Gossip

මගේ පෙම්වතාගේ නම දෙව්නක පෝරගේ – ජීවිතේ ගන්නා තීරණ හරි යන්නෙ නැති වෙන්න පුළුවන් – කාවින්ද්‍යා අධිකාරි

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ දැන් ගායිකාවක් විතරක් නෙවෙයි දැන් ඇය රංගන ශිල්පිණියක් විදියටත් කවුරුත් හඳුන්වනවා. ඒ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්‍ෂණයෙන් සහ ජනප‍්‍රිය රංගන ශිල්පී අර්ජුන් කමලනාත්ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”ඝරසරප” සිනමා නිර්මාණය නිසායි. අතුල සමිතා යුවළගේ දියණිය වන කවින්ධ්‍යා අධිකාරි මෙලෙසින් රංගනයට එක්වුණේ ප‍්‍රථම වතාවටයි. ඉතින් මේ හැමදේම ගැන ඇය සතිඅන්ත පුවත්පතක් සමග කළ කතාබහක් මේ.

‘කවින්ධ්‍යා’ කියන්න ද? ‘කවි’ කියන්න ද?
හැමෝම මාව අමතන්නෙ ‘කවි’ කියලයි. ඉතින් ඒ නිසා ‘කවි’ කියන්න.

‘කවි’ට කවි ලියන්න එහෙම බැරි ද?
බැහැනෙ. පාසලේදී විෂයන්ට අදාළව නම් කවි කිව්වා. ඉන්පසු සංගීතයේදී කවි ගායනා කර තිබෙනවා.

කවි ඉගෙන ගත්තෙ?
කොළඹ 07, බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්.

කවි ප‍්‍රථම වතාවට රඟපාන චිත‍්‍රපටය මේ දිනවල දැකගන්න පුළුවන්. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මම පාසල් කාලයේදිවත් රඟපාලා නැහැ. අපේ අම්මට ජයන්ත අංකල් කතා කරලා මේ චරිතයට මාව සුදුසුයි කිව්වලූ. ඉතින් ඒ වගේ නිර්මාණවේදියකු කතා කළාම ඒ ආරාධනාව ඉවත දමන්න හිතුණෙ නැහැ. ඒ අපූරු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න හිතුවා.

මෙහි ඔබ රඟපාන්නෙ ‘විද්‍යා’ නමැති චරිතයයි. ඒ ගැන කතා කරමු?
දමිළ දැරියකගෙ චරිතයක්. ‘විද්‍යා’ නමැති ඒ චරිතය වටා ගෙතුණු සුන්දර ආදර කතාවක්. මේක ඇත්තටම නිතර දකින්නට ලැබෙන ආදර කතාවක් නම් නෙවෙයි. වෙනස්ම විදියෙ ආදර කතාවක්. මෙහි රූගත කිරීම් සිදු කෙරුණෙ කළුතර සහ අනුරාධපුරයේදි. මාසයක් විතර මට රූගත කිරීම්වලට සහභාගී වීමට තිබුණා.

මුලින්ම සිනමා කැමරාව ඉදිරියට ගිහින් රඟපෑමට සිදුවූ ඒ මොහොත ගැන සිහිපත් කළොත්?
සත්තකින්ම බය හිතුණා. කලින් රඟපාලා තිබුණෙත් නැති නිසා පපුව ගැහෙන්න පටන් ගත්තා. නමුත් රූගත කිරීම්වලට පෙරදි ජයන්ත අංකල් වැඩමුළු එහෙම පැවැත්වුවා. ඒ දේවල් නිසාත්, සෑම දර්ශනයකට පෙර ජයන්ත අංකල් ලබාදුන් උපදෙස් නිසාත්, මට ටිකෙන්ටික බය නැතුව ගියා. මේ උපදෙස් සහ ගුරුහරුකම් නිසා තමයි චරිතය රඟපාන්න පුළුවන් වුණේ.

‘විද්‍යා’ ලෙස රඟපාද්දි ඔබ මුහුණ දුන් අමතක නොවන අවස්ථා මොනවා ද?
එක් වතාවකදි මට දෙබස් කියාගන්න බැරි වුණා. එය සමූහ දර්ශනයක්. ඒ වෙලාවෙ මට දුකට ඇඬෙන්න වගේ ආවා. නමුත් ජයන්ත අංකල් මාව දිරිගන්වා ඒ අසීරු අවස්ථාව සැහැල්ලූ කළා.

මෙම චිත‍්‍රපටයේ රඟපෑම ගැන අම්මා මොනව ද කිව්වෙ?
මම ඉන්නෙ අම්මා එක්කනෙ. ඉතින් තීරණවලදි මට උපදෙස් දී උදව් කරන්නෙ අම්මා. මෙතෙක් ඇය මට ලබාදුන් තීරණ, මගපෙන්වීම් නිසා මගේ ජීවිතයට බොහෝ හොඳ දේ තමයි වුණේ.

දැන් මෙතැන් සිට ‘කවි’ දිගටම රඟපාන්න ද කල්පනාව?
නැහැ, නැහැ. මම ඇත්තටම රඟපාන්න කැමැත්තෙන් හිටපු කෙනෙක් නෙවෙයි. ජයන්ත අංකල් වගේ නිර්මාණකරුවකු නිසා තමයි මේකට කැමැති වුණේ. ඉදිරියට කොහොම වේවි ද දන්නෙ නැහැ. තවම මම ඒ ගැන හිතලා නැහැ.

කෙහොම ද ගායන අංශයේ කටයුතු එහෙම?
සුපුරුදු විදියට ගායන අංශයේ කටයුතු කරගෙන යනවා. ‘පෙම් හීන’ මියුසික් වීඩියෝව ප‍්‍රථම වතාවට ඉදිරිපත් කළා. දෙනුවන් පෙරේරා, ඩුලිප් මිරැන්ඩෝ, ජගත් කරුණාජීව තමයි ඒ නිර්මාණයට මුල් වුණේ. දැන් මට මගේ දෙවැනි ගීතය නිර්මාණය කිරීමේ කාලය ඇවිත්. දැන් ඒ ගැන හිතනවා.

අද ඔබ වෘත්තියