Gossip

“මම සමහර වෙලාවට එයා එක්ක තර්ක කළා මෙච්චර වැරදිලාත් ඔයා තව මොනවාද හරි කියලා කියන්නේ කියලා” – මේනකා පීරිස්

මේනකාගේ අලුත්ම කටයුතු කොහොමද?
ම්… මම මගේ අලුත් නර්තන ක්ලාස් එක අනුරාධපුරේ ආරම්භ කරනවා මේ මාසයේදී. ඒක තමයි අලුත් දෙයකට තියෙන්නේ. මීට අවුරුදු දෙකකට කලින් කඩවතයි ගල්කිස්සෙයි ආරම්භ කළ නර්තන පන්තිවලත් මේ වනවිට හොඳ ප‍්‍රතිචාරයක් තියෙනවා.

නර්තන කටයුතුවල නිරත වෙන නිසාද ඔච්චර ලස්සනට ඇඟ තියාගෙන ඉන්නේ?
වෙන්න ඇති. ව්‍යායාම කටයුතු නම් මගේ අතින් දැන් වෙන්නෑ. සෙනසුරාදාටයි ඉරිදාටයි නර්තන පන්තිවල ගොඩක් නටන නිසා ඇගේ හැඩය ලස්සනට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඔබ විශ්වාස කරනවාද කාන්තාවක් ලස්සනට ඉඳීම වැදගත් කියලා?
ඔව්. කාන්තාවක් මුහුණෙන් ලස්සන වෙනවා වගේම හදවතින්ම ලස්සන විය යුතුයි. බාහිරෙන් ලස්සනට ඉන්න කොට ඕනෑම කාන්තාවකට ලොකු පිළිගැනීමක් තිබෙනවා. පිරිමින් හා උරට උර ගැටී ජීවන ගමන යනවිට, මහ ශක්තියක් තියෙන කාන්තාව රූපෙනුත් ලස්සන වුණාම, හොඳයි කියා මට හිතෙනවා.

යම් වෘත්තියකින් ඉදිරියට යාමේදී රූපයේ ලස්සන වැදගත් වෙනවාද?
නැහැ. යම් වෘත්තියකට ලස්සන රූපයක් තිබෙන කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් වෙයි. නමුත් වෘත්තියක රැඳෙන්න අනිවාර්යෙන්ම දක්ෂතාවය විෂය දැනුම අවශ්‍යයයි. විෂය දැනුම වගේම සමාජ දැනුමත් තිබිය යුතුම වෙනවා.

විවාහයක් සාර්ථක වෙන්න කාන්තාවකගේ සුන්දරත්වය බලපානවාද?
සුන්දර බිරිඳක් ලැබීම සැමියා ලැබූ වාසනාවක්. නමුත් රූපයෙන් ලස්සන වූ පමණින් පවුලේ ලස්සන ඇතිවෙයි කියා සිතන්න අමාරුයි. විශ්වාසය, ආදරය, සෙනෙහස, කැපවීම, එකිනෙකා හඳුනා ගැනීම එකිනෙකාගෙ ගතිපැවතුම් තෝරා බේරාගෙන ජීවත් වීමට ලැබීමෙනුයි පවුල් ජීවිතයක් සාර්ථක වීමේ රහස. විවාහ වූ දා වාගේම වයසට ගිහින් තනි වූදාත් ආදරෙන් ඉන්න පුළුවන්නම් එයයි සැබෑම ආදරයක් ලෙසට මා දකින්නේ.

රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් නර්තන ගුරුවරියක් නිසාම බාහිර රූපය ලස්සනට තියා ගැනීම වැදගත්. ඒ වෙනුවෙන් මොකද කරන්නේ.
මම නිරෝගීකම ගැනත් ලස්සනට ඉන්න එක ගැනත් වගේම, ශරීරය ක‍්‍රමානුකූලව පවත්වා ගැනීම ගැනත් උනන්දුයි. ඒ නිසාම කෑමබීම ගැනීමේදී ටිකක් විතර සැලකිලිමත්. ඒත් හිතුන වේලාවට ආස හිතෙන කෑම බීම කනවා බොනවා.

