Gossip

මම අඩු වයසින් විවාහවෙලා අඩු වයසින් ගොඩක් අත්දැකීම් ලබපු කෙනෙක් -මම ගොඩක් සතුටු වෙනවා – ගයාත්‍රි මාධ්‍යයට කිව්ව කතාව 

ඇයි මේ කලා කටයුතුවලින් ටිකක් බැහැරවෙලා ඉන්නේ?
කලා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා නැහැ. මේ දවස්වල අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා. කලා කටයුතුවලින් පසුගිය කාලයේ ටිකක් ඈත්වෙලා හිටපු නිසා විකාශනය වෙන ටෙලිනාට්‍ය නම් නැහැ. ඒකට හේතුව වුණේ මගේ සැලෝන් එකට අලුත් ශාඛා දෙකක් එකතු කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න නිසා ටිකක් ඒකට මහන්සි වුණා.

රඟපෑමෙන් ඈත් වෙලා සැලෝන් එකටම මුල්තැන දෙන්නද බලා‍පොරොත්තුව?
නැහැ. එහෙමමත් නැහැ. හම්බවෙන සමහර නිර්මාණ මට ගැළපෙන්නේ නැහැ වගේ හිතුණා. සමහර ටෙලිනාට්‍ය විකාශනය වෙන අතරමග චරිතවලට කතා කරනවා. ඒවට මම සම්බන්ධ වුණේ නැහැ. ඒ වගේ නිර්මාණ කිහිපයක්ම අතහරින්න සිද්ධවුණා. පහුගිය දවස්වල චිත්‍රපට දෙක තුනක් කළා. ඒවා ඉදිරි වසරේදී තිරගත වෙයි.

නිර්මාණ තෝරා බේරාගන්නේ කොහොමද?
මම කොහොමත් ලැබෙන්නංවා‍ලේ චරිත කරපු කෙනෙක් ‍නෙවෙයි. ඉදිරියටත් මගේ ප්‍රතිපත්තිය වෙන්නේ මට ගැළපෙන චරිත, ඒ චරිතවල ඇඳුම් පැලඳුම් ගැන, චරිතයේ ස්වභාවය පිළිබඳව හොයලා බලලා තමයි චරිත භාර ගන්නේ. ඒ වගේ බලනකොට ඇතැම් හොඳ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ පවා ප්‍රතික්ෂේප වෙනවා. ගොඩක් වෙලාවට දුර පළාත්වල ගිහින් රඟපාන්න තිබෙන චරිත වුණත් භාර ගන්න අමාරු අවස්ථා තිබෙනවා. කොහොමත් අපි කාලෙත් එක්ක චරිත තෝරා බේරා ගැනීමකට යා යුතුයි කියලා මම හිතනවා.

රංගන ශිල්පියෙක් වගේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණියක් විදිහට සැලෝන් එකේ වැඩකටයුතු කොහොමද?
මේ ටිකේ සැලෝන් එකේ වැඩවලටම මුල් තැන දීලා කිව්වොත් හරි. මම කාලයක් සැලෝන් එක චුට්ටක් අමතක කරලා රඟපාන වැඩවලට මුල්තැන දුන්නා. දැන් මම හිතනවා නැවත වරක් මම සැලෝන් එකේ වැඩවලට මුල්තැන දුන්නොත් හොඳයි කියලා. ඒ නිසා ඒ වැඩවලට වැඩිපුර කාලයක් යොදවලා තිබෙනවා. ලබන ජනවාරි වෙනකොට නුගේගොඩ මගේ සැලෝන් එක අලුත් විදිහට පටන් ගන්නත් රාගම අලුත් ශාඛාවක් ආරම්භ කරන්නත් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

දියණිවරුන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ජනප්‍රිය චරිතයක් විදිහට කොහොමද ජීවිතේ ගත වෙන්නේ?
දුවලා දෙන්නම තාම ඉගෙනගන්නවා. ඒ අයනම් කලාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. මම හැමවෙලාවෙම ඒගොල්ලො වෙනුවෙන් කාලය වෙන්කර ගන්නවා. කොයිතරම් කාර්ය බහුල වුණත් අම්මා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කාලය වෙන්කර ගත යුතුයි සහ දරුවෝ වෙනුවෙන් කැප විය යුතුයි.

