Gossip

මනුස්සකම තුට්ටුවකට මායිම් නොකර මුනිවරයෙකුගේ හදවත පළා ලක්ෂ 20ක් ඉල්ලූ නොමිනිස්සු – Photos

මේ සිද්ධිය වූයේ මෙයින් වසරකට පෙරය. එනම් 2018 වසරේ දෙසැම්බර් 28 වැනිදාය. ඒ සන්ධ්‍යාවේ මෙත්තානන්ද රූබසිංහට එකවරම ඇසුණේ විලාප හඬකි.
ඔහු කරමින් සිටි සියලු වැඩ පසෙකලා හඬ ආ දෙසට දිව ගියේය. ඒ දෙසට ගිය මෙත්තානන්ද දුටුවේ මුද්‍රණ යන්ත්‍ර කියාකරු වූ මුණසිංහගේ අත එම යන්ත්‍රයට හසුව ඇති අයුරුයි. “ අනේ සර් අත කපලා මැෂිම බේර ගන්න” යන්ත්‍රකරු විලාප නඟමින් කියන්නට විය. නමුදු මෙත්තානන්ද කියුවේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයකි. “ අතට මුකුත් කරන්න එපා. මැෂිම කපලා මෙයාගේ අත බේරලා දෙන්න” මෙත්තානන්ද කෑ ගසා කියන්නට වූයේය.
අවසානයේ අම්පාර රෝහලේ වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද සහ අවට පිරිස් සහ ගැරෙජ්වල සේවක පිරිස පැමිණ ඉතා අපහසුවෙන් පැය ගාණක මෙහෙයුමක් කර මැෂීම කෑල්ලේන් කෑල්ල කපා මුණසිංහගේ අත බේරාගන්නට ගත්හ.
මෙත්තානන්ද රූබසිංහ කියත්ම අපිට මතක් වෙන්නෙ තම කෝටියක් වටිනා මුද්‍රණ යන්ත්‍රය කපා දමා තම සේවකයාගේ අත බේරාගන්නට කටයුතු කළ ‘මුනිවර මිනිසාය’.
එම බෝසත් ක්‍රියාව මාධ්‍යට හැංගි තිබියදී මුලින්ම අනාවරණය කළේ සිළුමිණ පුවත්පතිනි.
එම සිදුවීමෙන් වසරක් පිරෙන මේ වසර අවසානයේදීද තරිඳු මුද්‍රණාලයේ සේවකයෝ වෙනදා මෙන්ම කාර්යයබහුලය.
තම ආයතනයට ලැබෙන මුද්‍රණ ඇණවුම ඉහළ ප්‍රමිතියෙන් නිසි වේලාවට ලබාදීමට මෙත්තානන්ද රූබසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් ඔහුගේ පුත් තරිදු රුබසිංහ ඇතුළු සේවක පිරිස දැඩි වෙහසක් ගනිමින් සිටිති.
මෙත්තානන්ද මහතාගේ මේසය මත තරිඳු මුද්‍රණාලයට ලැබු ජාතික මට්ටමේ සම්මානයේ සිට සම්මාන 20කට අධික ප්‍රමාණයකින් පිරි තිබේ. කොතරම් කාර්ය බහුල වූව ද කුමන ප්‍රශ්නය තිබුණ ද ඔහු අප පිළිගත්තේ සුපුරුදු සුහශීලි සිනහවෙනි.
“ඉතිං කොහොමද?” වසරකට පසු හමු වූ ඔහුගෙන් ඇසිමි. මම ආයේ බිංදුවෙන් පටන් අරන් ආයෙත් ගොඩ එන්න බලනවා”. යැයි කියා පවසන්නට වුවේය.
“මම මුණසිංහගේ අත බේරගන්න මැෂීම කැපුවාම මාස 06 විතර ව්‍යපාරය අඩාල වුණා. බිස්නස් ආපස්සට ගියා. බැංකු ණය හරියට ගෙවා ගන්න බැරි වුණා.
