පාතාල මර්දනයත් සමඟ පාතාල නායකයන් අබිරහස් ලෙස මරු දකිද්දී ඊට බිය වූ පාතාල නායකයන් ඩුබායි හා ඉන්දියාවට පැනගත්තේය. මාකඳුරේ මධුෂ් ඇප ලබාගෙන පිටතට පැමිණිය යුතු වුවත් පිටතට නාවේ තමන් දැඩි ඉලක්කයක් බව දැනගෙන සිටි නිසාය.
හිරේ සිටීම ඇඟට ගුණ යැයි සිතූ මධුෂ් ඇප ලබා පැමිණීමට හැකි වුවත් නිදහස ලබා එන්නේ නැත.
ආණ්ඩු පෙරළිය සිදුවීමත් සමඟ යළිත් ඇප ලබා පැමිණ සැඟවෙන මධුෂ් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි පනින්නේ කන්ජිපානි ඉම්රාන්ගේ සහාය මැදය.
කන්ජිපානි ඉම්රාන්ද පාතාල මර්දනයට බියෙන් ඩුබායි පැන්න මුස්ලිම් පාතාල කෙරුමකුª විය. සිද්ධික් නමැති කුඩු රජාගේ රියැදුරා ලෙස කටයුතු කළ කන්ජිපානි ඉම්රාන් පාකිස්තාන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමඟ ඍජු සබඳතා පැවැත්වූ අයකු විය.
ඉම්රාන්ගේ සහායෙන් ඩුබායිහි අපරාධකරුවන්ගේ රාජ්‍යයේ සැඟවුණු චරිතයක් ලෙසින් මධුෂ් අපරාධ හා මත්කුඩු ජාවාරමේ රැල්ල අරඹන්නේය.
මධුෂ් ලංකාවෙන් යන විටත් ලංකාව පුරා අපරාධවලට සම්බන්ධ වෙඩික්කරුවන්, කොල්ලකරුවන්ගේ ජාලයක් මධුෂ් හා එක්ව සිටියහ. හිරගෙදර සිටියදී ඇප ලබාගත නොහැකි වූවන් හමුදාවෙන් පලාගියවුන් ඇතුළු අපරාධකරුවන් සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මධුෂ් බලාගත්තේය. ඇප ලබාගත නොහැකි වූවන්ට ඇප ලබා දුන්නේය.
ආදායමක් නොමැති වූවන් ලවා කුඩු ජාවාරම ජයටම කරගෙන ගියේය. මේ නිසා රට තුළ සිදුවන ඕනෑම අපරාධයක් හෝ මංකොල්ලයක් මධුෂ්ට එසැණින් දැනගත හැකි තොරතුරු ජාලයක්ද මධුෂ් සතු විය. සාමාන්‍යයෙන් රටේ අපරාධයක් වූ විගස මුලින්ම තොරතුරු ලැබෙන්නේ බන්ධනාගාරයටය.
ඩුබායිවලට ගිය මධුෂ්ට තරගයක් තිබුණේ එවකට ඩුබායිවලට පැනගිය දකුණේ පාතාල නායකයකු වූ කොස්ගොඩ සුජී සමඟය.
මෙකී පාතාලයන් දෙදෙනා එදා පටන් අදටත් උත්සාහ ගන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් තනතුර ගන්නටය.
මත්කුඩු ජාවාරමේ බලය ලංකාව තුළට ව්‍යාප්ත කිරීම මොවුන්ගේ ප්‍රධානම ඉලක්කය විය.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසි හත් දෙනකු මරණයට පත්වූ බන්ධනාගාර කැරැල්ලේ සිටි ප්‍රබල චරිත වූයේ මහරගම කළු තුෂාර, තොටළඟ කපිල වැන්නවුන්ය. කළු තුෂාර එදා කැරැල්ලෙන් ඝාතනයට ලක්වන විට මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් ට්‍රෝලර් යාත්‍රාවේ පළමු මුහුදු ගමන අවසන් කර වෙරළට ගෙන ආවා පමණය.
කළු තුෂාර ඉපැයූ වත්කම් සමඟින් ඔහුගේ රූමත් බිරිය පාතාල රැජනක ලෙස වැජඹෙන්නට මීළඟට තෝරා ගත්තේ මාකඳුරේ මධුෂ්ය.