වෙනස් වෙන විලාසිතා ලෝකයේ තමන්ට ගැළපෙන විලාසිතා තෝරගන්නේ කොහොමද?
විලාසිතා කියන්නේ කාන්තාවන්ට විතරක් නෙවේ. පිරිමින්ටත් එක හා සමාන්‍ය දෙයක්. නමුත් තමන්ට ගැළපෙන විලාසිතා ගැන හැමෝම අවධානය යොමු කරන්න ඕන. මමත් විලාසිතාවලට බොහෝම කැමැති කෙනෙක්. ඒ නිසාම වෙනස් විදිහේ ඇඳුම් පැලඳුම්වලට මම ගොඩක් යොමුවෙනවා. විලාසිතාවලින් ඕනම කෙනෙක්ව ලස්සන කරන්න පුළුවන්. විශේෂයෙන් මගේ ක්ෂේත්‍රයන් දෙකම විලාසිතාවලට සම්බන්ධ නිසා මට ගැළපෙන විලාසිතාවලට යන්න මම හැමවිටම උත්සාහ ගන්නවා.

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණියක් විදිහට ඉදිරියේ ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය මොනවගේ පැතිකඩකට යයි කියලද හිතන්නේ?
දැනටමත් ලංකාවේ ඉස්සරට වඩා රූපලාවණ්‍ය පිළිබඳව හැමෝගේම අවධානය යොමුවෙලා තිබෙනවා. තම තමන්ගේ පෞද්ගලික රූපලාවණ්‍ය පිළිබඳව හොඳ දැනුමක් ඔවුන්ට තිබෙනවා. සමාජයක් හැටියට, රටක් හැටියට මේ ප්‍රවණතාව ඉතා හොඳ දෙයක්. හැමෝම ලස්සනට සුන්දරව ඉන්න දන්නවා කියන එක බොහොම වටින දෙයක්. දැනටත් ලංකාවේ තරුණ පිරිසෙන් සියයට 90ක් විතර රූපලාවණ්‍ය පිළිබඳව හිතනවා. ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් වැඩිවෙයි. අනිත් දේ තමයි දැන් ගොඩක් අය රූපලාවණ්‍ය ඉගෙන ගන්නවා. ඒ දේවල් අත්හදා බලනවා. ඒවා අනිත් අයත් එක්ක බෙදාහදා ගන්නවා. ඒ තුළින් කොහෙට ගියත් රැකියාවකට යන කෙනෙක් වුණත් පන්ති යන දරුවෙක් වුණත් කොණ්ඩෙ ලස්සනට පීරලා පිළිවෙළකට යන්න ඉගෙන ගන්නවා. ඒ දේ හරි වටිනවා. මම හිතන්නේ රූපලාවණ්‍ය හැම විටම පිළිවෙළ සමග එකතු වෙලා තිබිය යුතුයි.

ලොකු දරුවො දෙන්නෙක්ගේ අම්ම කෙනෙක් විදිහට තාමත් ලස්සනට ඉන්නේ කොහොමද?
මට මොනතරම් වැඩ කටයුතු තිබුණත් මම මං ගැන හිතන්න ඒ වෙනුවෙන් කාලය යොදන්න කොයිවෙ‍ලේවත් ආපස්සට යන්නෙ නැහැ. මම බොහොම කැමැත්තෙන් මගේ රූපලාවණ්‍ය කටයුතු කරනවා. හැම විටම හිනාවෙලා සතුටින් ඉන්න එකත් මම ලස්සනට ඉන්න එකත් මම ලස්සනට ඉන්න එකේ රහසක් තමයි. වස විසවලින් තොර හොඳ දේවල් ආහාරයට ගන්න හැමවිටම උනන්දු වෙනවා.

ජීවිතේ විවිධ බාධක අභියෝග මැද ආපු මේ ගමන ගැන නැවත හැරී බලනකොට මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. මම අඩු වයසින් විවාහවෙලා අඩු වයසින් ගොඩක් අත්දැකීම් ලබපු කෙනෙක්. මේ වෙනකොට මගේ ක්ෂේත්‍රයන් දෙකේම හොඳ තැනකට එන්න මට පුළුවන් වෙලා තිබෙනවා. රඟපෑම චුට්ටක් මගහැරුණා වගෙත් දැනෙනවා. නමුත් මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මට ලොකු හීන නැහැ. මට ලැබිලා තියෙන දේ ගැන මම ගොඩක් සතුටු වෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!