Gossip

“මමත් හිටියේ ශානිකාගෙන් කොයි මොහොතේ ගැලවෙන්නද කියලා” අසේලගේ පෙම්වතිය එක්ක පෙමින් වෙලුනු මිතුරා හෝටලයේදී අතටම මාට්ටු

අසේල බෙන්තොට හෝටලයක හිමිකරුවෙකි. ඔහු විවාහ වී සිටියේ විදේශීය කාන්තාවක් සමඟය.
ඇය මාස දෙක තුනකට සැරයක් ලංකාවට පැමිණියාය. ඒ ස්විස් රටේ සිටය. බිරිය විදේශික කාන්තාවක වුවද ඔහු මේ රටේ සිංහල යුවතියක සමඟ පෙමින් වෙළී සිටියේය.
ඇය නවාතැන් ගත්තේ ද අසේලගේ හෝටල් කාමරයකය.
දෙදෙනා අඹුසැමියන් ලෙස මෙරට ජීවත් වූ අතර අසේලගේ බිරිය මෙරට පැමිණෙද්දී අසේල සිය අනියම් පෙම්වතිය වෙන කොහේ හෝ හෝටලයක නතර කරන්නේ සිය බිරියට ඒ වග නොදැනෙන්නටය.
අසේල මගේ මිතුරකු නොවුණත් අසේලත් මාත් අතර මිතුරුදමක් ඇති වුයේ ඔහුගේ සිංහල පෙම්වතිය නිසාය.
ඒක ලොකු කතාවකි. මෙහි අවසානය වූයේ ඇය අද මගේ පෙම්වතිය වීමය. මෙය කාටත් විශ්වාස කළ නොහැක්කක් වුවද අපේ කතාවේ ඇත්ත එය බව දන්නේ අපි දෙතුන්දෙනා පමණකි.
ශානිකා කොළඹ හැදුණු වැඩුණු කෙල්ලකි. සල්ලිකාරියකි. ඇය සිය පියා හා සොහොයුරන් සමඟ බෙන්තොටට ආවේ විනෝද වීමටය. ඇගේ එක් සොහොයුරකු ගඟේ බෝට්ටු පැදීමට දැඩි ආශාවක් දැක් වූ අයකු නිසා නිවාඩු දිනවල ඔවූහු බෙන්තොටට එති.
නතර වන්නේ අසේලගේ හෝටලයේ ය. එය පිහිටා ඇත්තේ බෙන්තොට ගඟ මායිමේය. එය මනරම් පරිසරයකි.
මාසයට දෙතුන් වතාවක් එන මේ පිරිස හෝටල් හිමි අසේල සමඟ පැවැත්වූයේ දැඩි හිතවත්කමකි.
අසේල ද ඔවුන්ගේ හොඳම හිතවතෙක් විය. සමහරදාට අසේල ඔවුන්ගෙන් මුදල් ගන්නේ ද නැත. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අසේලත් ශානිකාත් හොර රහසේ පෙම්වතුන් වීමය.
ඒත් ඇය සමඟ එළිපිට පෙම්කිරීමට අසේලට බාධාවක් තිබිණි.
ඒ ඔහුගේ විදේශීය බිරිය නිසාය. ඇය ස්විස් ජාතික කාන්තාවක්වූ ජෙස්මින්ය. ඇය ද විනෝදයට බර ගැහැනියකි.
අසේල මෙන්ම ජෙස්මින් සමඟ ද ශානිකා හිතවත් වූවාය. ඒත් තම සැමියා අසේලත් ශානිකාත් අතර සම්බන්ධයක් ඇති බව ජෙස්මින් සිතුවේ නැත. ඇය සති කිහිපයක් අසේලගේ හෝටලයේ නතරව සිට යළි සිය රටට යන්නීය.
අසේලගේ හෝටලය හදන්නට සම්පූර්ණයෙන්ම වියදම් කර ඇත්තේ ජෙස්මින්ය.
අසේලට ඇය හමු වී ඇත්තේ බෙන්තොට වෙරළේ ඇවිදිමින් සිටියදීය. ඒ කාලයේ අසේලට රැකියාවක් තිබී නැත.