මාකඳුරේ මධුෂ් පළමු බිරිය සමඟ දික්කසාද නොවීම කළු තුෂාරගේ බිරිය තම දෙවැනි සහකාරිය කරගත්තේ ඩුබායිවලට ගෙන්වාගෙනය.
මධුෂ් සමඟ එපාට්මන්ට් එකක සුඛෝපභෝගී ජීවිතයක් ඇරැඹූ එකී පාතාල රැජනට මධුෂ්ට දාව උපන් දරුවාගේ පළමු උපන් දිනය දා මධුෂ් කොටු වුණා හැරෙන්නට ලංකාවට හොර රහසේ පැමිණ ගිය වතාවන් රැසකදීම කොටු කරගත නොහැකි විය.
වරක් මාතර පාලමක් උඩකදී මධුෂ් ගමන් ගත් ජීප් රථය පොලිස් ජීප් රථ පෙළක් පැමිණ වට කර අල්ලා ගත්තද යහපාලනයට පින් සිදුවන්නට මධුෂ් එසැණින්ම ගැලවී ගියේ පොලිස් පොතකවත් සටහනක් නොතබාය.
මාකඳුරේ මධුෂ් මීට පෙර ලංකාවට පැමිණ ගියේ තමාව කුඩා කල පටන් හදාගත් ආච්චි අම්මාගේ මළ ගෙදරටය. එදා දකුණේ ප්‍රබල ඇමැතිවරයකුගේ පුතකු ඩිෆෙන්ඩර් රථවලින් මධුෂ්ට ආරක්ෂාව සැපයුවේය. ඒ මධුෂ් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරවලට දෙන සහාය නිසාය.
ඉන්පසුව තමාට ආරක්ෂාව සැපයූ ඇමැති පුතාගේ විවාහ උත්සවයටද මධුෂ් පැමිණ ගිය බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණේය.
2018 අගෝස්තු 29දා මධුෂ්ගේ පියා රිය අනතුරකින් මරණයට පත් වුණත් මධුෂ් එයට සහභාගි නොවූයේ ඒ වන විට මධුෂ්ගේ කල්ලියේ ප්‍රබල චරිත කිහිපයක්ම එස්.ටී.එෆ්. ප්‍රහාරවලින් මරු දැකීමත් සමඟය.
පියාගේ මරණයට පෙර මධුෂ් ඇමැති පුතකුගේ තවත් මංගල්‍යයකට පැමිණෙන බවට තොරතුරු තිබුණද එය තහවුරු කරගත නොහැකි වූවේය.
රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් භීතියට පත් කරමින් කප්පම් ගන්නා මධුෂ් ගැන අපි මීට මාස එකහමාරකට පෙර ‘මව්බිම’ ඉරිදා පත්‍රයෙන් අනාවරණය කළෙමු.
එම කාලසීමාවේ මධුෂ් විසින් උඩවලව හා කුරුවිට ප්‍රදේශවලට හදිසියේ පැමිණ ගිය වග බුද්ධි අංශ වෙත තොරතුරු විය.
මාකඳුරේ මධුෂ් කිහිප වතාවක්ම ධර්මදාස මුදලාලි නම් වූ කඹුරුපිටියේ මැණික් මුදලාලි කෙනකු මරන්නට උත්සාහ ගත්තේ තමාට කප්පම් නොදුන් වරදටය. 2007 පටන් කප්පම් ඉල්ලුවත් මධුෂ්ගේ අණ පිළිනොපැද්දේ ඔහු හා රත්නපුරේ තිස්ස අප්පො නම් ව්‍යාපාරිකයා පමණකි.
කුට්ටිගල ලොක්කා නමැති මධුෂ්ගේ ඥාතියකු ලවා කෝටි හතරක මැණික් ගල් තිබෙන බවට කියා ධර්මදාස මුදලාලිව පිටතට ගෙන්වා ගන්නට උත්සාහ කළේය. එය වැරදුණු තැන කඹුරුපිටිය, හොරපාවිට පතලට යන මොහොතේ ඔහුව මරන්නට මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවෙසේ ඝාතකයක් සිවුදෙනකු නවතා තිබුණේය.
ඒ කොළඹ අලුත්කඩේ අධිකරණය ළඟට කවන්ධය නොමැතිව ගෙල පමණක් කපා ගෙනැත් දැමූ කොස් මල්ලීගේ ඝතනය කළ ඝාතකයන් ලවාය.
