Gossip

බීලා ඇවිත් ඇයට ගහන මිනිහෙක් කියලා ෆේස්බුක්වල ලිව්වා – දැන් සහකාරිය කරගන්න කෙනා මට මුණගැහිලා තියෙන්නේ – මධුමාධවගේ ඇත්ත

මධුමාධව අරවින්ද ගායකයෙක් විදියටත් දේශපාලඥයෙක් විදියටත් ජනතාවට අතරට ගිය කෙනෙක්. ඉතින් මධුමාධව ලොකු හීනයක් හැබෑ කරගෙන. ඒ හීනය ගැනයි ඔහුගේ ජීවිතය ගැනයි පුවත්පතක් හමුවේ අදහස් දක්වා තිබුණේ මේ විදියට.

ක්ෂේත්‍රයට ඇවිත් වසර 29ක් ගතවෙද්දී මධු ලොකු හීනයක් හැබෑ කරගත්තා නේද?
ඔව්. මගේ ගීතය සහ ‘මම ඇත්තක්’ පොත වෙනුවෙන් මම විශේෂ දවසක් සූදානම් කළා. මම පොත්වල කියවලා තිබ්බා සුරංගනා කතා. මට ආදරය කළ මිනිසුන් ගැහැනුන් මගේ ඇස් ඉස්සරහා ඔප්පු කළා එය. ඒක මට ජීවිතයට අමතක නොවන දෙවැනි ගමනක් ආරම්භ කරලා දුන්නා. මම ඉගෙන ගත්ත පාසලේ ආනන්ද කුලරත්න ශාලාවේ එතෙක් මෙතෙක් ආපු වැඩිම සෙනඟ පසුගිය 10 වැනි දා හිටියා. ශාලාවේ ඉඩ නැතිව හැරී ගිය මගේ හිතවතුනුත් දැක්කම මට හිතුණා මම ඇත්තක් කියලා.

ඔබ ‘මම ඇත්තක්’ පොත ලියනවා. මධු, ඇත්තක් කියලා ඔප්පු කරන්න මෙතරම් කල් ගත්තේ?
අපිට පටන් ගන්නකොටම සමහර දේවල් කියන්න බෑ. ඇත්තක් කියන්නේ ‘හරි’ කියන එක නෙවෙයි කියලා මට ඔප්පු කරන්න ඕන. ඇත්තක් කියන්නේ හොඳවීම නොවන බව ‘මම ඇත්තක්’ කියන පොත කියා දෙයි. තමන්ගේ චරිතය ඔසවා තැබීමක් නොවෙයි ඇත්තක් කියන්නේ. ‘මම ඇත්තක්’ කියන්නේ ඇත්තක්.

ඔබේ ජීවිතේ ඇත්ත කියන්න සුදුසුම කාලය මේකද?
ඇත්ත කියන්න ඕන ජීවිතයේ අත්දැකීම් සමග නැඟෙනවිට. බොහෝ මිනිස්සු නිදියන වෙලාවෙත් මම අවදියෙන්. මම අවුරුදු පහළොවේ ඉඳන් හන්දි හන්දි ගාණේ සින්දු කියපු කෙනෙක්. අවුරුදු පහළොවේදි අවුරුදු තිහේ අයට මචං කියපු කෙනෙක් මම. අවුරුදු හැත්තෑවෙ මචංලා වගේම අවුරුදු දහ අටේ මචංලා මට ඉන්නවා. අනෙක් සියලු දෙනා සුව නින්දේ ඉද්දී මම ජීවිතය හොයාගෙන පාරවල රස්තියාදු වුණා. අඩුවෙන් නිදාගත්තේ දියුණු වෙන්න නෙවෙයි. ජීවිතය කියන දේ හොයාගන්න. මිනිස්සු හදාගෙන තියෙන කොටු බැමි ඇතුළේ පරිස්සමට බලන්න හිතනවාට වඩා ලස්සන ලෝකයක් දකින්න පුළුවන් වෙයි.

