Gossip

“මම විවාහ ජීවිතයට එළැඹුණේ අත්දැකීම් අඩු ඉතාම තරුණ වයසේදීයි – අපි කාටවත් ගැලපෙන කෙනා හම්බවෙන්නෙ නැහැ” – පියුමි ශ්‍රීනායක

පියුමි ශ්‍රීනායක කියන්නේ දක්ෂ නිරූපිකාවක්. ඒවගේම දැන් ඇයව ටෙලි නාට්‍ය තුළින්ද දැකගන්නට පුළුවන්. මේ ඇය ගැනයි.

පියුමි කොහොමද මේ දිනවල වැඩ කටයුතු?
මම දායක වෙච්ච නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඊට අමතරව ‘හිත කොනිත්තන ආදරේ’ මියුසික් වීඩියෝ එක නිසා තවත් පිරිසක් කතාවෙනවා. ඒක ලස්සන ගීතයක් වගේම, රූප රචනයත් අලංකාරයි. ඊට අමතරව ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ ‘මට අහිමි වුණේ ආදරය කළ කෙනෙක්’ ගීතයේ විෂුවල් එක නිසාත් බොහෝදෙනා ඒ ගැන කතා වෙනවා. මේ දේවල් එක්ක සතුටින් ජීවිතය ගෙවෙනවා.

වෘත්තීමය විදියට මොන අංශයේ ද නිරත වන්නෙ?
මම රඟපෑම කරන්නෙ විනෝදාංශයට නෙවෙයි. වෘත්තීය රංගන ශිල්පිනියක්. මගේ වෘත්තිය එයයි. රංගනය කියන දේ අද ඊයේක ආ කැමැත්තක් නෙවෙයි. පොඩි කාලයේ ඉඳලාම තිබූ කැමැත්තක්.

එතකොට ඉගෙන ගත්තෙ?
උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. උසස් පෙළ විෂයන් හැටියට තෝරා ගත්තෙ වාණිජ අංශයේ විෂයයන්. ඒත් මට ඕනෑ වුණේ කලා අංශයෙන් ඉදිරියට යාමටයි. ඒ නිසා සුගත් සමරකෝන් මහතා යටතේ රංගනය ගැන හැදෑරුවා. පසුව චන්න විජේවර්ධන මහතා යටතේ නර්තනය හැදෑරුවා. ඒත් එක්කම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ නාට්‍ය පුහුණුවට ගියා. ඒ විදියට ටිකෙන් ටික හෙමින් යන ගමනක්.

ඒ කියන්නෙ ඔබ රංගනය හොයාගෙන යන කෙනෙක්?
ඇත්තෙන්ම ඔව්. ගෙදර නිදහසේ ඉන්න ලැබුණාම මම දවසකට චිත්‍රපට තුනක් විතර නරඹනවා. ඊට අමතරව ඔක්කෝම ටෙලිනාට්‍ය නරඹනවා. ඒවා නරඹලා රංගනය ගැන ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. තවම මම රඟපාලා තියෙන්නෙ ටෙලි නාට්‍ය දෙක තුනක විතරයි. මට රංගනය ගැන ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. වතාවක් මම අතුල ජයසිංහ මහතා යටතේ හඬ පුහුණුවක් ලැබුවා. ඇත්තටම මම දවසින් දවස රංගනය ගැන හදාරන්න උත්සාහ කරන කෙනෙක්. දක්ෂතාවය දියුණු කරගෙන ගමනක් යන්න ඕනෑ.

ටෙලිනාට්‍ය රංගනයේ පියුමිට සීමා තියෙනවද?
ඔව්, රඟපෑමේදී මම සීමාවක් දාගෙන ඉන්නෙ. මගේ පවුල් පසුබිම සහ ලංකාවේ සංස්කෘතිය එක්ක මට ගැලපෙන චරිත වෙතින් රඟපෑමේ යෙදෙන්න ආසයි.

පියුමිට අතීතය ගැන හිතෙන්නෙ කොහොමද?
දිනෙන් දින මගේ හැකියාව වර්ධනය කරගෙන හොඳ ගමනක් ඇවිත් කියලා හිතනවා. වර්තමානයේදී අතීතය ගැන හිතලා සතුටු වන්න පුළුවනි.

අතීතයේ කළ කී දේ ගැන පසුතැවීම් නැද්ද?
මොනවා හරි කළා නම්, එයින් ජීවිතයට අත්දැකීමක් එක්කර ගත්තා. ඒ නිසා පසුතැවීමක් නැහැ.