එම කණ්ඩායම ලවා ධර්මදාස මුදලාලිව ඝාතනය කරන්නට සූදානම් වෙද්දී පොලිසියට ලද තොරතුරක් මත කළ වැටලීමකින් ඔවුන් කොටු විය. නමුත් මධුෂ් ධර්මදාස මුදලාලිව අත්නොහැරියේය.
2018 නොවැම්බර් 04දා ධර්මදාස මුදලාලි සමඟ හක්මණ කුරුඳු ඉඩමක් විකුණන්නට ගිය අවස්ථාවේදී මුදලාලි සොයා එන ඝාතකයන් වෙඩි වරුසාවක් තැබුවද මුදලාලි ජීවිතය බේරා ගත්තේ කැලෑවට පැනගත් නිසාය.
එම ප්‍රහාරයෙන් හක්මණ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රිවරයකු වූ ලොකු හකුරුගේ ශාන්ත (53) හෙවත් මැණික් ශාන්ත ඝාතනය වන්නේය.
ඒ ඩුබායි සිට මධුෂ් කළ තවත් එක් ඝාතනයකි.
මෙහිදී ධර්මදාස මුදලාලිගේ මාමා වූ මැණික් ශාන්තට වෙඩි තබා ගෙල කපාගෙන යෑමටද මොවුන් උත්සාහ කර තිබුණේය.
මීට පෙර එවැනි ගෙල කපාගෙන යන ඝාතනයක් මධුෂ් මෙහෙයවන්නේ තමා සමඟ ආයෝජනයක් ඇරැඹූ රිස්වාන් නමැති අයගේ ඝාතනයට වගකිවයුතු කොස් මල්ලීගේ ගෙල කපා කඳ පමණක් අගුණකොළපැලැස්සේ තබා ගෙල කොටස කොළඹ යවමිනි.
රිස්වාන් ඝාතනය කරන්නේ මධුෂ් සමඟ ඩේ‍රාප්මී නමැති අලුත් වාහන කුලී රථ සේවාවක් අරඹන්නට මධුෂ් ආයෝජකයකු ලෙස ඉදිරිපත් වෙද්දීය.
රිස්වාන්ව මධුෂ්ට මුණගැසෙන්නේ ඩුබායිහි තම සගයා වන කන්ජිපානි ඉම්රාන් මාර්ගයෙනි. කන්ජිපානි ඉම්රාන් මුස්ලිම් පාතාලයට නායකත්වය දෙන්නට මුස්ලිම් පාතාලයට සම්බන්ධ ව්‍යාපාරිකයන් එක්රැස් කරන අයෙකි.
කෙසෙල්වත්ත රාජධානිය කරගත් රිස්වාන් කොළඹ පාතාලයේ කුඩු නූර්, පොට්ට නවුෆර්, ආනමාළු ඉමිතියාස් යන පාතාල නායකයන්ද ඇසුරු කෙරුවෙකි.
දකුණේ පාතාලයේ මාකඳුරෙ මධුෂ්ද රිස්වාන්ගේ සමීප හිතවතෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ හා කප්පම් ගැනීම්වලින් උපයාගත් රුපියල් කෝටි 10ක මුදලක් මාකඳුරේ මධුෂ් විසින් රිස්වාන්ගේ කුලී රථ සේවාවට යෙදවූ වග බුද්ධි අංශ හෙළි කරගත් තොරතුරුය.
රිස්වාන්ට ආයෝජකයන් සමඟ වැලිසරදී අලුතෙන් ඇරැඹූ කුලී රථ සේවා ආයතනය එවකට විවෘත කරන්නේ රටේ අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙනි.
මුස්ලිම් දේශපාලනඥයකු මාර්ගයෙන් දේශපාලනඥයන් රැසක් එහි ගෙන්වා ගත්තද මොහු පාතාලය සමඟ සබඳකම් පවත්වන බව දේශපාලනඥයන් බහුතරයක් දැන සිටියේද නැත.