ඔබේ ඇත්තම කතාවද ‘මම ඇත්තක්හි’ ලියලා තියෙන්නේ?
ලංකාවේ පළමු වතාවට ලේවලින් අස්සන් කර පොතක් පිරිනමපු පළමු අවස්ථාව තමයි මෙය. එහෙම කරන්න හේතුවක් තියෙනවා. අනෙක් අය දකුණට හැරෙද්දි මම වමට හැරෙන්න හිතන කෙනෙක්. මම කරන දේවල් ගොඩක් අය විවේචනය කළත් එය මුලින් කළේ මම. පාර පෙන්වන්න තමයි මම ඒ දේ කළේ. ඊට පස්සේ මට වඩා හොඳින් තව කෙනෙක්ට ඒ පාරේ යන්න පුළුවන්. මගේ පොත රුධිරයෙන් අස්සන් කර පිරිනැමුවේ. ඒක තමයි මට දෙන්න පුළුවන් එකම සාක්ෂිය. මට මගේ ලේ එක්ක සෙල්ලම් කරන්න බෑ. ලේවලින් අස්සන් තබන්න පුළුවන් වෙන්නේ ඒ තුළ බොරුවක් නැති නිසා.

ඔබ සුදු චරිතයක් කියලා පෙන්වන්න ඕන වුණේ නැද්ද?
කවුරුත් සුදු චරිත නෙවෙයි. මම පෞද්ගලිකව සුදු චරිත ආශ්‍රය කරන්න කැමැතිත් නැහැ. සමහර සුදු ඇන්ද මිනිස්සුන්ගේ කළු, කළු ඇන්ද මිනිස්සුන්ගේ සුදුවලට වඩා වැඩියි. වැරැදි නොකරපු, නොකිලිටි බොහොම පවිත්‍ර කියලා දෙයක් කොහෙවත් තියෙන්න බැහැ. පොඩි කාලේ ඉඳන් අපිට වැරදුණු බව අමතක කරන්න නරකයි. ලොකු වුණාම ඒක වහගන්න හදන උත්සාහය බොරුවක්. අපි වැටුණොත් වැටුණා කියමු. නැඟිට්ටොත් නැඟිට්ටා කියමු. වැරදුණොත් වැරදුණා කියමු. ‘ඇත්ත’ කියන සංකල්පය මම ගෙනාවේ හැම ක්ෂේත්‍රයෙම ඉහළට යෑමේ වුවමනාවට මිනිස්සු බොරු කරමින් ඉන්නවා. මම ඒකයි එය කුඩුපට්ටම් කළේ. මම බය නැහැ. ඇත්ත කියද්දි බය කියන දේ හිතින් යනවා. හොඳට නින්දත් යනවා.

ජීවිතයේ හරිගිය තැන් වගේම වැරදුණු තැන් තියෙනවානේ. ජීවිතේ වැරදුණු දේවල් ඔබේ ජීවිතයේ ආයේ ආයෙත් සිදුවන එකක් නැද්ද?
මම ඇත්තක් කියනවා. මම මේ කරපු ටික මේ විදියටම කරනවා. මොකද මේක තමයි මම ආසම විදිය. මම කාමරය අස්පස් කරලා එද්දි ඇඳට ගහලා එන්නේ ඉරක් යන්න. රැල්ලක් නැති ඇද කුද නැති දෙයක් මට කොහොමත් හරියන්නේ නෑ. නමුත් මට මුද්‍රාවක් දෙන්න පුළුවන් දවසක් එනවා. එය ‘මම ඇත්තක්’ පොතෙත් සඳහන් වෙනවා.

මොකක්ද ඒ දවස?
මම කිසිම දවසක වරද්ද ගන්නෙ නෑ කියන දවස තමයි එදා. එදායින් පස්සෙ කිසිම කෙනෙක්ට මගේ වරදක් දකින්න බැහැ. රුපියල් හත්දාහකට මම බුක් කරලා තියෙනවා රටඅඹ ලෑලි පෙට්ටියක්. එතන තිබ්බ ළාබම පෙට්ටිය මම බුක් කළේ. මගේ අවසාන කැමැති පත්‍රයත් මේ පොතේ තියෙනවා. සමහරු මගෙන් අහනවා ඔබ මරණයට කැප වෙලා ජීවත් වෙනවද කියලා. මාව දැක්ක ඕන කෙනෙක්ට තේරෙනවා මම බොහොම සතුටින් ජීවත් වෙන කෙනෙක් කියලා. නමුත් මැරෙන බව දැනගෙන හිටපු නිසා අනෙක් අය විනෝද ගමන්, වන්දනා ගමන් යන්න විතරක් ලෑස්ති වෙද්දි මම අවසාන ගමනටත් සියලු දේ සකසාගෙන අදාළ දේ වෙන්කර හමාරයි. එදායින් පස්සේ නම් මගේ අතින් කිසිම වරදක් සිදුවන එකක් නෑ. එතකන් වැරැදි වෙයි.