වැල්ලේ හැදුණු වැඩුණු ඔහු වැල්ලට එන සුද්දන් සුද්දියන්ට නොයෙකුත් උදව් කළ “බීච් බෝයි” කෙනෙකි. අවසානයේ අසේලගේ කළු පැහැගැන්වූ සිරුරට වහ වැටුණු ජෙස්මින් ඔහු සමඟ පෙමින් වෙළී පසුව හෝටලයක් තනා ගන්නට අසේලට උදව් කළාය. අද අසේල කොටිපතියෙකි.
කාලයාගේ ඇවෑමෙන් පෙම්වතුන් වූ ඔවූහු මෙරටදී විවාහ වූහ. ඇය අසේල තම රටට රැගෙන ගියාය. ඒ විවාහය කිසිදු අකරතැබ්බයකින් තොරව පවත්වාගෙන ගියද අසේලගේ ජීවිතයට ශානිකා සම්බන්ධවීමත් සමඟ නොයෙකුත් ප්‍රශ්න ඇති විය.. ඒ අසේල විවාහකයකු බව ශානිකා දැන ගත්දා සිටය.
මිතුරන් දෙතුන් දෙනකු සමඟ මා අසේලගේ හෝටලයට යන්නේ ඔය අතරය. ආගන්තුකයන් වූ අපට අසේල උදව් කළේය. එලෙස ගොඩනැගුණු මිතුරුදම සමහරදාට අවසන් වන්නේ මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වීමෙන් ද අනතුරුවය. අසේල මට ශානිකා හඳුන්වාදුන්නේ එවන් දිනකදීය.
මධුවිතෙන් හෙම්බත්ව සිටි මට ඇය පෙනුණේ කිසිදාක නොදුටු යුවතියක් ලෙසය. එදා අපි හඳුනාගත්තෙමු. ඇය ගැන කිසියම් ආදරයක් මා යටි සිතේ ඉපදුණේ එදාය. ඒත් මම ඇය අසේලගේ පෙම්වතිය බව දැන සිටියෙමි.
එදා පටන් මම මගේ මිතුරෝ දෙතුන් දෙනා ද සමඟ කිහිප වතාවක්ම බෙන්තොට ගියහ. ඒ බෝට්ටු සවාරි සඳහා වුවද මගේ යටි සිත තුළ තිබුණේ ශානිකා දැක ගැනීමේ ආශාවය.
සමහරදාට අසේල “බෝට් යාඩ්” එකේ සිටියේ නැත. ඔහු කිසියම් වැඩක් සඳහා හෝටලයෙන් පිටව ගොස් සිටියේය. එදාට මාත් ශානිකාත් ඇති තරම් සතුටු වූයෙමු. අපේ ආදරය ගලා ගියේ අසේලට හොර රහසේය.
“අසේල අපේ සම්බන්ධය දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙයි නේද?”
මම දවසක් ඇගෙන් ඇසුවෙමි.
“ඇයි ඒ. එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”
“ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයා අසේලගේ ගර්ල් ෆ්රෙන්ඩ්නේ.”
“ගර්ල් වුණාට මම එයාගේ වයිෆ් නෙමේනේ…..”
ඇය කීවේ එවන් කතාවක්ය. ඇය කියන දේ ඇත්තය. ඒත් මගේ යටි සිත කියන්නේ මා කරන්නේ වැරැද්දක් බවය.
කොයි මොහොතේ හෝ අසේල මේ බව දැනගනු ඇත. එදාට කුමකින් කුමක් වේ දැයි සිතා ගත නොහැක. කෙසේ වෙතත් අපි දෙදෙනාගේ ආදරය කෙමෙන් කෙමෙන් දලුලා වැඩිණ. ඇයට මාත් මට ඇයත් නොදැක සිටිය නොහැකි තත්ත්වයට අපි දෙදෙනාම පත්වූණෙමු. අපි දෙදෙනා පැය ගණන් ජංගම දුරකථනය ඔස්සේ කතාබහ කළෙමු.
“දැන්නම් මට අසේල එපා වෙලා තියෙන්නේ.”
“එහෙම කියන්න එපා ඔයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ්නේ.”
