Gossip

“මම කාමරයේ ලයිට් ඕෆ් කරලා නාන කාමරයේ ලයිට් දානවා. දෙතුන් දෙනෙක්වත් ඒ වගේ ගමනකදී මාත් එක්ක යන්නම ඕනේ” – රිතූ ආකර්ෂා

මා ගැන ගොඩක් දෙනෙක් නොදන්නා රහසක් තියෙනවා. ඒ තමයි මම කළුවරටයි, හොල්මන්වලටයි බයයි කියන කාරණය. හැබැයි ඉතින් මගේ මේ බය ගැන අද මුළු රටම දැනගන්නවා. කමක් නෑ…. මම අද ඒ රහස හෙළි කරන්නම්.

මේ කියන බව මගේ හිතට ඇති වුණේ කොයි කාලෙද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි පුංචිම පුංචි කාලේ ඉදලා මම හොල්මන්වලට හරිම බයයි. අදුරු තැනක මහ රූ තනියම ඉන්න එක නම් මට හිතාගන්නවත් බැරි දෙයක්. ඉස්සර මම පුංචි කාලේ අපේ අයියාට මාව බය කරන්න ඕන වුණාම කරන්නේ හොල්මන් ගැන කතා කියන එකයි. අයියා මට ඇහෙන්න බොරු කතා ගොතලා කියනවා. හොල්මන් දැකපු අයගේ අත්දැකීම් විස්තර කරනවා. ඒ වෙලාවට මම ගොඩක් බය වෙනවා. ඒ දරුනු බිය අදටත් ඒ විදිහටම තියෙනවා.

යක්ෂ, ප්‍රේත, භූත බලවේග මේ ලෝකේ තියෙනවාද නැද්ද කියලා විවිධාකාර මත දක්වන අය ඉන්නවානේ. ඒ වගේ ගුප්ත බලවේග තියෙනවාද නැද්ද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. ජීවිතේ කිසිම දවසක මම හොල්මන් අවතාර දැකලත් නැහැ. ඒත් මම හොල්මන් අවතාරවලට බයයි.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් රූ නින්දට යන්නේ කාමරේ විදුලිය නිවා දමලා. ලයිට් එළිය තියෙද්දී නිදියන්න බැහැ කියන එක තමයි බොහෝ අය කියන්නේ. ඒත් මට නම් ඒකේ අනිත් පැත්ත. මට නම් තනියම කළුවර කාමරයක් ඇතුළේ ඉන්න බැහැ. ඒ නිසා මම කාමරයේ ලයිට් ඕෆ් කරලා නාන කාමරයේ ලයිට් දානවා. එතකොට නාන කාමරේ එළිය කාමරයට එනවා. එතකොට හිතට බයක් දැනෙන්නේ නැහැ.

ගෙදරදී ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ට ඕනෑ විදිහට ජීවත් වන්න. ඒත් පිට තැනකට ගියාම එහෙම බැහැනේ. දුර ඈත පළාත්වල රූගත කිරීම්වලට ගියාම අපිට ගෙදර වගේ ඉන්න ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට සෙනග අඩු පාළු ප්‍රදේශවලත් ඉන්න වෙනවා. හොල්මන්වලට බය, කළුවරේ ඉන්න අකමැති මට මේ වගේ පරිසරයක තනියම කාමරයක ඉන්න කිව්වට මට එහෙම ඉන්න බැහැනේ. ඒ නිසා මම දුර පළාත්වල රූගත කරන කිසිම නිර්මාණයක් භාර ගන්නේ නැහැ.

මම මළ ගෙවල්වලට සහභාගි වෙන්නෙත් නැති තරම්. ඉස්සර නම් මළගෙවල්වල යන්නෙම නැහැ. දැන් ඉතින් අත්‍යවශ්‍යම එකකට යනවා. ඒ යන්නෙත් හරිම බයෙන්. දෙතුන් දෙනෙක්වත් ඒ වගේ ගමනකදී මාත් එක්ක යන්නම ඕනේ.

මම මෙහෙම කිව්වම කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ. මහ රූ ලයිට් නිවලා තියෙන මගේ නිවසට ඇතුළු වෙන්නත් මට බයයි. රූගත කිරීම් අවසන් කරලා මහ රූ තනියම ආවත් ගෙදර ලයිට් නිවලා නම් මම වාහනෙන් බහින්නේ නැහැ. වාහනේ හෝන් එක ගහලා ගෙදර අයව නැගිට්ටා ගත්තට පස්සෙයි මම වාහනෙන් බහින්නේ. මට හිතෙන්නෙම හොල්මනක් හරි අවතාරයක් හරි කළුවරේ කොයිම මොහොතක හරි මගේ ඉස්සරහට එයි කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!