Gossip

මාස 7ක් ගුවන් තොටුපොළක ජීවත් වෙමින් ලෝකය අවදි කළ අපූරු සරණාගතයා – Photos

මැලේසියාවේ ගුවන් තොටුපොළක මාස හතක කාලයක් තිස්සේ කොටු වී දිවි ගෙවන අපූරු සරණාගතයකු ගැන කතාවක් පසුගිය කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල වශයෙන් අවධානයට ලක් විය. මෙම අපූරු පුද්ගලයාගේ නම හසන් අල් කොන්ටාර් වන අතර ඔහු සිරියානු ජාතිකයෙකි. හසන් මෙම ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ පසුගිය මැයි මාසයේ 7 වැනිදාය. එදා පටන් ඔක්තෝබර් 1 වැනි දින දක්වාම මාස හතක කාලයක් ඔහු ගත කළේ මෙම ගුවන් තොටුපොළ තුළයි.
හසන් කොන්ටාර් මේ ආකාරයෙන් ගුවන් තොටුපොළ තුළ සිරකරුවකු වූ ආකාරය පිළිබඳ කතාව අනුවේදනීය කතාවකි. මේ කතාවේ සුලමුල 2006 වසර දක්වා දිවෙයි. එම වසරේ ඔහු සිරියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගොස් තිබේ. ඒ රක්‍ෂණ නියෝජිතයකු ලෙස රැකියාවක නිරත වීම සදහාය.
එයින් වසර පහකට පසු, 2011දී ඔහුගේ රැකියා වීසා බලපත්‍රයෙහි කාලය අවසන් වී ඇත.
එම අවස්ථාවෙහි සිරියාව ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අලුත් කිරීමද ප්‍රතික්‍ෂේප කර තිබේ.
එයට හේතු වී ඇත්තේ ඔහු සිරියාව තුළ හමුදා සේවය සම්පූර්ණ කර නොතිබීමයි. ඒ අනුව තමාගේ විදෙස් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමට නොහැකි වීමත් සමඟම හසන්ට ඉතිරිව තිබූ විසඳුම වූයේ නැවත සිරියාව බලා යෑමයි. නමුත් ඒ වනවිට සිරියාව තුළ සිවිල් යුද්ධය ආරම්භ වී එය මහත් බිහිසුණු ආකාරයෙන් උත්සන්න වෙමින් තිබිණි.
හසන් මෙම තත්ත්වය තුළ නැවත සිරියාවට යෑමට කැමැති වූයේ නැත. එසේ ගියහොත් නිසැකවම තමා අත්අඩංගුවට ගෙන හමුදා සේවයට යොමු කරනු ඇති බව ඔහු දැන සිටියේය.
ඒ අනුව ඔහු ගත් ක්‍රියාමාර්ගය වූයේ නීති විරෝධී ආකාරයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ රැඳී සිටීමයි. මෙසේ සිටින අතර 2016දී ඔහු අත්අඩංගුවට පත් විය.
කෙසේ හෝ වේවා හසන් 2017දී අලුත් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සමත් වී තිබේ. එම අවස්ථාවේ ඔහු මැලේසියාව වෙත පිටත් කර හැරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් පියවර ගෙන තිබිණි. මැලේසියාවට ඇතුළු වීමේදී සිරියානු ජාතිකයන්ට වීසා අවශ්‍ය නොවන බැවින් මෙහිදී කිසිදු බාධාවක් ඇති නොවිණි.
ඔහුට මාස තුනක සංචාරක වීසා බලපත්‍රයක්ද පසුව නිකුත් කර තිබූ බැව් සඳහන් වේ.
