Gossip

මම නෙවෙයි සාරංග එක්ක කවුරු රඟපෑවත් එයා හොඳ සහයෝගයක් දෙනවා – මට ගැළපෙන රංගන ශිල්පීන් තෝරලා දෙන්නේ ඒ ඒ නිර්මාණවල අධ්‍යක්ෂවරු – දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම තමයි ප්‍රියසාද් පවුලේ වැඩිමලා ඇයයි. ඉතින් මේ ඇය ඇගේ පුද්ගලික ජීවිතේ තොරතුරු වගේම කලා කටයුත් ගැනත් පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

මේ දවස්වල දිනක්ෂි පුංචි තිරයේ වැඩ කිහිපයක පේන්න ඉන්නවනේ. ඒ නිසා කාර්යබහුල ඇති?
ඔව්. චුට්ටක් විතර කාර්යබහුලයි.

දිනක්ෂි ආයෙත් වේදිකාවටත් ඇවිත්?
ඔව්. මම මීට අවුරුදු හතරකට විතර කලින් ‘ගාස්තුව කීයද’ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මට වෙලාව පිළිබඳ තිබ්බ ප්‍රශ්නය සහ වේදිකාවේ රඟපාන්න මට ඒ තරම් දක්ෂතාවක් තිබුණේ නැති නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ වේදිකා නාට්‍යයට ආරාධනා ලැබුණම ඒක කරලා බලන්න ඕනේ කියලා හිතුණා. මේ දවස්වල ඒ වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

වේදිකාවේ රඟපාන්න තරම් දක්ෂතාවක් නෑ කියලා හිතපු දිනක්ෂි මේ ආරාධනාව භාරගන්න විශේෂ හේතුවක් තිබුණද?
මුලින්ම මම ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළා. නමුත් නාට්‍ය අධ්‍යක්ෂවරයා වුණු කපිල අයියාට ඕන වුණා ඒ චරිතය මාවම දාලා කරන්න. මම සාමාන්‍යයෙන් අභියෝග භාරගන්න කැමැති කෙනෙක්. ඒ නිසා ඒ අභියෝගය භාරගෙන කරලා බලන්න හිතුවා.

ඒ අභියෝගයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවද?
මම සියයට සියයක් සාර්ථකයි කියලා හිතන්නේ නෑ. නමුත් මේ වෙනකොට කරපු නාට්‍යයේ දර්ශනවලින් පුදුම තෘප්තියක් ලැබුණා. වේදිකාවේ රඟපාන නළු නිළියන් වේදිකාව හරි ඉහළින් සලකන්නේ. ඉතින් ඔවුන් වේදිකාව ගැන කියන දේවල්වලින් චුට්ටක් හරි මට විඳින්න ලැබුණා. මම ආධුනිකයි. වේදිකාවෙන් ලබාගන්න ආභාසය අපිට ගොඩක් වටිනවා. වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන්නේ මාධ්‍ය තුනක්. වේදිකාවෙදී සජීවීව ප්‍රතිචාර ලැබෙනවා. කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒක හරි වටිනවා.

දිනක්ෂිටත් වේදිකා රංගනයට ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්න ඇති?
ඔව්. ක්ෂේත්‍රයේ අය වගේම වේදිකා නාට්‍ය බලපු අය හොඳ ප්‍රතිචාර දුන්නා. අඩුපාඩු තිබ්බ තැනුත් පෙන්නලා දුන්නා.

මේ පටන් ගැන්මත් එක්ක දිනක්ෂි දිගටම වේදිකාවේ රැඳෙයිද?‍
‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ වේදිකා නාට්‍යයේ දර්ශන කිහිපයක් ඉදිරියේදී කරන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒ වැඩකටයුතුවලට සූදානම් වෙන්න ඕන. වේදිකාව වෙනුවෙන් කැපකිරීම් කරන්න තියෙනවා. ඒ කරුණු සහ හොඳ ආරාධනාවක් තව ලැබුණොත් හිතලා බලනවා.

දිනක්ෂියි සාරංගයි පුංචි තිරයෙදී වගේම වේදිකාවෙත් හොඳ සුසංයෝගයක් වෙලා. දිනක්ෂිට සාරංගගෙන් ලොකු සහායක් ලැබෙනවා ඇති?
සාරංග අයියා කොහොමත් දක්ෂ රංගන ශිල්පියෙක්. එයා කරන ඕනම චරිතයකට ලොකු කැපකිරීමක් හොඳ දායකත්වයක් දෙනවා. මම නෙවෙයි එයා එක්ක කවුරු රඟපෑවත් එයා හොඳ සහයෝගයක් දෙනවා.

දිනක්ෂි විවිධ රංගන ශිල්පීන් එක්ක රංගනයට සම්බන්ධ වෙනවනේ. දිනක්ෂි හිතන විදියට වැඩිපුරම ඔබට ගැළපෙන රංගන ශිල්පියෙක් ඉන්නවද?
මට ගැළපෙන රංගන ශිල්පීන් තෝරලා දෙන්නේ ඒ ඒ නිර්මාණවල අධ්‍යක්ෂවරු. එයාලා තෝරලා දෙන කෙනා එක්ක මම රඟපානවා. මම ඒ ඕන කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා.

මෙදාසැරේ රිදී රැයක් ප්‍රසංගයේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි තුන්දෙනා අපූරු නර්තනයක් ඉදිරිපත් කළා. කොහොමද එයට ලැබුණු ප්‍රතිචාර?
අපි තුන්දෙනාම එකට දකින්න ලැබුණේ කාලයකට පස්සෙනේ. අපි කලාවේ නියැළිලා ඉන්නවට අපේ අම්මයි තාත්තායි ගොඩක් කැමැතියි. එයාලව සතුටු කරන්න ලැබීමම අපිට ලොකු සතුටක්. ඒ රංගනයට හැමෝගෙන්ම ගොඩක් ප්‍රතිචාර ලැබුණා.

ශේෂාද්‍රි ආයෙත් රංගනයට එකතු වෙනවට දිනක්ෂි කැමැතිද?
එයා දැනට නාට්‍යයක හඬ කවනවා. නිවේදන කටයුතුවලටත් එකතු වෙනවා. දැන් නංගී ගුරුවරියක් ලෙසත් වැඩ කරනවා. හොඳ අවස්ථාවක් ලැබුණොත් එයා ඒ ගැන සලකලා බලයි. එයාට තියෙන්නේ රිදී තිරයට ගැළපෙන පෙනුමක්. එයා හොඳ දෙයක් කරනකල් මමත් ආශාවෙන් බලාගෙන ඉන්නේ.

සිනමාවේ අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?
අලුත් චිත්‍රපටයක රූගත කිරීම් මාර්තු මාසේ විතර ආරම්භ කරන්න ඉන්නේ. ඊට අමතරව මම සම්බන්ධ වුණු සුජීව ප්‍රියලාල්ගේ සුපර්ණා චිත්‍රපටය මේ වසරේ තිරගත වෙන්න තියෙනවා. රන්දික කියලා අලුත් අධ්‍යක්ෂවරයෙක් කරපු විශ්ව සහ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ මා චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා.

දිනක්ෂි රඟපානවා, නිවේදන කටයුතු කරනවා. නර්තන කටයුතු කරනවා. ඊළඟ සූදානම මොකක් වෙයිද?
මම ලොකු බලාපොරොත්තු තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම ලැබෙන ඕන දෙයක් පුළුවන් නම් භාරගන්නවා. පුළුවන්ද කියලා බලන්නත් උත්සාහ කරන්න ඕනෙනේ. එහෙම කරලා හරියනවද වරදිනවද බලනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!