Gossip

දෙවැනි ඉනිමේ ධනුකට ආදරය කරන අරුණිගේ සැබෑ පෙම්වතා කවුද..? අරුණි හෙළි කළ රහස මෙන්න

දෙවෙනි ඉනිමට අලුතෙන්ම පැමිණි චරිතය තමයි අරුණි කළුපහණ.
අරුණි මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වූ චරිතයක්.
ධනුකට ආදරය කරන අරුණිගේ ආදරය ඉල්ලාගෙන එන තවත් ආදරවන්තයන්ගෙන් බේරුමක් නැහැ.
ඒ ගැනත් ඇයගේ ජීවිතේ අලුත්ම විස්තර ගැනත් අරුණි එහෙමත් නැත්නම් ඉෂානි විජේතුංග කියන ඒ සුන්දර යුවතිය සතිඅන්ත පුවත්පතකට ඇයගේ තොරතුරු මේ විදිහට හෙළි කරලා තිබුණා.

අරුණි කියන්නද? ඉෂානි කියන්නද?
ඉෂානි කියන්න. මගේ නම උපේක්ෂා ඉෂානි විජේතුංග.

ගොඩක් අය ඔබව හඳුනන්නේ අරුණී නමින්..
ඔව්. ඒ දෙවෙනි ඉනිමේ රඟපාන අරුණි කළුපහන කියන චරිතය නිසාවෙන්.
මඟ තොටේදි වුණත් බොහෝ අය මට අරුණි කියල කතාකරනවා. ඇත්තටම සතුටුයි ඒ විදිහට රසිකයන්ට මාව මතකයේ තිබෙන එක ගැන.

කොහොමද ඉෂානි කලාවට සම්බන්ධ වෙන්නෙ…
දෙරණ අවුරුදු කුමරි තරගයෙන්. ෂකිලා, හිරුණී, හරිත යන යහළුවන් තමයි දෙරණ අවුරුදු කුමාරි තරගයට මගේ ඇප්ලිකේෂන් එකක් යොමු කළේ.
මම ඒ අයට යන්න බැහැ කීවත් ඔවුන් ඇසුවේ නැහැ. එහි සම්මුඛ පරීක්ෂණයට කැඳවා ලිපියක් ලැබුණා.
පළමු වටයෙන් තේරුණා. ඒ විදිහට තමයි පසුගිය වසරේ (2017) දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය හිමිවුණේ.
ඉන්පසු දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහතා කතාකළා දෙවෙනි ඉනිමේ අලුත් චරිතයක් තිබෙනවා එන්න කියලා.
එහි තිර පරීක්ෂණයෙන් පසුව අරුණි කළුපහන කියන චරිතයට තෝරා ගත්තා.

ඔබ කලාවට එන්නේ බයෙන්…
ඇත්තම කියනවා නම් කලාවට එන්න බයවුණා. මොකද අපි කලාව ගැන අහල තියෙන්නේ හොඳ දේවල් නෙමෙයිනේ. එහෙත් මගේ හිතේ ආසාව තිබුණා රංගන ශිල්පිනියක් වෙන්න.
අම්මත් කැමැති වූ නිසා දෙවෙනි ඉනිමේ චරිතය බාර ගත්තා. දෙවෙනි ඉනිමෙ චූටි මැණිකෙට රඟපාන ෂානි කීවා බයවෙන්න එපා ඔයාට මේ චරිතය කරන්න පුළුවන් කියලා.

ඒ වගේම දේව අයියා, සාරංග අයියා සහයෝගය දුන්නා චරිතය හොඳින් කරගෙන යෑමට.
රංගනයට ආවට පස්සෙ මට හිතුණා මම බොරුවට මේ ෆීල්ඩ් එකට එන්න බය වුණේ.
බොහෝ දෙනෙක් නොදැනයි මේ ක්ෂේත්‍රය පිළිබඳව විවිධ කටකතා ගොතන්නේ කියලා දැන් මම දන්නවා.

