Gossip

“මහත්තයෝ මගේ මුළු පවුලම පැවිදි වුණා – මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා ” -දරුවෝ 04දෙනායි, බිරිඳයි සසුන්ගත කර පැවිදි දිවියට ගිය යතිවරයාණෝ

දරුවන් සිවුදෙනාත්, බිරියත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවෙස හා ගොඩ ඉඩම විකුණා එම මුදලින් තම දෑතින්ම විහාරස්ථානයක් ඉදිකරන බුද්ධ පුත්‍රයෙක් පිළිබඳ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ​අසන්නට ලැබුණා.

උන්වහන්සේ වැලිකන්ද, මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන වලපනේ අභයරතන හිමියන්ය.විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය මෙන්ම විහාරස්ථානයට පිවිසුම් පඩිපෙළ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් ඉදිකිරීමට තම දෑතින්ම බදාම සිමෙන්ති මිශ්‍ර කිරීම නිසා අභයරතන හිමියන්ගේ දෑතේ ඇඟිලිද තුවාල වී ඇති අයුරු අපට දක්නට ලැබිණි.

වලපනේ, නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී.ඩබ්ලිව්. සිරියාවතී යන පින්බර යුවළට දාව උපන් දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙක් 2004 වසරේදී පළමුව සසුන් කෙතට ඇතුළත් වූහ. ඒ අලව්ව, වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි නායක හිමියන්ගේ උපදේශකත්වයෙනි.වලපනේ ධම්මවංශ, වලපනේ අරියවිමල, වලපනේ පඤ්ඤාධීර නමින් ඔවුන් සසුන්ගත වී ඇති අතර මේ වන විට උන්වහන්සේ වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසුවෙති.

අනතුරුව 2004 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙනේ අනුනායක විමලබුද්ධි නාහිමියන්ගේ අතින් වලපනේ අභයරතන, වලපනේ ධම්මචේතනා සහ වලපනේ සුබෝධි යනුවෙන් පියාත්, මවත්, බාල පුතුත් සසුන් කෙතට ඇතුළත් වූහ. වලපනේ අභයරතන හිමියන්ගේ වයස අවුරුදු 49කි. වලපනේ ධම්මචේතනා මෙහෙණින් වහන්සේගේ වයස 44ක් වන අතර උන්නාන්සේ මේ වන විට කුරුවිට වාලුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති. 14 වියෙහි පසුවන වලපනේ සුබෝධි හිමියෝ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩ වාසය කරති.

“මහත්තයෝ මගේ මුළු පවුලම පැවිදි වුණා. බුදු දහම පවත්වාගෙන යෑම ඉතා වැදගත්. මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා. මගේ අයිතියට තිබූ නිවෙසත්, ගොඩ ඉඩමත් විකුණලා ඒ මුදල්වලින් මේ පන්සලේ අඩුපාඩු හදනවා. දැන් අවුරුදු 03ක ඉඳලා මේ පන්සලේ මම වැඩවාසය කරනවා. සිමෙන්ති බදාම අනලා මගේ අතත් තුවාල වුණා. මට මේසන් වැඩ, වඩුවැඩ හොඳට පුළුවන්. මේ පළාතේ දායකයන්ටත් තියෙන ආර්ථික ගැටලු නිසා මම හිතුවා මම ගිහි කාලේ හම්බ කරපුවා ශාසනයට පූජා කරන්න. ඒ නිසා මම දායකයන්ට කරදර නොකර බදාම, සිමෙන්ති අනලා බෝධි ප්‍රාකාරයයි, පන්සලේ අඩුපාඩු ටිකයි මමම හදනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.

දැන් ආරියවිමල හාමුදුරුවෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පඤ්ඤාධීර හාමුදුරුවෝත් විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. මම විහාරස්ථන පහක හයක වැඩ වාසය කළා. සිංහරාජයේ වසර 04ක් වනවාසීවත් හිටියා. දැන් ඉතින් මේ දුෂ්කර පන්සල දියුණු කරගෙන වැඩ ඉන්නවා. මේ පළාතේ සමහර පන්සල්වල භික්‍ෂුන් වහන්සේට කිසි පහසුකමක් නැහැ. රජයේ අවධානය යොමු වුණොත් ලොකු පිනක්” වලපනේ අභයරතන හිමියෝ පැවැසූහ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!