මධුෂ්ගේ මුදල් යොදවා ඇරැඹූ ව්‍යාපාරයේ හිමිකරු රිස්වාන් ඝාතනයේ පළිය ගන්නට මාකඳුරේ මධුෂ් කඩුවෙල සමයංගේ කල්ලිය සමඟ සිටි අංගොඩ කොස් මල්ලී මෙම ඝාතනයට යතුරුපැදිය පැදවූ බවට ඉලිවත් සමඟ කොස් මල්ලී අල්ලා අගුණකොලපැලැස්සට ගෙනගොස් ගස් බැඳ මරාදමා තිබුණේ රටේ අවනීතිය රජකරන බව පෙන්වමිනි.
මධුෂ්ට දුරකථනයෙන් පෙන්වා කොස් මල්ලීව ඝාතනය කරවා ගෙල කපා අධිවේගී මාර්ගය ඔස්සේ වාහනයක දමාගෙන විත් තබා යන්නේ රිස්වාන් ඝාතනය වූ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේමය.
ලෙයට ලෙය පළිගනිමින් කොස් මල්ලීව ඝාතනය කළ ඝාතකයන් මරා දමා පොලිසියට පවා තර්ජනය කරන්නට මාකඳුරේ මධුෂ් පියවර ගත්තේය.
ඒ තමාගේ පුංචි අම්මාගේ නිවෙසේ සිටියදී අසුවූ ඝාතකයන් ගැන එම නිවෙසට යාබද නිවෙසේ වූ කඳාන පොලිසියේ සේවය කළ සැරයන්වරයකු විසින් ඔත්තු දුන් බවට සැකපිටය.
තමාට එරෙහිව යන කණ්ඩායම්වලින් ලෙයට ලෙය පළිගන්නා මධුෂ් තම බිරියගේ වුවමනාවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව ඝාතනය කරන්නට සැලසුම් කළේය.
කළු තුෂාරගේ මරණයේ පළිය ගන්නට මධුෂ්ගේ බිරියට ඕනෑ වූයේය. ඒ කළු තුෂාර තම කලින් සැමියා නිසාය. කළු තුෂාර බන්ධනාගාරයේදී මරා දැමුවේ රංගජීව මහතාගේ මඟපෙන්වීම යටතේ බවට ඇයට තිබූ වෛරය විය.
ඇගේ වෛරය පිටකරන්නට රංගජීව කොටු කරන්නට මත්කුඩු තොගයක් ගැන ඔත්තුවක් දී පිළියන්දලට ගෙන්වා ගත්තේය. පිළියන්දලදී පොලිස් පරීක්‍ෂක රංගජීව ඇතුළු කණ්ඩායමට එරෙහි ප්‍රහාරය දියත් කරන්නේ මධුෂ්ගේ වෙඩික්කරුවන් යොදවාය.
මධුෂ්ගේ වෙඩික්කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් රංගජීව තුවාල ලද අතර ඔහු සමඟ ගිය පොලිස් නිලධාරියකු හා මහමඟ ගමන්ගත් දැරියක මරණයට පත් වූයේය.
මේ අයුරින් ලෙයට ලෙය පළිගන්නා මාකඳුරේ මධුෂ් රට හොල්ලන තවත් ප්‍රහාරයක් එල්ල කළේය.
කළුතර එතනමඬලදී තමාට හෙරොයින් ජාවාරමට බාධකයක් වන කඩුවෙල රණාලේ සමයංව ඝාතනය කරන්නට සැලසුම් කරන්නේ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලැඩියා ලවාය. ප්‍රහාරයට අවශ්‍ය වෙඩික්කරුවන් හා අවි ආයුධ මධුෂ්ගෙන්ය.
මධුෂ්ගේ කීමට ඩැනී හිත්තැටිය ඝාතනයට සම්බන්ධ වූ මධුෂ්ගේ දකුණු අත මෙන්වූ කඹුරුපිටියේ හර්ෂව ඔබේසේකරපුරදී ඝාතනය කෙරෙන්නේ සමයං කල්ලියේ ප්‍රහාරයකිනි.
එහි පළිය ගන්නට සමයං මරා දමන්නට මුල් වන්නේ මධුෂ්ය.
එදා එතනමඬල ප්‍රහාරයට යන්නට පෙර මධුෂ් ඩුබායි සිට කතා කර අංගොඩ ලොක්කා හා ලැඩියාගේ කණ්ඩායමට අවශ්‍ය උපදෙස් දුන්නේය. 2017 පෙබරවාරි 27දා එම ප්‍රහාරයෙන් සමයං ඇතුළු පස්දෙනකුත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුත් ඝාතනය කරන්නේය.