පියුමි අද ගෙවන ජීවිතය දැනෙන්නෙ කොහොමද?
සැමියා ගිහාන් එක්ක ජීවිතය හරිම සතුටින් ගත කරන බව කියන්න පුළුවනි. මගේ සියලූ කටයුතුවලට උදව් කරන්නෙ සැමියා.

මේ ළඟදී ඡයාරූප වගයක් පළවුණේ විවාහ ඡායාරූප කියලා. ඒ කියන්නෙ එතෙක් විවාහ නොවීද සිටියෙ?
මම විවාහ වෙලා වසර 7ක් විතර වෙනවා. අපි ඒ විදියට මනාළ යුවළක් ලෙස ඡයාරූප ගත්තෙ ආරාධනයකට. ඒක බ්‍රයිඩල් ෆොටෝ ෂූට් එකක්.

කොහොමද ගෙවී ගිය විවාහ ජීවිතය?
අපි දෙන්නා හරි සතුටින් කිව්වොත් හරි. මම විවාහ ජීවිතයට එළැඹුණේ අත්දැකීම් අඩු ඒ වගේම ඉතාම තරුණ වයසේදීයි. අපි කාටවත් ගැලපෙන කෙනා හම්බවෙන්නෙ නැහැ. ගැලපීම අපි හදාගන්න ඕනෑ. මොකද සැමියා බිරිඳ කියන්නෙ වෙනස් දෙන්නෙක්. අදහස් ගති පැවතුම් සියල්ල වෙනස්. ඒ නිසා ගැලපීම අපි හදාගන්න ඕනෑ. නොගැලපෙනවා කියලා වෙන්වීම නෙවෙයි විසඳුම. සතුටින් ජීවත් වන්න උත්සාහ ගන්නවා නම් හොඳයි.

සැමියා සහ ඔබ අතර රණ්ඩු සරුවල් වෙනවද? වාද විවාද වෙනවද?
සාමාන්‍යයෙන් මට තරහා යනවා වැඩියි. ඒ වෙලාවට එයා නිශ්ශබ්දව ඉඳලා පසුව මට වටහලා දෙනවා. මගේ අඩුපාඩු පෙන්වලා දෙනවා. ඒක තමයි අවබෝධය කියන්නෙ. අවුරුදු 7ක් මේ විදියට ආවේ ඒ අවබෝධය නිසයි.

කලා ක්ෂේත්‍රයේ අද විවාහ වෙලා අවුරුද්දක් යන්න කලින් දික්කසාද වෙන අවස්ථා පසුගිය කාලයේදී සෑහෙන්න දැකගන්න ලැබුණා. ඒ වගේ දේ දකිද්දී දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද?
අද ඔය දික්කසාද කියන දේ බහුල බව පුවත් මගින් දකින්න ලැබෙනවා. එය කලා ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. කලාවේ සිටින අය ප්‍රසිද්ධ නිසා ඒවා ඉස්මතුව පෙනෙනවා. කොහොම වුණත් මගේ අරමුණ නම්, හොඳ විවාහ ජීවිතයක් ගෙන යන්න අද සිදුවූ අතපසුවීම නැවත නැවතත් කළ යුතු නැහැ. වැරදි නොකරන්න සහ වැරදි නොවන විදියට ජීවත්වීමට වගබලාගත්තොත් දික්කසාදය කියන දේ වෙන එකක් නැහැ.

පියුමි ගෘහණියක් ලෙස සාර්ථකයි කියලා හිතනවද?
ඇත්තෙන්ම මට ගෙදර දොර වැඩපළ කරන්න පුළුවනි. මට බැරි වෙනකොට සැමියා උදව් කරනවා. මට රසට උයන්න පුළුවනි. රසට උයන විදිය මම එයාටත් කියලා දෙනවා. එතකොට හදිසියකදී කෑමක් හදාගන්න පුළුවනි. සැමියා කොහොමටත් කඩෙන් කන්න කැමති නැහැ.

පියුමිට හොඳටම උයන්න පුළුවන්?
වට්ටක්කා ව්‍යාංජනය, මාළු හොද්ද සහ මැල්ලූම. ඒකට මගේ සැමියා හරිම ආසයි. ඒ හැර අනෙක් ඕනෑම දෙයක් කටට රහට උයන්න පුළුවනි. අපේ යාළුවො මම උයන ඒවා කන්න ආසයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!