Gossip

මමවත් බිරිඳවත් කවදාවත් පුතාට තරහෙන්, වෛරයෙන් කළකිරීමෙන් කිසිම දඬුවමක් කරලා නැහැ. ඇත්තටම දඬුවමක් දරුවෙකුට දිය යුත්තේ වරදක් පෙන්වා දෙන්න විතරයි – සහන් රංවලවල

පුතාට දැන් වයස කීයද?
අවුරුදු එකොළහක්.

අවුරුදු එකොළහක් ආපස්සට ගිහින් අපි සොඳුරු අතීත මතකයන් අවදි කරමු. පුතා ඉපදෙනකොට දැන සිටියා ද පුතෙක් ලැබෙනවා කියලා…?
නැහැ. මටයි, බිරිඳටයි දෙන්නාටම අවශ්‍ය වුණා ඉපදෙන දවසේම දරුවා කවුද කියන එක දැන ගන්න. නමුත් මා තදින්ම විශ්වාස කළා මට ලැබෙන්නේ පුතෙක් කියලා. බිරිඳනම් ආසාවෙන් හිටියේ දුවෙකුට. ඒත් පුතා දැක්කාම අපි දෙන්නාගේම ලෝකය වුණේ පුතා. හැබැයි අපි දෙන්නා මෙහෙම දෙයක් ප්ලෑන් කරල තිබුණා, පුතෙක් ලැබුණොත් දාන නමයි, දුවෙක් ලැබුණොත් දාන නමයි. නුවරට යනකොට හමුවෙනවා හරිම ලස්සන නිසංසල පරිසරයක තියෙන පන්සලක් ‘සෙත්’ කියලා. කවදා හරි මට පුතෙක් ලැබුණොත් ‘සෙත්’ කියලා නම තියනවා කියලා මම හිතුවේ පන්සලට ගිය දවසක. ඒ අනුවයි පුතාට ‘සෙත්’ කියන නම තැබුණේ.

තාත්තා දරුවන්ට පේන්න ආදරේ කරන්නෑ කියන එක ඔබ පිළිගන්නවාද?
නැහැ. මම නම් පුතාට දැනෙන්න ආදරෙ කරනවා. එයාව වඩා ගන්න, සිපගන්න, ආදරෙන් රණ්ඩු කරන්න, පුතයි මමයි ඉතාම සමීපව ආදරය, සෙනෙහස බෙදාගන්න දෙන්නෙක්.

පියෙකුගේ දඬුවම දරුවන්ට දරාගන්න අමාරුයි නේද?
අම්මෝ ඔව්. මම පොඞ්ඩක් සැර කළත් පුතාට ගොඩක් දුක හිතෙනවා. අම්මාගේ දඬුවමට වඩා, තාත්තාගේ දඬුවමට දරුවන් බයයි. තව දෙයක් තමයි මමවත් බිරිඳවත් කවදාවත් පුතාට තරහෙන්, වෛරයෙන් කළකිරීමෙන් කිසිම දඬුවමක් කරලා නැහැ. ඇත්තටම දඬුවමක් දරුවෙකුට දිය යුත්තේ වරදක් පෙන්වා දෙන්න විතරයි. ඒ හැර කිසිම දවසක දරුවෙකුගේ දඬුවමක් සැර නොවිය යුතුයි කියලයි මගේ අදහස. අනිත් දේ තමයි අපි දෙන්නා දරුවා ලැබෙන්න ඉන්නකොට තීරණය කරලා තිබුණ දරුවෙක් ඉන්න කාලෙක, එයාට දඬුවමක් කරන්න වුණොත් එක් කෙනෙක් ඒ දේ කරන්න, අනිත් කෙනා නිහඬවෙන්න කියන එක.