“ඒ එදානේ….. අද මම ඔයාගෙනේ…..”
පෙම්බස් දෙඩුවද අපි කවදා හෝ එකට ජීවත් වෙමු කියා ඇය මට කියා නැත. මම ද එසේ ඇයට පවසා නැත්තෙමි. අසේල නැති දවසට හෝටලයේ සියලු කළමනාකාර කටයුතු සිදුකරන්නේ ඇයයි. ඒ නිසා බියක් සැකක් නැතිව අපි හෝටලය තුළ රිසිසේ හැසිරුණෙමු.
කාලය මෙසේ වේගයෙන් පියඹා ගියේය. එදා සති අන්ත දිනයක් විය. අසේල හෝටලේ නොසිටි බැවින් මාත් ශානිකාත් සිටියේ හෝටල් කාමරයක් තුළය. එකපාරටම අප කාමරයේ දොර විවර විය. අසේල දොර අසල සිටගෙන සිටී. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
“හායි අසේල. දැන්ද ආවේ.”
ශානිකා බියක් සැකක් නැතිව අසේලගෙන් විමසුවාය. ඒත් අසේල ඊට පිළිතුරක් දුන්නේ නැත. ඔහු ඇය දෙසත් මා දෙසත් බලයි. කුමකින් කුමක් වේද. මා සිත දෙගිඩියාවෙන් පෙළෙයි.
“ගණන් ගන්න එපා”
ඇය හීන් සීරුවේ මිමිනුවාය.
“යමු පහළට”
ඇය මට ආරාධනා කළාය. ඇගේ ආරාධනාව පිළිගත් මම ඇය පසුපසින් උඩුමහලේ පඩිපෙළ බැසගත්තෙමි. පහළ සාලයේ අසේල මේසයක් මත තම දෙපා තබාගෙන සිගරැට්ටුවක් දල්වාගෙන සිටී. අසේලට මුහුණ දීමට තරම් ශක්තියක් මා සිත තුළ නැත. ඒත් ඇය ඊට වඩා එඩිතරය.
“සිට්”
අසේල අත පෙන්වා ඇයට වාඩි වෙන්නට කීවේය. ඇය වාඩිලා ගනිද්දී මම ද තවත් පුටුවකට බර වුයෙමි.
“අපිට කෝපි එකක් ගේන්න.”
කිසිවක් නොවූවාක් මෙන් අසේල ඇයට කීවේය. ඇය වහා නැගිට ගියේ කෝපි ගේන්නය. ඉන් අනතුරුව අසේල මා දෙස බැලුවේය.
“ගනින් සිගරැට් එකක්”
“මම සිගරැට් බොන්නේ නැහැනේ”
“එහෙනම් ෂොට් එකක්”
මම එතැන තිබූ වොඩ්කා බෝතලයෙන් බිඳක් වීදුරුවට දමා ගත්තෙමි.
“චියර්ස්”
අත තිබූ වීදුරුව මගේ වීදුරුවේ වද්දමින් අසේල කීවේය.
“කොහොමහරි උඹ මගේ කෙල්ල අල්ල ගත්තා නේද?”
අසේල මා දෙස බලමින් කීවේ හිනා වෙමින්ය.
“එහෙම දෙයක් නෑ”
“මල්ලි මේ බයිල ගහන්න එපා.
මට කරකියා ගන්නට දෙයක් නැත.
“සොරි අසේල අයියා…..”
අවසානයේ මම එසේ කීවෙමි. අසේල මගේ පිටටද තට්ටුවක් දමා එතැනින් නැගිට්ටේ වීදුරුවට තවත් වොඩ්කා ටිකක් වත්කර ගනිමින්ය.
“ඒකි හොඳ කෙල්ල….. හොඳට බලාගනින්.”
මම ඔහු කියන දේ අසා සිටියෙමි. ඒ හැරෙන්නට මට කළ හැකි දෙයක් ද නොවීය.
“ඒකිට හොඳ කොල්ලෙක් හම්බවුණ එකට මටත් හරි සතුටුයි. අද අපි හොඳට බොමු”
“ඒ ඇයි අසේල අයියේ.”