ඉෂානි දිගටම කලාවේ රැඳෙන්නද අදහස..
රංගනයට පිවිසුණාට පසුව හිතුණා මේ ක්ෂේත්‍රය ගොඩාක් හොඳයි කියා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා. දැන් පාරක ගියත් අරුණි කියල කතා කරනවා. ගොඩක් අය මගේ ඇත්ත නම දන්නෙ නෑ.
ඒ තරමට මගේ චරිතය රසිකයන් අතර ජනප්‍රියයි. ඒ වගේම අරුණිට ආදරය කරන්න ගොඩක් අය ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගෙ ආදරයට මම කැමැතියි.
ඒ නිසයි කලාවේ දිගටම රැඳී ඉන්න තීරණය කළේ.

පවුලේ විස්තර ටිකක් කියමුද?
මගේ ගම මහනුවර. පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විදුහලට. වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ අනාගතයේදි බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න හිතාගෙන.
නමුත් උසස් පෙළ අවසන් කරල දෙවෙනි වරට විභාගය කරන්න හිතාගෙන ඉන්නකොට තමයි අවුරුදු කුමාරි තරගෙට අයැදුම් කෙළේ. දැන් නම් බැංකු ක්ෂේත්‍රයට පිවිසෙන අදහස නැහැ.
මගේ තාත්තා අනුර විජේතුංග නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී මුලතිව් වෙත්තලයිකේනි මුහුදේදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවීමෙන් මියගියේ දෙදාහ වසරේදි.
එතකොට මගේ වයස අවුරුදු දෙකයි. එදා ඉඳන් අද වනතුරු අම්මා ප්‍රියංකා තෙන්නකෝන් මගේ සෙවණැල්ල වගේ සිටිමින් මම වෙනුවෙන්ම කැපවී සිටිනවා.

කොහොමද කොළඹ රූගත කිරීම්වලට එන්නේ?
දිනපතාම නම් එන්නෙ නැහැ. ඒත් රූගත කිරීම් තිබෙන දවසට නුවර ඉඳල එනවා. එකදිගට රූගත කිරීම් වැටුණාම මත්තෙගොඩ තිබෙන ගෙදර ඉන්නවා.
රූ ගත කිරීම් දවසක් හෝ නැත්නම් එදාම නුවර යනවා. මගේ තනියට අම්මත් ඉන්න නිසා බයක් නැහැ. අම්මට මම ඇරුණම වෙන බලාගන්න කෙනෙක් නෑනේ .

නුවර නිතරම යන්න විශේෂ හේතුවක් තිබෙනවද?
විශේෂ හේතුවක් නම් නැහැ. මට කොළඹ දේශගුණය අල්ලන්නේ නෑ. මෙහෙ තිබෙන කොන්ක්‍රීට් ගොඩනැගිලිවල සිරවෙලා ඉන්න මම කැමැති නැහැ.

ඉෂානි පෙම්වතියක්ද?
තවම නැහැ.

වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා නම් ගොඩක්ම ලැබුණා. එහෙත් දෙවෙනි ඉනිමෙ රූගත කිරීම් එක්ක වෙනත් චරිතයක් කරන්න අමාරුයි.
ඒ නිසා එම ආරාධනා කිසිවක් බාර ගත්තේ නෑ. කොහොමත් දුර ප්‍රශ්නයත් නිසා ගොඩක් චරිත කරන්න අමාරුයි. සිනමාවට පිවිසෙන්න කැමැත්තකුත් තියෙනවා.
ඒකටත් තව ටිකක් කලාවේ නියැළී දැනුම ලබාගන්න ඕනේ. ඉන් පසුව සිනමාව පැත්තෙන් හොඳ දෙයක් ලැබුණත් බාර ගන්නවා.

මොනවද අනාගත බලාපොරොත්තු?
කලාවේ හොඳ නමක් තියාගෙන හොඳ නිර්මාණවලට යොමු වීම.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!