ඔබේ තාත්තා එක්ක ගෙවපු අතීතය අද පුතා සමඟ රස විඳිනවාද?
ඔව්. පුංචි කාලේ ඉඳලාම මගෙයි තාත්තාගෙයි අතර ලොකු බැඳීමක් තිබුණා. තාත්තා අපේ ජීවිතයේට දීපු ලොකුම දේ තමයි නිදහස. එයා කවදාවත් ‘‘මෙසේ විය යුතුයි’’ කියා තහංචි දැම්මේ නෑ. ඔහු කරනවා කියා ජන ගී පමණක්ම අධ්‍යයනය කරන්න කිව්වේ නැහැ. ඉංග්‍රීසි ගීත, සිංහල ගීත, දමිල, හිංදි ගීත වගේම අපි පිටරටවල නිර්මාණය වුණ නිර්මාණ ගැනත් සැලකිලිමත් වුණා. හොඳම දේ සොයා යන්න අධ්‍යාපනය ඉතාම වැදගත් දෙයක්.ඉස්සර තාත්තාගේ එක පුරුද්දක් තිබුණා. නිර්මාණයක් කරලා එහි මුල් පිටපත මට පෙන්වන්න. එහි අඩුපාඩුවක් තිබුණොත්, නැවත එකතු කළ යුතු දෙයක් තිබුණොත් මම ඒක තාත්තා එක්ක සාකච්ඡ කළාම ඒ හැමදේටම තාත්තා ආදරෙන් ඇහුම්කන් දුන්නා. අද ඒ දේම පුතායි මායි අතර වෙනවා.

අනාගතයේදී පුතා මේ ක්‍ෂේත්‍රයෙන්ම ඉදිරියට යා යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?
මම ඔහුට කවදාවත් ඍජුවම එවැනි දෙයක් ගැන කියා නැහැ. නමුත් වරක් තාත්තාගේ උපන් දිනයක් වෙනුවෙන් තාත්තාගේ ඉටිරුවක් විවෘත කළා. එම උත්සවය නම් කර තිබුණේ ‘‘රන් සළකුණ’’ කියලා. එහිදී යුග දෙකක් එක ගමනක් කියන සී.ඞී. තැටියකුත් එළිදැක්වූවා. එදා පුතා බිරිඳට කියා තිබුණා ‘‘අම්මා මම ලොකු වුණාම යුග තුනක් එක ගමනක් වෙනවා නේද’’ කියලා. එයා මට නොකිව්වාට පරම්පරාව ඉදිරියට ගෙන යා යුතුයි කියල අදහසේ ඉන්නවා කියලා දැනෙනවා. තවත් වරක් කියා තිබුණා ‘‘අම්මා මම ලොකු වෙලා පුතෙක් හදලා මහණවෙනවා’’ කියලා. පුතෙක් හදලා මහණ වෙන්නේ ඇයි කියලා ඇහැව්වාම කියලා තියෙනවා, සීයා කරගෙන ආපු මේ වැඩ ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඕනේ නේද කියලා. සීයත්, තාත්තාත් කරගෙන ආපු ජන ගී කලාව ඉදිරියට ගෙනියන්න ලොකු අදහසක් ඔහුට තියෙන බව නම් නිතර හැෙඟනවා. වරක් එයා පොතක ලියා තිබුණා ‘‘මගේ අනාගත බලාපොරොත්තුව තාත්තාගේ ජන ගී ඉදිරියට ගෙන යාම’’ කියලා.

දරුවෙක් කියන කෙනා ඔබට හැෙඟන්නේ කොහොමද?
අපි අපේ හොඳම යාළුවා විදිහට තෝරා ගන්නේ අපි කැමතිම කෙනෙක්. ප්‍රේම කරලා විවාහ වෙන්නේ හැම අතින්ම අපිට ගැලපෙන හොඳම කෙනාව. විද්‍යාත්මකව ගැඹුරින් අධ්‍යයනය කළොත් ජීවියකුගේ උපත කෙසේ විස්තර කළත් මට හිතෙන්නේ මගේ ලෙයින් මා ආසම කෙනෙක් විදිහට මට ලැබුණ වටිනාම වස්තුව තමයි මගේ දරුවා.

ඇත්තටම පිය සෙනෙහස කියන්නේ කුමක්ද?
ම්… මට හිතෙන්නේ මේ විශ්වයේ තියෙන අකුරු එකට එකතු කළත් තාත්තා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය, සෙනෙහස විස්තර කරන්න අකුරු මදි. මා මගේ තාත්තාගෙන් ලබපු පිය සෙනෙහසයි, මා මගේ දරුවාට දක්වන පිය සෙනෙහසයි දෙස බලද්දී මට හිතෙන්නේ එහෙමයි. සෙනෙහස දෝරෙ ගලාගිය ආදරණීය කතාබහට සමුදුන්නේ එපරිද්දෙනි.

උපුටා ගැනීමයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!