Gossip

මගේ මුළු ලෝකම එයා තමයි – බය වෙන්න එපා! කිසිම කෙනෙකුගේ තැනක් තැනි කරන්නේ නැහැ – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක්. ඇය සමාජජාල මාධ්‍යයන් තුළින්ම වැඩි ජනප්‍රියත්වයක් ලබපු කෙනෙක්. ඒ වගේම ඇය ඇගේ පළමු සිනමා නිර්මාණයටත් දායක වුණා. ඒ වස්සානේ සඳ චිත්‍රපටයයි. කෙසේවෙතත් ඇය මේ ගැන වගේම ඇගේ අලුත් විස්තර ගැන සති අන්ත පුවත්පතක් හමුවේ අදහස් දක්වා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

ඔබේ පළමු සිනමා නිර්මාණය ගැන මුලින්ම කිව්වොත්?
‘වස්සානයේ සඳ’ කියන්නේ ඉතාමත් ලස්සන ආදර කතාවක්. ඒකට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මේ දිනවල බොහෝ සිනමා ශාලාවල චිත්‍රපටය තිරගත වෙනවා. මේ අවුරුද්දේ නැරඹිය යුතුම චිත්‍රපටයක් මේක. ආරාධනා කරනවා හැමෝම ඇවිල්ලා නරඹන්න කියලා.

පළමු සිනමා අත්දැකීම ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙකු යටතේ ලබා ගැනීමට හැකියාව ලැබීම ගැන ඔබේ අදහස?
උදයකාන්ත වර්ණසූරිය මහත්මයා ගත්තොත් චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ඉතාමත් ප්‍රවීණයෙක්. මම හරිම වාසනාවන්තයි මගේ පළමු චිත්‍රපටයට ඔහු වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙකු යටතේ රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වීම ගැන. විශේෂයෙන් කියන්න ඕන, මම චිත්‍රපට, ටෙලිනාට්‍ය කියන දේවල් නරඹලා නැති කෙනෙක්. ඉස්කෝලේ යන කාලයේදී ඉස්කෝලේ අක්කලා කිව්වා, ’ආසයි මං පියාඹන්න’ චිත්‍රපටය බලන්න යනවා. ඔයා එනවද කියලා ඇහැව්වා. මම කවදාවත් චිත්‍රපටයක් බලල තිබුණු කෙනෙක් නෙමෙයි. ඉතිං ඉස්කෝලේ හවස ක්ලාස් තියෙනවා කියලා ඉස්කෝලේ අක්කලා එක්ක හොරෙන් ගිහිල්ලා ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටය බැලුවා. ඉතිං ඒ කාලයේ ආසාවෙන් බලපු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකගේ චිත්‍රපටයක වැඩ කරන්න ලැබුණු එක ගැන මට ගොඩාක් සතුටුයි. ඒ ගැන මතක් වෙනකොට හරි සතුටුයි. කවදාවත් අපි හීනෙකින්වත් හිතන්නේ නැහැනේ.
ඉස්කෝලේ කාලේ හොරෙන් ගිහින් බලපු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂතුමාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය හම්බෙයි කියලා. අපි කරන හැමදේම පව්- පිං, අනුව තමයි ලැබෙන්නේ. ඉතිං මම හිතනවා ඒ අතින් මම වාසනාවන්තයි කියලා.

පළමු සිනමා නිර්මාණය සඳහා ලැබුණු අභියෝගය කොහොමද? අධිෂ්ඨානයක් තිබුණද මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා?
නැහැ. කිසිම ආකාරයකින් රංගනය ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. උදයකාන්ත වර්ණසූරිය මහතායි, ඔහුගේ බිරිඳයි මට කතා කරන කොට කිව්වේ, මට රඟපාන්න බැහැ. මම නිරූපිකාවක් කියලා. ඒ දෙන්නා තමයි තීරණය කළේ මට මේ දේ කරන්න පුළුවන් කියලා. මම හිතනවා මගේ චරිතයට මම සාධාරණයක් කළා කියලා.