මෙම වීසා බලපත්‍රයෙහි කාලය අවසන් වීමෙන් පසු හසන් තුර්කිය වෙත යෑමට සූදානම් වී තිබේ. නමුත් එහිදී ඔහුට ගුවන් යානයට නැඟීමට අවසර ලැබුණේ නැත. එම උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහු කාම්බෝජය වෙත ගොස් ඇත. එහෙත් කාම්බෝජයෙන්ද ඔහු මැලේසියාව වෙත ආපසු හරවා එවා ඇති බව සඳහන් වෙයි.
ඒ වනවිට ඔහුගේ මැලේසියානු සංචාරක වීසා බලපත්‍රයද අවලංගු වී තිබුණෙන් ඔහුට සිදුවූයේ ගුවන් තොටුපොළ තුළ රැඳී සිටීමටය. ඒ ආකාරයෙන් ඔහු මාස හතක්ම ගුවන් තොටුපොළ තුළ සිරකරුවකු බවට පත්ව සිටියේය.
සැබැවින්ම හසන් ගැන ලොව පුරා විශාල අවධානයක් යොමු වීමට පටන් ගත්තේ මේ කාලය තුළ ඔහු සමාජ මාධ්‍ය හරහා තමුන් ගැනත්, තමුන් මුහුණ දී සිටින ගැටලුව ගැනත් ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම නිසාය. ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ සමහර සටහන් සහ ඡායාරූප, වීඩියෝ ඛණ්ඩ ආදිය දුක්මුසු ඒවා වූ අතර තවත් සමහර ඉදිරිපත් කිරීම් හාස්‍ය මුසු ඒවා විය.
ඔහු තමාගේ ගැටලුව කිසියම් හාස්‍ය මුසු ආකාරයකින් ඉදිරිපත් කිරීමට කැමැත්තක් දැක්වූ බවද දක්නට ලැබිණි. මේ සමහර දර්ශනවල ඔහු ගුවන් තොටුපොළේ දුවන පඩිපෙළක්, ශාරීරික අභ්‍යාස කිරීමේදී භාවිත කරන ට්‍රෙඩ්මිල් (බපඥචඤථඪතත) උපකරණයක් මෙන් භාවිත කරමින් ඒ මත දුවන අන්දම දැක්විණි.
මේ කාලයේ පවතින ශීතලෙන් බේරීම සඳහා වූල් ඇඳුමක් ගොතමින් සිටින අන්දමද තවත් වරෙක ඔහු ඉදිරිපත් කළේය. නාන කාමරයක් තුළට වී තමාගේ කොණ්ඩය තමාම කපා ගන්නා අන්දම, ගීත වාදනය කරමින් නැටුම් ඉදිරිපත් කරන අන්දම ආදී බොහෝ දසුන් ඔහු සිය සමාජ මාධ්‍ය පිටු හරහා ප්‍රචාරය කළේය.
මේවා නිසා ඔහු වටා යම් රසික පිරිසක් ගොනුවෙන්නට පටන් ගත් බවක්ද පෙනිණි. මෙම කාලය තුළ හසන් කුසගිනි නිවාගෙන ඇත්තේ ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය වරින් වර ලබා දුන් අහාරපානවලින් බවද පැවසේ. මේ වනවිට ඔහුගේ ශරීරයේ බර සෑහෙන ප්‍රමාණයකින් අඩු වී ඇති බවද සඳහන් වෙයි.
මේ ආකාරයෙන්, යන්නට තැනක් නැතිව, නෑදෑයකු, යාළුවකු නැතිව, රටක් තොටක් නැතිව සිටියදී තමාගේ ආත්ම ශක්තිය, මානසික මට්ටම යහපත්ව තබා ගත්තේ කෙසේදැයි වරක් ඔහුගෙන් මාධ්‍යවේදියකු විමසුවේය. තමාගේ ප්‍රශ්නය පමණක් නොව ලොව පුරා සිටින බොහෝ සරණාගතයන්ගේ ප්‍රශ්නය තමා පෙන්වා දෙන්නට උත්සාහ කළ බවත්, එයින් තමා තෘප්තියක් ලැබූ බවත් හසන් පවසා තිබිණි. ‘ජීවිතය කියන්නේ හැම දිනෙකම උදෑසන අවදි වී අපේ සිහින පසුපස නැවත මුල පටන් හඹා යෑමයි. අරගලය දුෂ්කර වන තරමට ජයග්‍රහණයේ මිහිරත් වැඩි වෙනවා.