මධු, දුව වෙනුවෙන් ගීතයක් ගායනා කරලා ඔබේ විශේෂ දවසේ බොහෝ දෙනෙක් සංවේදී කළා..?
මුළු හෝල් එකම සංවේදී වුණා. මට ප්‍රේක්ෂකයන් දිහා බලන්න බැරි නිසා තමයි ශාලාව පැත්තට පිටුපස හරවලා හිටියෙත්. ඒ වෙලාවේ මගේ මූණ ඒ අය දැක්කා නම් ඊට වඩා හඬයි.

දුව ඒ විශේෂ අවස්ථාවට ආවේ නැත්තේ, ඇය ඉදිරියේ මේ ඇත්ත කියන්න බැරිද..?
මේ පුංචි කතා නෙවෙයි. මහා බරපතළ කතා. සමහර වැඩිහිටියන්ටවත් මේවා ගළපගන්න බැහැ. ප්‍රිය බිරියකට ලෝකේ ඉන්න හොඳම අම්මාය කියපු කෙනාට සමහරු ගල් ගැහුවා. ඒවා මට සනීපෙට දැනුණා. පණ අදිනකොට පණ දෙන්න දුවපු මිනිහා බීලා ඇවිත් ඇයට ගහන මිනිහෙක් කියලා සමහරු ෆේස්බුක්වල ලියද්දී එදා පණ දුන්න මගේ හිත තව හයිය වුණා. දැන් මම ගොඩක් හයියයි. ඒකයි මම කිව්වේ මම ඇත්තක් කියලා. පුළුවන් නම් වැරැදි නොකළ පළමුවැනි මිනිසා ගල් අරන් ගහන්න. මට රිදෙන්නේ නැහැ. ඔබේ අතේ ගැහැවෙන දුහුවිලි ගැන මම කනගාටු වෙනවා. ජීවිතය වෙනස් විදියට දකින මිනිහෙක් ජීවත් වුණා කියලා කවදාහරි මගෙනුත් සාක්ෂියක් ඕන. ඒකට ගත්ත උත්සාහය තමයි පිටු 160.

ජීවිතයේ ආපස්සට හැරෙයිද ඔබ..?
නැහැ. කවදාවත් ආපස්සට යන්නේ නෑ. මගේ ජීවිතයේ සතුට විතරයි. මගේ ජීවිතේ දුකත් මම උඩින්ම තියලා වන්දනා කරන කෙනෙක්. අමාරු කාලවල, නියඟ කාලවල, මළාමෙන් ඉන්න. අමාරුයි හුස්ම ගන්න. එතකොට වැටෙන පළමුවැනි වතුර බින්දුව අත්දෙකෙන්ම ගන්න පුළුවන්, මේ මගේ ජීවිතය වගේ. මම මැරුණා වගේ සමහර වෙලාවට ඉද්දී මිනිස්සු හිතුවා මම ඉවරයි කියලා. නමුත් මම නැඟිටිද්දී මිනිසුන්ට පේන්න ගන්නවා, මම මළා වගේ සිටිය නිසාම මේ මිනිහා ජීවත් වෙනවා කියලා.

“මම ඇත්තක්” කියලා ඔබේ ජිවිතය විකුණන්නද සූදානම?
මේකේ ඕපදූප ඇති කියලා මිනිස්සු මේ පොත ගන්නවට මම කැමැති නැහැ. ජූලි 01 වැනිදාට සංකේතාත්මකව මෙය එළි දක්වනවා. මේ පොතේ මිල රුපියල් පන්සීයයි. මේ පොත විකුණන සල්ලි මගේ පෞද්ගලික ජීවිතයට ගන්නේ නෑ. මම ඇත්තක් කියලා විකුණලා කන්න කැමැති කෙනෙක් නෙවෙයි. මේ මුදල්වලින් කරන දේ ගැන මම හිතමින් ඉන්නවා. පොතත්, ගීතයත් ජූලි 01 වැනිදා එළියට දාන ගමන් මම කියන්නම් ඇත්තටම මම මේ පොතෙන් කරන්නේ මොකක්ද කියලා. මිනිසුන්ට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් තැනකට ඒ මුදල් පරිත්‍යාග වෙයි.