චිත්‍රපටයේ රංගනයේ යෙදෙන හතරදෙනාම නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ අය නේද?
ඔව්, අපි හතර දෙනාම නිරූපණ ක්‍ෂේත්‍රය තුළ කටයුතු කරන අය. ඒ නිසා අපට හරිම ලේසි වුණා මෙහි වැඩකටයුතු කරන්න. අපි එක පවුලක්. ඒක මුලින්ම කියන්න ඕන. අපි හතරදෙනාගේ අතර කිසිම විදියේ තරගයක් තිබුණේ නැහැ. වෙන චිත්‍රපටවල නම් ‘අරයට වඩා මම හොඳට කරන්න ඕන’, ‘එයාට වඩා මට පුළුවන්’ කියල දේවල්නේ තියෙන්නේ. අපි හතර දෙනාම අලුත්. අනූජ් විතරයි චිත්‍රපටයක රඟපාලා තිබ්බේ. නිරූපණ ක්‍ෂේත්‍රය තුළ එකට කටයුතු කළාට මේ විදියට වැඩක් සඳහා එකතු වුණේ පළමු වතාවටයි. ඒ අත්දැකීම් ඉතා ඉහළයි. අපි හතර දෙනා සෙට් එකේදී උදයකාන්ත අයියට හරි වදයක් වුණා. අපි අපේ ලෝකවල. උදයකාන්ත අයියා කෑගහනවා හතර දෙනෙක් අරං පුදුම වදයක් තියෙන්නෙ. ඒ කාලය හරිම විනෝදයි. ඒ දේවල් මතක් වෙනකොටත් ගොඩක් සතුටුයි.

සැබෑ ජීවිතයේ දකින පියුමි නෙමෙයි චිත්‍රපටයේ චරිතය තුළින් දකින්නේ?
ගොඩක් අය වෙනස් කියන්නේ, පියුමි හංසමාලිව දකින්නේ ඇඳුමෙන්නේ. චිත්‍රපටයෙත් පියුමි හංසමාලිව වෙනස් වෙන්නේ ඇඳුමෙන්. ඒක මම රඟපෑවා නෙමෙයි. ඒක මට ලේසියෙන් කරගන්න පුළුවන් වුණා. මම ෆැෂන් කළාට ‘මිහිරි’ තරම් අහිංසක නැහැ. ගොඩක් අය විවේචනය කරලා තිබ්බා පියුමිට මේ දේ කරගන්න බැහැ කියලා. මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් කළා කියලා.

දැන් සිනමා නිර්මාණ සඳහා ආරාධනා එහෙමත් ලැබෙනවා ඇති නේද?
ආරාධනා නම් ගොඩයි. චිත්‍රපටය රිලීස් වෙන්නත් ඉස්සෙල්ලා චිත්‍රපටයේ ප්‍රචාරකපටය දැකලා මට ආරාධනා ගොඩක් ලැබුණා. නමුත් මගේ ප්ලෑන් එක වෙන්නේ සැලෝන් එකක් පටන් ගන්න එක. මේ වෙද්දි මම තවත් චිත්‍රපටය රූගත කිරීම් සිදු කරනවා. ඒ නිසා වැඩිය වැඩ බාර ගන්නේ නැහැ. මම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මට ඕන මගේ බබත් එක්ක කාලය ගත කරන්න. උදේ පාන්දර ෂූටින් ගියාම ආයේ ගෙදර එද්දි බබා නිදි. මගේ මුළු ලෝකම එයා තමයි. චිතප්‍රට, ටෙලිනාට්‍ය ගොඩක් බාරගෙන, කාර්යබහුල වෙලා මගේ නිදහස මම නැති කර ගන්නේ නැහැ. මට ෆේමස් වෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මොකද මගේ බබාට ඉන්නේ මම විතරයිනේ. ඒ නිසා මගේ හැම වේලාවක්ම එයත් එක්ක ගත කරන්න ඉන්න බලන්නේ. මගේ නිදහසත් එක්ක මගේ වැඩකටයුතු කර ගන්න පුළුවන් වුණොත් බාර ගන්නවා ඇරෙන්න නැතුව වැඩ බාර ගන්නේ නැහැ.