මෙම ඝාතනය මෙහෙයවන්නට මාකඳුරේ මධුෂ් බෝට්ටුවකින් ඉන්දියාවට පැමිණි වගද කියැවුණේය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවලින් ගමන් කරන්නට මධුෂ්ට සියලු පහසුකම් ඇත්තේය. ඔහු අවස්ථා ගණනකදීම මෙරටට එන්නේ එවැනි ජාවාරම්වලට සම්බන්ධ ට්‍රෝලර්වලිනි..
ඝාතන රැල්ලක් මෙහෙයවන මධුෂ් ඉතිහාසයේ නමගිය චණ්ඩින් මෙන් අතින් පයින් ගහගන්නා අයකු නොවීය.
දුරකථනය නොමැති විට මධුෂ්ගේ අපරාධ රැල්ලම අවසන්ය. මධුෂ් ඩුබායි සිට මුදල් වියදම් කර ඝාතකයන් ලවා ඝාතන මෙහෙයවන්නේද ඔහුට කප්පම් හා හෙරොයින් ජාවාරම් මඟින් ඕනෑ තරම් මුදල් ලැබෙන නිසාය.
2017 දෙසැම්බර් මාසේ ඩුඩායිහි සිටින මධුෂ්ට ජාත්‍යන්තර නිල් නිවේදනයත් කොස්ගොඩ සුජීට ජාත්‍යන්තර රතු නිවේදනයත් නිකුත් කළේය.
මධුෂ්ට නිල් නිවේදනය නිකුත් කළේ රතු නිවේදනය නිකුත් කරන තුරු සාක්‍ෂි සම්පිණ්ඩනය කරන්නටය. ඩැනී හිත්තැටිය ඝාතනය ඇතුළු ඝාතන රැල්ලට සම්බන්ධව මධුෂ්ට එරෙහිව රතු නිවේදන නිකුත් කරන්නට රහස් පොලිසිය කටයුතු කරන්නේ ඒ අනුවය.
රට හොල්ලන ඝාතන රැල්ලක්ම මෙන්ම රුපියල් කෝටි 700ක් වටිනා දියමන්තියත් පන්නිපිටිය ඇරැව්වලින් කොල්ලකන්නේ මධුෂ්ගේ සැලසුමකට අනුවය.
සෞදි රාජ්‍යයේ කේටරින් ආයතනයක සේවය කළ අයකු පස්ගොඩක තිබී හමුවී හොර රහසේ මෙරටට ගෙන ආ මෙම දියමන්තිය විදේශිකයකු ඒවා පරීක්‍ෂා කරන අතරේ පොලිස් කණ්ඩායමක් ලෙස එවූ හයදෙනකු ලවා කොල්ල කන්නේය. විදේශිකයාත්, පොලිසිය ලෙස පැමිණි කණ්ඩායම මධුෂ් යෙදවූ කණ්ඩායමක් බවත්, එහිදී පැහැරගත් දියමන්තිය ඩුබායිවලට ගෙන්වාගත් බවත් හෙළිවිය. මෙය 2018 නොවැම්බරයේ රටම කතාබහට ලක්වූ පාතාල ගේමක් විය.
මේ අයුරින් රටම හොල්ලන මාකඳුරේ මධුෂ් ගැන වැඩිපුරම කතාබහට ලක්වන්නේ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ හෙළිදරව්වෙනි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන තැත සඳහා මාකඳුරේ මධුෂ්ගේ සහාය ගන්නට ත්‍රස්ත විමර්ශන මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියාවූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැලසුම් කළ බව නාමල් කුමාර හෙළි කළේය.
ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා මධුෂ්ට ප්‍රබල තර්ජනයක් බව දන්නා නිසා පාතාල කණ්ඩායම් යොදවා ප්‍රහාරයක් දියත් කරන්නට මධුෂ් උත්සාහ ගන්නා බව මීට පෙර බුද්ධි අංශද අනාවරණය කරගෙන තිබුණේය.
මාකඳුරේ මධුෂ් තමාට ඇති බලය ගොඩනංවා ගන්නට දේශපාලන බලයද ඇල්ලූ බවද පැහැදිලිය.