“නෑ ශානිකාට හොඳ කොල්ලෙක් හම්බවුණානේ.”
“ඒ කිව්වේ. මට තේරෙන්නේ නැහැ.”
“මමත් හිටියේ ශානිකාගෙන් කොයි මොහොතේ ගැල වෙන්නද කියලා. උඹ
ඒක අද ඉෂ්ට කළා. දැන් ඉතින් මම නිදහස්.”
අසේල කියන්නේ දැඩි සතුටකිනි. මට ඒ සතුට ගැන සිතාගන්නට බැරි තරම්ය.
“මම උඹට ඇත්තම කියන්නම්. මට වයිෆ් කෙනෙක් ඉන්නවනේ. අපේ වයිෆ්ටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුණේ. දැන් ඒ සේරම හරි. උඹලට ඕන වෙලාවක මගේ හෝටලයේ දොරවල්
ඇරලා හොඳට එන්ජෝයි කරපන්……”
මට අසේලගේ කතාව අදහාගන්නටත් බැරි තරම්ය. වැටුණේ මරඋගුලකවත්ද? මම එසේ සිතුවෙමි. ශානිකා මට ආදෙර්ය, මමත් ඇයට හදපත්ලෙන්ම ආදරය කරමි. අපගේ කතාව අතරට ශානිකා කෝපි ද රැගෙන ආවාය. අසුනෙන් නැගිටගත් අසේල ශානිකාගේ අතට අත දුන්නේය.
“ගුඩ්ලක්”
ශානිකාද ඊට පුදුම වූයේ නැත.
“තෑන්ක්යූ”
ශානිකා ඔහුට සිනහමුසු මුහුණින් පිළිතුරු දුන්නාය. වන්නට යන්නේ කුමක්දැයි මට නොතේරිණි. දෙන්නාම එකතුවී මා අමාරුවේ දැම්මාදැයි මට සිතිණි.
“ශානිකා අදින් පස්සේ ඔයා මෙයාගේ”
මා දෙසට ඇඟිලි දිගුකරමින් අසේල ශානිකාට කීවේය. ශානිකා ඊට ලස්සන හිනාවක් පෑවාය.
“මම දන්නවා කවදහරි මෙහෙම වෙනවා කියාලා” ශානිකා කීවාය.
“මමත් දන්නවා ඔයා කවදහරි මාව දාල යනවා කියලා.” අසේල කීවේය.
“හරි දැන් ප්‍රශ්නෙ ඉවරයි. මේ හෝටලේ ඕනම තැනක් ඔයාලට ඕපන්. ඉස්සර විදිහට ඔයා මේක බලාගන්න ඕන. මල්ලි උඹට ඕන වෙලාවක මෙහෙ යන්න එන්න පුළුවන්. අපි ජීවත්වෙන්නේ දුක් විඳින්න නෙමේ. එන්ජෝයි කරන්න. ජීවිතේ පුළුවන් තරම් එන්ජෝයි කරන්න. ඒක තමයි ජීවිතේ කියන්නේ.”
මට අසේලව තේරුම් ගැනීමට නොහැකිය. මම ඔවුන් දෙස බලා සිටියෙමි. අප දෙදෙනාට සුබපතා අසේල එතැනින් නැගිට ගියේය. ඒ ඇසිල්ලෙන් ශානිකා මා වෙතට ආවාය.
“දැන් හරිනේ, බයවෙන්න දෙයක් නෑනේ.”
ඇය එසේ කියද්දී මම හිස සොලවා එය පිළිගතිමි.
“තාමත් ඔයා මට ආදරේද? “
“ඔව්. ඒත්.”
“ඇයි ඒත් කිව්වේ.”
“දැන් ඔයා එයාගේ ගර්ල් ෆෙ‍්‍රන්ඩ් නෙමේනේ. මගේ විතරමයි නේද?”
“සත්තකින්ම”
ශානිකා මගේ නළල සිපගත්තේ මහත් වූ සෙනෙහසකිනි. එදා ශානිකාත් මමත් අසේලත් ආහාර ගත්තේ එකටය. අප එදා තරම් සතුටු වූ දවසක් නැති තරම්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!