Gossip

“මාව පාලනය කරන්න පුළුවන් ආදරයට විතරමයි. නමුත් එය මගේ දුර්වල තැන නෙවෙයි. අතහැරල යන්න හිතෙන එකක් නැහැ.”

සමනලී ෆොන්සේකා, නූතන පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක ලෙස මෑත යුගයේ පිට පිට සම්මානයට පාත්‍ර වූවාය. තම මානසික තෘප්තියට අමතන චරිත තෝරා ගැනීම ඇගේ ඒ රංගන ජිවිතයේ සාර්ථකත්වය විය හැකිය.
ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට සමනලී මේ විදිහට කියලා තිබුණා.

නීතිඥවරියක් වෙන්න මවපු හීනෙට මොකද වුණේ?
ලෝ ෆැකල්ටි යන්න ලකුණු තිබ්බා. නමුත් නාට්‍ය හා රංග කලාව කරපු අයට ලෝ ෆැකල්ටි යන්න බැහැ කියලා දැන ගත්තේ පස්සේ.

ඒ ගැන පසුතැවීමක් තියෙනවාද?
කිසිසේත්ම පසුතැවීමක් නැහැ. නීති පීඨය වෙනුවට මම ශාස්ත්‍ර පීඨයට ගියා. ඒ හැඩ ගැසුණු විදිහට මම කැමැති.

රංගනයට කැමැත්ත ඇති වෙන්නේ පවුලේ ආභාසය මත වෙන්න ඇති?
පුංචි කාලේ නටන්න, සින්දු කියන්න මං හරිම කැමැතියි. නමුත් රංගනය වෘත්තිය වශයෙන් තෝරා ගන්නේ එය ඉතා බැරෑරුම් විෂයයක් බව තේරුණු පසු.

රංගනයේදී ඔබ වැඩිපුර නියෝජනය කරන්නේ යම් කාණ්ඩායමකට කොටු වූ මතවාද නොවේද?
සිනමා කෘතියක් කියන්නේම යම් මතයක්, ප්‍රකාශනයක් සමාජගත කිරීමක් තමයි. හැබැයි එය සමාජගත කළ යුත්තේ කාටද? මොන ප්‍රේක්ෂකාගාරයකටද? යන්න නිර්මාණය මත වෙනස් වෙනවා. සමහර විට යම් මත දරන අය චිත්‍රපටයක් බලා වෙනස් වෙන්නත් පුළුවන්.

ලාංකේය කලාකරුවාගේ වටිනාකම ගැන තෘප්තිමත් විය හැකිද?
ලංකාවේ සමාජ හා දේශපාලන ආකෘතියේම එකිනෙකාට ගෞරවයක් නැති තත්ත්වයක කලාකරුවාට විතරක් ගෞරවයක් ලබා ගන්න බැහැ.
සමාජයේ ඒ හිස්තැන් පුරවන්න නම් කලාකරුවාගේ කාර්යභාරය වන්නේ තම නිර්මාණ තුළින් මිනිසුන්ගෙ යල් පැනපු මතවාද වෙනස් කිරීමට දායක වීම.
ඒ නිර්මාණ මිනිසුන් අතරට ගෙන යෑමේ අවකාශය හදාගන්න නොනවතින අරගලයක් කිරීම. එහෙම නැතුව ගෞරවයක් ගැන හිත හිත ඉන්න කලාකරුවෙක්ට වෙලාවක්වත් අවශ්‍යතාවක්වත් නැහැ.

ඔබේ රංගනය ලංකාවෙන් ඔබ්බට ගෙනියන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කළ යුතුයි.

මානුෂිය ගතිපැවැතුම් සහ මිනිස් අයිතිවාසිකම් සුරකින රටක් ලෙස ඔබ දකින්නේ?
එහෙම රටවල් මේ ලෝකෙ නැහැ. හැම රටකටම වෙන්වූ ආර්ථික, දේශපාලනික ව්‍යුහයක් තිබෙනවා. එහි ගුණාත්මකබව හා වඩා මානවහිතවාදි බව අනුවයි රටක සැබැ මුහුණුවර තීරණය වෙන්නේ.