ව්‍යාපාරික ස්ථානයයි ගෙදර ඔප්පුවයි බැංකුවට තියලා තමයි මම ණය ගත්තේ. දැන් මගේ ඉඩම් පවරා ගන්න බැංකු වලින් සුදානමක් තියෙනවා.
ඒත් මම මේ වෙද්දි බැංකු වලට ණය තිබුණත් ඉතා හොදින් ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා. ලැබෙන විශාල ඇණවුමක් පවා නිසි වේලාවට දෙනවා. ඔහු දුක සඟවාගෙන සිනහවෙන් මුව සරසාගෙන පවසන්ට වූයේය.
කෝටියක් වටිනා මුද්‍රණ යන්ත්‍රය කෑල්ලෙන් කැල්ලට කැපු ඔහුට අවාසනයේ රක්ෂණ සමාගමද පස්ස හරවා ගත්තේය.
මුණසිංහගේ අත බේරාගැනීම සඳහා කළ සත්ක්‍රියාව බෙහෙවින් ඇගයු බැංකු කළමනාකරුවෙක් ඔහු දුන් චෙක්පත් ඔහුට නොදන්වා හරවා යවන්නට තරම් ආකාරුණික වූයේය. ඔහු කැඩුණ මුද්‍රණ යන්ත්‍රය හදන තෙක් ඉතිරි මුද්‍රණ යන්ත්‍ර උපයෝගි කොටගෙන කෙසේ හෝ තම සේවා දායකයන්ට හොඳ සේවාවක් ලබා දෙන්නට වෙහෙසෙන්නට වුවේය.
කපා දැමූ මුද්‍රණ යන්ත්‍රය ගොඩ ගන්නට මාස 06ක පමණ කාලයක් ගත වූ අතර ඒ වෙනුවෙන් වැය වූ මුදල රුපියල් ලක්ෂ තිස් පහකට වැඩිය. නමුදු නැවත අලුත්වැඩියා කළ ද යන්ත්‍රයේ වේගය පෙර මෙන් වේග ධාරිතාවයෙන් වැඩ කිරිමට අපහසුය. ඒත් මේ හිත හොද මිනිසාට ඒ ගැන වගේ වගක් නැත.
“මම ගමේ මනුස්සයෙක්. මිනිසුනගේ දුක දැනෙන මනුස්සයෙක්. මට මුණසිංහගෙ අත බේරගන්න ලැබුණනේ ඒ හොඳටෝම ඇති”.
රූබසිංහ මහතාගේ සත්ක්‍රියාව වෙනුවෙන් හිටපු ජනාධිපතිතුමා සහ හමුදාපතිතුමා “එකට සිටිමු” යන සම්මානය පිදූහ. එම සම්මානය හිමි වූයේ දෙදෙනෙකුට පමණි. ඊට අමතරව කම්කරු දෙපාර්තමේන්තුව විසින්ද මෙත්තානන්ද මහතා සම්මානයෙන් පුදනු ලැබීය. කාගේ කාගේත් ඇගයිම් , ගරු සම්මාන ආදියෙන් පිදුම් ලැබූවද අනුන් වෙනුවෙන් ව්‍යාපාරික ස්ථානයේ වටිනා සම්පත් කැප කළ ඔහු මුල්‍යමය පැත්තෙන් හිර වන්නට විය. “මාස 06ක් ආපස්සට ව්‍යාපාරය ගිය නිසා බැංකු ණය වාරික ගෙවන්ට නොහැකි වීම නිසා මාව හිර වුණා. යම් ස්ථාවරයකට එන්නට අපහසු වුණා.” රුබසිංහ මහතා පවසයි.
කෙසේ වුවත් කිසිදු ලෝභකමක් නැතිව මැෂින් එක කපා තම අත බේරාදීමට කටයුතු කිරීම වෙනුවෙන් මුණසිංහ නිතර තම ස්වාමියා අගයන්නට විය.