හැම දෙයක් ගැනම ධනාත්මකව සිතන එක මගේ චරිත ස්වභාවයේම කොටසක් කියා සිතෙනවා’ යැයි ඔහු වැඩි දුරටත් පවසා ඇත.
මුල් දිනවල හසන් නිදාගෙන ඇත්තේ ගුවන් තොටුපොළේ බංකු මත සහ බිමය. නමුත් ඔහුගේ කතාව සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙද්දී බොහෝ දෙනකු ඔහුට උදවු කිරීමට ඉදිරිපත් වී තිබේ. මෙවැනි කෙනකුගෙන් ඔහුට වරක් කුඩා මෙට්ටයක් තෑගි ලැබී තිබිණි. ඔහු පසුකාලයේ කෙතරම් ජනප්‍රිය වීදයත් විවාහ යෝජනා පවා ලැබුණු බව හසන් වරෙක සඳහන් කර තිබෙනු දැකිය හැකි විය. ගුවන් තොටුපොළට එන බොහෝ දෙනකු තමා මුණ ගැසෙන්නට කැමැත්තක් දැක්වූයෙන් සමහර අවස්ථාවල සැඟවී සිටීමට පවා සිදු වූ බවද ඔහු වරක් සඳහන් කළේය.
කෙසේ හෝ වේවා ඔක්තෝබර් පළමු වැනි දින හසන්ගේ ජීවිතය තවත් අර්බුදයකට ඇද දැමූ දිනයක් වූයේය. දිගින් දිගටම ගුවන් තොටුපළේ කාලය ගත කිරීමට ඉඩ දීමට මැලේසියානු බලධාරීන්ට හැකියාවක් නොවූ අතර එදින ඔහු එයින් ඉවත් කිරීමට පියවර ගැනිණි. ඒ අනුව හසන් අත්අඩංගුවට ගෙන ඉවත රැගෙන යන ලදී.
එදා පටන් මාස දෙකක කාලයක් ඔහු ගත කළේ අත්අඩංගුවේය. කෙසේ හෝ වේවා, හසන් විසින් දිනපතා ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවල පළ කරන ලද දින සටහන් දුටු කැනඩාවේ ස්වේච්ඡා කණ්ඩායමක් ඔහු වෙනුවෙන් යමක් කිරීම සඳහා සංවිධානය විය. ඒ සඳහා මුලපිරී තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේයි.
මෙම කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක වූයේ ලෝරි කූපර්ය. කෙසේ හෝ වේවා, මෙම කණ්ඩායමේ අප්‍රතිහත ධෛර්යයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් හසන්ට කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීමට හැකියාව ලැබිණි. මේ අනුව පසුගිය නොවැම්බර් 26 වැනි දින ඔහු එරට වැන්කුවර් ගුවන් තොටුපෙළෛන් කැනඩාව වෙත ගොඩ බැස්සේය. මේ වනවිට හසන් ඉහත කී ලෝරි කූපර්ගේ නිවසේ ජීවත් වන බව සඳහන් වෙයි. මාස නවයකට ආසන්න කාලයක් බිත්ති අතරම කොටු වී සිටි තමාට දැන් නින්ද නොයන බවත්, තමා ලැබූ මේ නිදහස් ජීවිතය රස විඳිමින් නිතරම එළිමහනේ ඇවිදින්නට යෑමට සිතෙන බවත් හසන් සිනාමුසු මුහුණින් පවසා ඇත. මේ වනවිට ඔහු ඉතා සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වන බව දැකිය හැකි වේ.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!