ඔබ දෙවැනි ගමන ආරම්භ කරන්නේ ප්‍රේමණීය ගීතයකින්. මේ හැඩයද ඔබ ඉදිරියට ගෙනියන්නේ…?
මල් ගීතයකින් මම එළියට එන්නේ මල් වත්තකට ඇතුළු වෙන්න නෙවෙයි. මේ රට මල් වත්තක් පතන හින්දා. මගේ දෙවැනි ගීතයෙන් කපුගේ මහත්තයා නවත්තපු සමාජ මෙහෙවර කරන්න මගේ ජීවිතය අයින් කරනවා. මල් සින්දුවලට මම අකැමැති නැහැ. ඒවා ගයන්න ලස්සන මල්ලිලා, නංගිලා ඕන තරම් ඉන්නවා. ඊට එහා ගිය ඇත්ත ජීවිතය ගීතවලට අවශ්‍යයි. අවසානයේ අපි හුස්ම ගන්න ඕන අපේ ශරීරයේ. ඒක ඔය රෝස මල් යහනාවේ නැහැ. අපි ඒකේ ජීවත් වෙමු. පතමු. නමුත් ඇත්ත කතාවේ අපේ බැරිකම්, පුළුවන්කම් ගීත වෙන කාලයක් ආවොත් අපිට පුළුවන් වෙයි විවේචනය කරනවට වඩා සංගීත සුවය ලබමින් ඇත්ත ගැන මෙනෙහි කරන්න.

කාලයක් නිර්මාණ කටයුතුවලින් නිහඬ වෙලා හිටියනේ. අලුත් ආරම්භයත් එක්ක කලා කටයුතුවලට විරාම ලැබෙන එකක් නෑ නේද..?
මම දෙවැනි ගමන ආරම්භ කරනවා එන්න කියලා කිව්වම බොහෝ දෙනා ආවා. මට හම්බවුණ සියලු දෙනා අති විශේෂයි. ඒ හැම කෙනෙක්ම අත්දෙක එකතු කරලා මට කිව්වේ ආයෙත් ගයපන් කියලා. ඒක මට සතුටක්. ආයෙත් මගේ ගමන පටන් ගන්නවා.

ගායකයෙක්, ගී පද රචකයෙක් වුණු ඔබ හා හා පුරා කියලා රූප රචනා අධ්‍යක්ෂණයටත් යොමු වෙනවා ඔබේ අලුත්ම ගීතයෙන්?
ඒක මට මගේ තාත්තා දුන්න දෑවැදි දෙකෙන් දෙවැනි දෑවැද්ද. ඔහු මට කටහඬක් දුන්නා ‘සින්දු කියපන් පුතේ ජීවත් වෙන්න කියලා. මම ඒකෙන් තමයි සියලු දේ හොයාගත්තේ. ලෝකේ දිහා තුන්වැනි ඇහැකින් බලන්න. මිනිස්සුන්ගේ ලස්සන කැත ලෝබ නැතුව පෙන්වන්න තමයි අධ්‍යක්ෂවරයෙක් බිහි වෙන්න ඕන. මම ලෝබ කුහකකම් නැති කෙනෙක්. එහෙම කෙනෙක්ට කැමරාවකින් ලෝකය දකින්න අවස්ථාවක් ලැබීම භාග්‍යයක්.

ඔබේ රූප රචනා අධ්‍යක්ෂණ කාර්යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ වීඩියෝවේ අධ්‍යක්ෂණය ගැන බොහෝ දෙනා සතුටු වුණා. මේ බිහිවුණේ ලියන කෙනෙක්වත්, ගයන කෙනෙක්වත් නෙවෙයි. අධ්‍යක්ෂවරයෙක් වෙන්න සිහින මවන දරුවෙක්. ඒ කෙනා මොනවා කරයිද වරද්ද ගනියිද කියලා බලන්න මම ආරාධනා කරනවා. මගේ ගීතයෙන් මේ කටයුත්ත පටන් ගත්තේ වැරැදුණොත් වරදින්නේ මට නිසා.

‘වෙන් කළේ ඔයාව’ අලුත්ම ගීතයෙන් කියන්න හැදුවේ මධුගේ ජීවිතේ කොහේ හරි පැටලුණු දෙයක් ගැනද?
සමහර විට.

මධු තනිකඩ ජීවිතයට සමුදෙන්න සූදානම්ද..?
මම අවුරුදු තුනක් නිශ්ශබ්දව හිටියා. මම මැරුණේ නැහැ. මම සිංදු කරලා විෂුවල් කරලා පොත් ලියලා ඒ හැමදෙයක්ම පිටිපස්සේ තව ඇත්ත කතාවක් තියෙනවා. අරවින්ද යායේ යළි මල් පිපෙනවා. සහකාරිය කරගන්න කෙනා මට මුණගැහිලා තියෙන්නේ.

ඇය ගැන කිව්වොත් නරකද..?
ඇය ගැන විස්තර හරිම වෙලාවේ කියන්නම්. ඒ දවස එනකල් ඉමු.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!