“සර් මට තාත්තා කෙනෙක් වාගේ අපරාදේ මම නිසා සර්ගේ මැෂීම කපන්නට වුණා.” එකල නිතර එසේ පැවැසු මුණසිංහ අද වන විට මෙත්තානන්ද රූබසිංහ මහතාගෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ඉල්ලා කම්කරු උසාවියේ නඩුවක්ද පවරා තිබේ.
බොහෝ මුද්‍රණාවල මේ ආකාරයෙන් අත යන්ත්‍රයට හසුවු පසු කරන්නේ යන්ත්‍රය කපා අත බේරාගැනිම නොව නැවතත් යන්ත්‍රය ආපස්සසට කරකවන එකය. එදා මෙත්තානන්ද ද එසේ කළේ නම් අද මුණසිංහට අතක් නැත.
මැෂිම ආපස්සට කැරකුවේ නම් එවිට අතෙන් ගන්නට දෙයක් නැත. එක්කෝ ජිවිතයම නැති වෙන්නට පුළුවන. එසේ නැති නම් උරහිස ළඟින් අත කපා දමන්නට සිදු වේ.
නමුත් කාරුණික සිතක් ඇති මිනිසා එසේ කළේ නැත. මුණසිංහ මැෂිම ආපස්සට කරකවන්න කියා කෑ ගසද්දි හිමිකරුගේ තීරණය වූයේ අත බේරාගැනීමට මැෂීම කපන ලෙසය. මහත් පරිශ්‍රයක් දරා මුදණ යන්ත්‍රය කෑල්ලෙන් කෑල්ල කැපීම සිදු වුයේ ඒ අනුවය.
එසේ කපද්දි යම් හෙයකින් මුද්‍රණ යන්ත්‍රය ඇතුළු ව්‍යාපාර ගොඩ නැගිල්ලම ගිනිගැනීමේ අවදානමක්ද තිබිණි.
ඒ සියලු අවධානය දරා ගෙන රූබසිංහ මහතා මුණසිංහගේ අත බේරාගන්නට කටයුතු කරන්නට වූයේ සිතේ පිරි ඉතිරි යන මනුස්සකම නිසාය. පාරේ වාහනයක හැපි ලේ ගලන මිනිසුන් මැරෙන්නට පණ අදිද්දි ඒ දෙස නොබලා අහක බලන් යන මිනිසුන් සිටිද්දි, ෆේස් බුක් දමන්නට ජායාරූප ගෙන තුවාලකරු මැරෙන්නට හරින සෙල්ෆි ගසන්නන් සිටින රටක මෙත්තානන්ද රූබසිංහ ඊට වඩා වෙනස් පුද්ගලයෙක් වූවේය.
ඔහු හදවතක් ඇති මිනිසෙක් විය. ඔහුගේ මනුස්සකම ගැන ලියන්නට එදා අප අවසර ගත්තේ බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුවය. තමන්ට ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවූ මෙත්තානන්දගේ මනුස්සකම ගැන රටට හෙළි කළේ අප පුවත්පතයි.
තම අත බේරාගන්නට මුද්‍රණාලයම අනතුරට දමාගෙන එයින් ද නොනැවැති අම්පාර රෝහලේ සිට නුවර රෝහලට ගෙන ගොස් වෙදකම් කිරීමට මුල් වූ ඒ සොදුරු මිනිසාට මුණසිංහ විරුද්ධව වුවේ ඇයි. විටෙක මුණසිංහ ගොඩපෙරකදෝරුවෙකුගේ වැරදි උපදෙසක් ගෙන වන්නට ද බැරි නැත. ඒ කුමක් වුවද තම අත බේරාදීමට මුල් වූ මිනිසාගේ මනුස්සකම තුට්ටුවකට මායිම් නොකරමින් ලක්ෂ 20 ඉල්ලා නඩුවක් දමා ඇත.