ලංකාව දාල යන්න හිතුණූ අවස්ථා තිබෙනවාද?
අතහැරල යන්න හිතෙන එකක් නැහැ. අපේ හැම මොහොතක්ම, හැම මතකයක්ම තියෙන්නෙ මෙහේ. ඉතිං මේක ඇතුළෙම කට්ට කාගෙන ඉන්න එක වඩාත් හොඳයි.

සමනලී අර ලියන්න පටන් ගත් පොතට මොකද වුණේ?
ලියන්න පටන් අරන් බාගෙට නැවතුණු පොතක් වගේ එකක් තියෙනවා. කවදා ඒක ලියලා ඉවර වේවිද දන්නේ නැහැ.

සමනලීට තරහා යනවා වැඩිලු නේද?
එහෙම කියන්නත් බැහැ. ඒ මොහොතේ මුහුණ දෙන සිදුවීමත් එක්ක තමයි බලපාන්නේ.

ඔබව පාලනය කරන්න පුළුවන් මොනවටද?
මාව පාලනය කරන්න පුළුවන් ආදරයට විතරමයි. නමුත් එය මගේ දුර්වල තැන නෙවෙයි.

ගැහැනියක වීම ගැන කලකිරීමක්ති යෙනවද ?
ගැහැනියක්ව ඉපදීම ප්‍රශ්නයක් වෙලා තිබෙන්නෙ සමාජයට මිසක් මට නෙවෙයි.

ඔබ ආදර්ශයට ගන්නා චරිත ඇසුවොත්?
ඉහළ සමාජයේ සුවිශේෂි කෙනෙක් නොවන්නත් පුළුවන්. සමහරවිට ඒ මොහොතේ මගේ එහා පැත්තෙ ඉන්න යාළුවා වෙන්නත් පුළුවන්.

ඔබේ දැක්ම ?
මං උත්සාහ කරන්නේ මට අවංකව ජීවත් වෙන්න. මට අවංකව තීරණ ගන්න. ඒ තීරණ තව කෙනකුට වේදනාවක් ගෙන දෙන්න පුළුවන් ඒත් මට කොයිතරම් අවංකද කියන එක බලපානවා. සදාකාලික වේදනාවකට වඩා ඒ වේදනාව හොඳයි. ආදරේදි, නිර්මාණකරණයේදි හා ජීවිතේ ගන්න හැම තීරණයකදී ම මං මට අවංක වෙනවා.

සමනලී කවදහරි දේශපාලනයට ඒවිද?
කොහෙත්ම නැහැ. හැබැයි දේශපාලන කතිකාවේ මම ඉන්නවා.

කුඹුක්ගැටේ සිදුවීම පසුගියදා නැවත කරළියට ආවා නේද?
එය පෞද්ගලිකව එල්ල වූ ප්‍රහාරයක් නෙමෙයි. මේ රටේ මහජනයාට, කලාකරුවාට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක්. පසුව එවැනි ප්‍රහාරයක් එල්ල නොවුණු බවට ඔප්පු කරන්නත් විවිධ මඩ ප්‍රහාර සිදු වුණා. ඒ හැම ප්‍රශ්නෙට දැන් උත්තර ලැබිලා.

විවේචන වෝදනා සහ මඩවලට සමනලී උත්තර දෙනේනේ කොහොම ද?
විවේචන බාර ගන්නත්, එයට ඇහුම්කන් දෙන්නත්, ඒවා ගැන හිතන්නත් මම අනිවාර්යයෙන් සැදී පැහැදී ඉන්නවා. නමුත් අනිත් දේවල්වලට නම් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ.
මං මගේ වැඩේ කරගෙන යනවා. එය පිළිගෙන අගය කරන කෙනෙක් අගය කරයි.
අර හැංගිලා ඉඳන් ගෙවල්වලට ගල් ගහන බුද්ධි මට්ටමෙන් අඩු පිරිසක් ඉන්නවානේ. ඒ අයගේ සමාජ මට්ටමට උත්තර දෙන්න කොහොමටත් මං යන්නේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!