මධුෂ් රජයේ ප්‍රබල මැති ඇමැතිවරුන් රැසකගේම සහාය ගත්තේය. මධුෂ්ට තම වැඩකටයුතුවලට රැකවරණය තිබුණේද ඔවුන්ගෙන්ය.
මධුෂ් ඩුබායිහිදී කොටුවූ පසුව මෙරටට ගෙන එන්නට හැකි වුවහොත් වැඩිපුරම බියවන්නේද මධුෂ් සමඟ ගනුදෙනු කළ මැති ඇමැතිවරුන්, පොලිසියේ හා බන්ධනාගාරයේ නිලධාරීන් හා ප්‍රසිද්ධ චරිතය. මත්කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේසුදා අත්අඩංගුවට ගත් මොහොතේ කළ හෙළිදරව්ව මෙන් මධුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආවොත් ගිරවකු මෙන් සියල්ල පාපෝච්චාරණය කරන බව මධුෂ් ගැන දන්නා අය දන්නේය.
මේ නිසාම මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන එනවාට වඩා ඩුබායිහිම රඳවා තබා ගන්නවාට වැඩිපුරම කැමැති රටේ නමගිය ඇත්තවුන්ය. ඒ තමන්ගේ පැටිකිරිය රැකගන්නටය.
මාකඳුරේ මධුෂ්ට එරෙහිව ක්‍රියාත්මක පාතාල කණ්ඩායම් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇතිවූ අර්බුද හමුවේ මාකඳුරේ මධුෂ්ව මෙලෙසින් කොටුකරගත හැකි වූයේය. මාකඳුරේ මධුෂ් පොලිසියේ ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා අභියෝග කරමින් තර්ජනය කරන්නට ගත්තේ මෑතක පටන්ය.
ඒ තමා වටා ඇති පිරිස් බලය, මුදල් බලය හා නොපෙන්වෙන දේශපාලන බලය මතයි. මධුෂ් පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට වැලිගම ප්‍රාදේශීය සභාවේ මිදිගම බටහිර කොට්ඨාසය නියෝජනය කරමින් වැලිගම ලසන්ත නමැති තම ගෝලයා එක්සත් ජාතික පක්‍ෂ ලැයිස්තුවෙන් ඡන්දයට ඉදිරිපත් කළේය. දකුණේ ප්‍රබල ඇමැතිවරුන්ගේ කරමතින් ඉහළට ඔසවා තබන්ට මොහුගේ ඡන්ද සටනට මධුෂ් වියදම් කළද ඡන්ද ගත්තේ 1040කි.
මාකඳුරේ මධුෂ් දේශපාලන කරළියට ගෙන ආ දේශපාලන චරිතය වූ වැලිගම මිදිගම ලසන්ත හා වැලිගම චින්තක නමැති මධුෂ්ගෙ අවි ආයුධ භාරකරු ගිනි අවිත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය කොටුකරගත්තේ 2018 මාර්තුවේදීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා දේශපාලන බලපෑම්වලට යටත් නොවී විමර්ශනවල නායකත්වය දී මොවුන් අත්අඩංගුවට ගැනීම මෙහෙය වූයේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරි විමර්ශන සඳහා මොවුන් වැලිගම පොලිසිය වෙත භාරදුන් මොහොතේ එහි පොලිස් ලොක්කාට මොවුන් නිදහස් කරන්නැයි බලපෑම් කළේ මධුෂ් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල ඇමැතිවරයෙකි. නමුත් ඩී.අයි.ජී. ලතීෆ්ගෙන් ඊට ඉඩක් නොවුණු නිසා එම වෑයම ගිලිහී ගියේය.
මේ අයුරින් මාකඳුරේ මධුෂ්ගේ දේශපාලන බලය, මුදල් බලය හා පාතාල බලය හමුවේ නීතිය නවන්නට ගිය අවස්ථා එමටය. මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්‍ෂි සම්පිණ්ඩනය කරන්නට නොහැකිවීම ගැන පොලිසියේ වගකිවයුත්තන් ලැජ්ජා විය යුතුය.
ඒ පොලිසියට අභියෝග කරන මොහුව ඩුබායි රාජ්‍යයෙන් මෙරටට ගෙන එන්නට මෙම වසර වනතුරුම සාක්‍ෂි සොයමින් සිටි නිසාය.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!