සමේ පැහැය ලස්සනට තියා ගන්න ස්වභාවිකව සිදුකරන පිළියම් මොනවාද?
සතියකට වරක් සුදුහඳුන්, වෙනිවැල්ගැට, කොකුම්පොතු, කස්තුරි කහ අවශ්‍ය ප‍්‍රමාණයට අරං එයට යෝගට් එකක් මිශ‍්‍ර කරලා මුහුණේ ගෙල ඇතුළු මුළු ශරීරයේම ගල්වා විනාඩි 20ක් විතර ඉඳලා හෝදනවා. මෙය ශරීරයේ මැරුණු සම ඉවත් කෙරෙන හොඳ ස්වභාවික ස්ක‍්‍රබ් එකක්. එම ස්ක‍්‍රබ් කිරීමෙන් පසුව කඩල පිටිවලට කස්තුරි කහ ස්වල්පයක් මිශ‍්‍ර කරලා සකසා ගන්නා පල්පය ආලේප කරනවා. මෙය ඉතාම හොඳ සත්කාරයක්.

හිසකෙස්වල පෝෂණය වෙනුවෙන් මොනවාගේ ප‍්‍රතිකාරද නිවසේ කෙරෙන්නේ?
මගේ අම්මා අතින් නිවසේම සකස් කළ පොල්තෙල්වලට විටමින් ඊ කරල් හතරක් දාලා හිසේ ගල්වලා පැය 3 ඉඳලා ෂැම්පු කරලා නානවා. ඊට අමතරව ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කළ තෙල් වර්ගයකුත් මම පාවිච්චි කරනවා.

සමේ පැහැය ආරක්‍ෂා කරගැනීමට භාවිත කරන එළවළු, පලතුරු ගැනත් දැන ගන්න අපි කැමතියි.
ලස්සන වෙන්න කියලා හිතලාම එළවළු පළතුරු කන්නෑ. නමුත් දොඩම්, මිදි, අඹ, ගස්ලබූ, කෙසෙල් වගේ පලතුරු කන්න ආසයි. කොළ පැහැති එළවළු සහ පලා වර්ගත් වැඩිපුර ආහාරයට ගන්නවා. මම මස් වර්ග ආහාරයට ගන්නෑ. නමුත් කුඩා මාළු වර්ග එහෙම ආහාරයට එක් කර ගන්නවා. සීෆුඞ්වලට මම ගොඩක් කැමතියි. ඇඟ මහත් වෙන නිසා කන එකනම් ගොඩක් සීමා කරලා තියෙන්නේ.

සම සුදු කරගන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඔබ මෙය අනුමත කරනවාද?
සුදු වීම ලස්සනයි කියලා හිතන එකයි මෙතන ගැටලූව. ආසියානුවන් ලෙසට අප රටේ අයට ලස්සන හමක් ලැබිලා තියෙනවා. ඒ හම නිරෝගිව, පැහැපත්ව තියාගන්නයි අපි උත්සාහ ගත යුත්තේ. ක්‍ෂණිකව සිදුකර ගන්නා එවැනි ප‍්‍රතිකාර ජීවිතවලට පවා පසුකාලීනව හානි සිදුකරන බැවින් එය මට අනුමත කරන් නෑ.

ඔබ මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
මම මේ ලෝකයේ දැකපු ලස්සනම වගේම ධෛර්යවන්තම කාන්තාව තමයි මගේ අම්මා. අපේ ජීවිතේ බොහෝ කඩා වැටීම් ඇති වුණා තාත්තාගේ අසනීපයත් එක්ක. අපිට කියලා තිබුණ ගෙවල්, දොරවල්, වාහන සියල්ල ඒ මොහොතේදී නැති වුණා. ඒ හැම වෙලාවේම අම්මා නිතර කිව්වේ ‘අපිට කවදා හරි හරියයි කියලා’ කියන වචනය විතරයි. ඒත් මම සමහර වෙලාවට අම්මා එක්ක තර්ක කළා ‘මෙච්චර වැරදිලාත් ඔයා තව මොනවාද හරි යයි කියන්නේ’ කියලා නමුත් අම්මා ප‍්‍රශ්නවලදී කඩා වැටුණේ නැහැ. ධෛර්යෙන් මුහුණ දුන්නා. මා විශ්වාස කරනවා අම්මා සතු නොසැලෙන ගුණය, නොසැලෙන ශක්තිය ධෛර්යය අද මටත් තියෙනවා කියලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!