“මුණසිංහ ඒ වගේ දෙයක් කළා කියලා මම පොඩ්ඩක්වත් ඔහු සමඟ තරහා නැහැ. මම එදා මැෂීම කපලා මුණසිංහගේ අත බේරුවේ නැති නම් අද මට විරුද්ධව නඩු දාන්න මුණසිංහ ජීවත් වෙන්නේ නැහැ. මට ගොඩක් සතුටුයි මට විරුද්ධව නඩු දාන්න හරි ඔහු ජීවත් වුණ එක ගැන. ඔහුගේ අත උරහිසෙන් වෙන් නොකර ඔය තත්ත්වයෙන් හරි බේරගන්න ලැබුණ එක ගැන මට තියෙන්නේ සතුටක්. මම ඔහුගේ අත බේරාදෙන්න මට කළ හැකි සියලු දේ සිදු කළා. මේ වෙලේ මට මුණුසිංහට මුදල්වලින් උදව් කරන්න අමාරුයි. ඒත් මම මගේ ව්‍යාපාරය ගොඩ අරන් මුණසිංහට කරන්න පුළුවන් උදව්වක් කරනවා. ”
මෙත්තානන්ද පවසන්නේ සිනාමුසු මුහුණෙනි. මේ වන විට ඔහු ව්‍යාපාරය හොඳින් කරගෙන ගියද මාස 06 යන්ත්‍රය කැඩීම නිසා සිරවූ හිරවිල්ලෙන් ගෙවා ගැනීමට නොහැකි වූ බැංකු ණය ඉහළ ගොස් ඇත. ඒ ණය ගෙවා දමා ගොඩ ඒම මේ දිරිය මිනිසාගේ එකම අරමුණය.
“මම බිංදුවෙන් හරි පටන් ගන්නවා. කොහොම හරි ව්‍යාපාරය දියුණු කරනවා. මේ ව්‍යාපාරික ගොඩනැගිල්ලයි නිවෙසයි බැංකුවට සින්න වෙන්න දෙන්නේ නැහැ ”ඔහු පවසන්නේ අධිෂ්ඨානශීලිවය.
එකල මෙත්තානන්දගේ සත්ක්‍රියාව රට පුරා බොහෝ දෙනෙක් අගය කරන්නට වුහ. සුබ පතන්නට වුහ. එවකට කම්කරු ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු කතා කරන්නට වුහ. සම්මාන පුද කරන්නට වුහ. එහෙත් මෙ ව්‍යාපාරය ගොඩ නඟන්නනට නිසි ආකාරයෙන් වැඩපිළිවෙළක් රජයටවත් සමාජසේවා ආයතන වලටත් නැති වීම මෙත්තානන්ද වන් හිතහොඳ මිනිසුන්ගේ අවාසනාවකි. අඩුම තරමින් රජයේ එක් අමාත්‍යංශයකවත් මුද්‍රණ ඇණවුමක් ලබාදෙන්නට තරම් කිසිවෙක් කටයුතු නොකළහ. මෙත්තානන්ද කිසිවිටෙකත් මුදල් ඉල්ලා කිසිවෙකුටත් අත දික් කරන්න් නැත.
“ඒ දවස්වල මුහුණු පොතේ හිතවතුන් සල්ලි එකතු කරලා දෙන්න හැදුවා. මම එපා කිව්වා. මට එහෙම සල්ලි එපා. මම රජයෙන් හෝ සමාජ ආයතනයකින් ඉල්ලා සිටින්නේ මට පොලී නැතිව දිගු කාලීන ණයක් ලබා දෙන්න. මම ආයේ නැඟී සිටිනවා”
ඔහු පවසන්නේ හෙට ගැන තමන්ට ඇති විශ්වාසයෙනි.
පසුව ලියමි. – මේ වන විට නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමේ අරමුණින් ව්‍යාපාරිකයන් සඳහා සහන සැලසීමට ඉදිරිගාමි වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ එම සහන ලැබීමට සුදුසුම පුද්ගලයා සිටින්නේ අම්පාරේ යන්න අපේ හැඟීම වේ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!