Gossip

මම විවාහ වෙලා දැන් අවුරුදු දහයක් – එයා නම් හරි බයයි බබාව අල්ලන්නත් – හිමාලි ​සිරිවර්ධන

හිමාලිගේ කැදැල්ලට අලුතෙන් අමුත්තෙක් ආවා නේද?
ඔව්, අපේ කැදැල්ලට චූටි පුතෙක් එකතු වුණා. ගිය සතියෙ තමයි බබා අපේ පවුලට එකතු වුණේ.

අලුත් අමුත්තත් එක්ක ලබන අත්දැකීම් කොහොමද?
ඇත්තටම ගොඩක් වෙනස් අත්දැකීමක්. එයා අඬනවා, කිරි බොනවා, නිදාගන්නවා. ඉතිං ඔය ටික තමයි එයා කරන්නෙ. ඇත්තටම මම ගොඩක් සතුටෙන් ඉන්නෙ.

පවුලට එකතු වෙන පළමුවැනි දරුවා පුතෙක් වෙනවටද හීන දැක්කේ?
මම කැමැත්තෙන් හිටියේ දුවෙක්ට. සැමියා කැමැත්තෙන් හිටියේ පුතෙක්ට. ඒත් කවුරු වුණත් අපි එයාව ආදරයෙන් භාරගන්න බලාගෙන හිටියේ. ඉතිං අපිට පුතෙක් ලැබුණේ. හරිම ආදරේ හිතෙනවා එයාව දැක්කම.

පුංචි අමුත්තෙක් පවුලට එකතු කරගන්න සුදුසුම කාලේ මේ කියලා හිතුවාද?
මම විවාහ වෙලා දැන් අවුරුදු දහයක්. ඒ කාලසීමාව පුරා කලා කටයුතු නිසා දරුවෙක් කියන බලාපොරොත්තුව මඟ හැරුණා. ඉතිං තව පරක්කු වෙන්න බෑ. දැන් දරුවෙක් ගැන බලාපොරොත්තුව සැබෑ කරගන්න කාලය හරි කියලා හිතුණා. ඒ හීනය හැබෑ වෙලා පුතා අපි අතරට ආවා.

පුතා එකතු වීමත් එක්ක හිමාලිගේ ජීවිතේ වෙනස් වෙලාද?
ඇත්තටම ලොකු වෙනසක් වෙලා. ඒ වගේම බබා ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතිං ජීවිතයේ ලොකු වෙනසකට අඩිය තිබ්බා කියලා දැනෙනවා.

බබාගේ වැඩ කටයුතු කරන්න හිමාලිට උදවු කරන්නේ කවුද?
විශේෂයෙන්ම මගේ අම්මයි, අක්කයි මට ගොඩක් උදවු කරනවා. එයාලා තමයි මගේ ළඟින්ම ඉඳන් බබාගෙ වැඩ කටයුතු කරන්නෙ. සැමියගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් එයා නම් හරි බයයි බබාව අල්ලන්නත්.

පුතා ගැන බලාපොරොත්තුවෙන් හිටපු නිසා නර්තන කටයුතුත් නැවැත්තුවානේ. ආයෙත් නර්තන කණ්ඩායමේ වැඩ පටන් ගන්න එකක් නැද්ද?
නර්තන කණ්ඩායමේ කටයුතු කරන්නෙ කොහොමද කියලා තවම හිතලා නැහැ. ඒත් සියලුම දේවල් මගේ අතින් සිද්ධ වෙන්න ඉතිං ටිකක් කල් ඕනෙ.

ඒ කියන්නේ කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න ලොකු කාලයක් ගනීවිද?
කලා ජීවිතය පැත්තෙන් මගේ තනි නර්තනය ඉදිරියට ගෙනියන්න පොඩි සැලැස්මක් තියෙනවා. ඒක තමයි මම මුලින්ම කරන්න හිතන් ඉන්නෙ. රංගන කටයුතුවලට ටිකක් ලොකු කාලයක් දෙන්න වෙනවා. සමහර වෙලාවට පිට පළාත්වලට යන්නත් වෙනවා. එතකොට දරුවා එක්ක ඉන්න කාලය අඩු වෙන නිසා මුලින්ම මගේ නර්තන කටයුතුවලට තමයි මුල්තැන දෙන්නෙ.

බබා වෙනුවෙන්ම කොච්චර කාලයක් කැප කරන්නද හිතන් ඉන්නේ?
ඒක දැන්ම කියන්න අමාරුයි. නමුත් ඉක්මනටම ක්ෂේත්‍රයට එන්න තමයි හිතාගෙන ඉන්නෙ. මට එයා වෙනුවෙන් හැඩ ගැහෙන්න ටික කාලයක් යයි. අනිත් එක එයාට අම්මගෙ උණුසුම අවශ්‍යමයි. කොහොම වුණත් ඉක්මනටම ක්ෂේත්‍රයට එන්නත් ඕනෙ.

කාලයක් ක්ෂේත්‍රයෙන් නිහඬ වෙද්දි හිමාලිව ප්‍රේක්ෂකයන්ට අමතක වෙයිද?
ඒක නම් කොහොම වෙයිද දන්නෙ නැහැ. නමුත් දැනටමත් ෆේස්බුක් එකෙන් ප්‍රේක්ෂකයො මාත් එක්ක සම්බන්ධ වෙනවා. කලින් තිබුණ ආදරය තාමත් තියෙනවා කියලා මට දැනෙනවා.

මවක් නිසා දැන් වෙනදාටත් වඩා තෝරා ගැනීම් කරයි නේද?
මම කවදත් සීමා සහිතව වැඩ කරලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත කෙනෙක්. මම දායක වුණ නිර්මාණ සහ මගේ නර්තනය හරහා ගොඩක් අය මට ආදරේ කළා. හැමදාම මම මගේ නමත් ගෞරවයත් තියාගෙන වැඩ කරන කෙනෙක්. ඉදිරියටත් තෝරා ගැනීම් තියෙයි. ඉතිං මම හිතනවා මට තිබුණ ප්‍රේක්ෂක ආදරය ගෞරවය හැමදාමත් තියේවි කියල.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?
චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ නිර්මාණ මේ වෙනකොටත් ආරම්භ කරලා නැහැ. සමහර අය මම ක්ෂේත්‍රයට එනකල් බලන් ඉන්නවා.

මවක් වුණ හිමාලිට රංගන කටයුතුවලට අවශ්‍ය විදියට පෙනුම හදාගන්න පහසු වෙයිද?
මම ශරීරයෙන් ටිකක් මහත් වෙලා ඉන්නෙ. මාස කිහිපයක් බබා එක්ක ගෙවලා සූදානම් වෙන්න ඕනෙ. මම ක්ෂේත්‍රයට එන්න සූදානම් වුණාට පස්සෙ තමයි ඒ සම්බන්ධව හිතන්නේ.

චූටි පැටියත් අනාගතයේදී කලා ක්ෂේත්‍රයට එනවට හිමාලි කැමැතිද?
මම හිතන්නෙ අධ්‍යාපනයට අමතරව එයාගේ විශේෂ හැකියාව පැත්තටත් යොමු කරන්න ඕනෙ. ඊට පස්සෙ එයා මොන ක්ෂේත්‍රය තෝරා ගත්තත් කමක් නැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!