Gossip

“මම හිරේ ගියත් එක රුපියලක් හිස්බුල්ලාට ගෙවන්නේ නෑ” – එන්තරවාසි එවූ හිස්බුල්ලාට, පූජ්‍ය අතුරලියේ රතන හිමි දුන්නු පිළිතුර

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ. එච්. එම්. හිස්බුල්ලාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි වෙත එන්තරවාසියක් ලැබී ඇතැයි රතන හිමියෝ පවසනවා.
රාජගිරිය සදහම් සෙවණේ ඊයේ (1දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවසූහ. ‘‘පසුගිය අගෝස්තු මස දහනව වැනිදා මඩකලපුව කිරාන් වටරවුමේ ඉස්ලාම් මූලධර්මවාදී ආත්ම ඝාතකයන් බිහි කරවන හිස්බුල්ලාගේ ෂරියා සරසවි කොම්පැනිය රජයට පවරා ගැනීමට බල කරන උද්ඝෝෂණය සඳහා ජනතාව රැස්කිරීමට නිකුත් කරනු ලැබූ දැන්වීම් පත්‍රිකාවේ අඩංගු කරුණු නිසා හිස්බුල්ලාගේ කීර්තියට හානිවන ආකාරයේ දේවල් ඇතුළත් කර තිබුණු බවට එවා ඇති එන්තරවාසියේ දැක්වෙනවා.
සිදුවූ අපහාසාත්මක ක්‍රියාවක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 200 ක් සේවාදායකයා වෙත ගෙවිය යුතු බවට තක්සේරු කරමින් නීතිඥ කසුන් ජයවර්ධන එවා ඇති එන්තරවාසියට පිළිතුරු වශයෙන් ලබාදිය හැක්කේ මං හිරේ ගියත් එක රුපියලක්වත් ගෙවන්නේ නැහැ. ගෙවන්න සල්ලිත් නැහැ.
හිස්බුල්ලාගේ මුදල් ගැන මඩකලපුව එස්.පී. කාර්යාලයට මං පැමිණිලි කළා.
එම පැමිණිල්ලේ ඇති මුදල්වල විශාලත්වය මත එය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.
මුලින් කෝටි එක්දහස් හත්සීයක පමණ මුදලකුත්, ඊට පසුව කෝටි හාරදාස් හාරසිය හතළිහක මුදලකුත් හෙළිදරව් වී තිබෙනවා.
මඩකලපුව විශ්වවිද්‍යාලයට ඉඩම ලබාගත්තේ නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදෙන බව පවසමින්. මහවැලියෙන් ලබාදුන් නිර්දේශවලට පිටුපා එහි අරමුණු, අභිප්‍රායන් සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා.
වහාම මේ නඩුව විමර්ශනයට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. පොල් ගෙඩියක් හොරෙන් කැඩුවා කියලා නඩු දාන රටක මිලියන හාරදාස් හාරසීයක මුදලක් ලබාගත්තේ කෙලෙසද? යැයි අපැහැදිලිව තිබියදී මට එන්තරවාසි එවා තිබෙනවා. හිස්බුල්ලා කළ යුත්තේ නඩු අසන වෙලාවට අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමයි.
මට විහිළු විකාර ලිපි එවන්නේ නැතුව ඔහු මෙම එන්තරාවාසි පාර්ලිමේන්තු ප්‍රධාන පක්ෂ දෙකටත් එවිය යුතු වෙනවා. පසුගිය දිනක පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවක විවාදයක් පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ, වර්තමාන පොදුජන පෙරමුණේ සාමාජිකයෝ පැහැදිලිවම කරුණු ඉදිරිපත් කළා හිස්බුල්ලා වංචාකාරීව ඉඩම ලබාගත් බව. මහින්ද අමරවීර තම පක්ෂය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා මෙම ඉඩම වංචාකාරී ලෙස ලබාගත් බවට. එසේනම් මේ සියලු දෙනාටම එන්තරවාසි යැවිය යුතු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ආශු මාරසිංහ කරුණු ගොනු කරමින් කියා සිටින්නේ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත යුතු බව.
එම චෝදනාවලියේ කරුණුත් මේ පත්‍රිකාවේ අඩංගු වී තිබෙනවා. එසේම නඩුව ගොනු කළ නීතිඥවරුන්ටද නිරපරාදේ නඩුවක් ගොනු කළා යැයි පවසමින් එන්තරවාසි යැවිය යුතු වෙනවා.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටත් යැවිය යුතු වෙනවා.
ජාතික අපරාධයක් සම්බන්ධයෙන් අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එම කරුණු සාධාරණ නිසා අපරාධ විමර්ශන අංශය ක්‍රියාත්මක වනවා.
කොටුව අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ, අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, නීතිපති දෙපාර්තමේන්තුවට කියන්නේ මෙවැනි බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් නඩුව අහන්න. මට එන්තරවාසි එවා කිසි ඵලක් නැහැ. අදත් හිස්බුල්ලාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා.
ඔබ ඉඩම ලබා ගත්තේ නොමිලයේ වෘත්තීය පුහුණු අධ්‍යපනය ලබාදෙන බව පවසමින්. සමාජ විද්‍යා විෂයයන් උගන්වන බවට පසුව කිව්වා.
ඔබ ලියුම් දී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පුද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව කෝට්ටේ ඇති අංශයට ෂරියා නීතිය, ඉස්ලාම් ආගම සහ අරාබි භාෂාව උගන්වන බවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව සාධාරණ සැකයක් මතු වෙනවා. අරාබියෙන් සල්ලි දුන් අයගේ අරමුණ වී ඇත්තේ ලාංකීය මුස්ලිම් ජනතාව අන්තවාදී අදහස්වලින් පෝෂණය කිරීමයි.
මේවාට පිළිතුරු ලබාදිය යුතුයි. සහරාන්ලා ​අහසින් නොවැටුණ බවත්, ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා බෝම්බ පුපුරුවා විශාල ජන සංහාරයක් සිදු කළේ අහේතුකව නොවන බවත් රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

ඉෂාරා අබේගුණසේකර – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!