ඔබ ජැක්සන් ඇන්තනීත් සමග ඉන්දියානු චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වෙනවා නේද?
මුලින්ම කියන්න කැමැතියි ජැක්සන් ඇන්තනී වගේ ජ්‍යෙෂ්ඨයෙක්, ප්‍රවීණයෙක් එක්ක රඟපාන්න ලැබුණු එක තරම්ම වාසනාවක් නැහැ කියලා මම කියනවා. මොකද ඔහු චිත්‍රපට ක්‍ෂේත්‍රයේ වීරයෙක්. මට හරිම සතුටුයි ඔහුත් එක්ක රඟපාන්න ලැබුණු එක ගැන. කේරළාවල තමයි රූගත කිරීම් සිද්ධ වෙන්නේ. චිත්‍රපටයේ නම ‘ලක්නව්’. ඔහු චිත්‍රපටයේ මගේ සැමියා වෙලා ප්‍රධාන චරිතය රඟපාන්නේ. තව මාස දෙක තුනකින් එම චිත්‍රපටය බලන්න පුළුවන් වෙයි. ඒ චිත්‍රපටයේ පියුමි හංසමාලි හරිම වෙනස්. ඉතිං මම වෙනස කියන්නේ නැහැ. ගොඩක් අයට බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අහනවානේ ‘පියුමි හංසමාලි නිළියක්ද?’ කියන එක. මම කිසිම කෙනෙකුට උත්තර දෙන්න බැඳිලා නැහැ. ඉතිං ඒකට උත්තරයක් උදයකාන්ත වර්ණසූරිය මහත්මයා දුන්නා, සහ ඉන්දියාවෙන් මට ආරාධනා ලැබුණා. ගොඩක් අයගේ කටවල් වැහැන්න මේ ටිකම ඇති. ඉන්දියාවේ අය ලංකාවේ ගොඩක් නිළියන්ව මේ දෙයට තෝරලා තියෙනවා. ඉතිං නිළියෝ නැතුවට මාව ගත්තේ නැහැනේ. ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි මගේ රංගන හැකියාව.

එම චිත්‍රපටය නිර්මාණය වෙන්නේ කුමන භාෂාවකින්ද?
ඒක භාෂා තුනකින් නිර්මාණය වෙනවා. කේරළ, හින්දි සහ සිංහල භාෂා තුනෙන්ම නිර්මාණය වෙනවා. සිංහල භාෂාවේදී මගේ චරිතයට මමමයි හඬ දායකත්වය දෙන්නේ.

ඉදිරි බලාපොරොත්තු?
මගේ මේ අවුරුද්දේ ලොකු හීනයක් තියෙනවා. ඒ තමයි ‘මිසිස් වර්ල්ඩ් පැජන්ට්’ එකට යන්න. ඒක ගිය අවුරුද්දේ ඉඳන් ලොකු බලාපොරොත්තුවක්. ඊට අමතරව මගේ සැලෝන් එක ආරම්භ කරලා කිසිම කෙනෙකුට කරදරයක් නොවී ඉන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය බය වෙලා තියෙනවා මම චිත්‍රපට ක්‍ෂේත්‍රයට එයිද කියන කාරණය. ගොඩක් අය තැන්තැන්වල කතා වෙලා තියෙනවා. ‘බය වෙන්න එපා!, කිසිම කෙනෙකුගේ තැනක් තැනි කරන්නේ නැහැ. අවස්ථාවක් නැති කරන්නේ නැහැ’ කියනවා. ඒ අයට ලැබෙන අවස්ථා ඒ අයට ලැබෙයි. මට ලැබෙන අවස්ථාවන් ගොඩක් දුරට මම කරන්නේ නැති වෙයි. මට ඕන මගේ බබත් එක්ක නිදහසේ ජීවත් වෙන්න. අනිත් අය වගේ අනිත් කෙනෙක්ට ලැබෙන අවස්ථාවන් නැති කරලා මට ලබා ගන්න කෙනෙක් නෙමෙයි. මම හරිම පාඩුවේ ජීවත් වෙන කෙනෙක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!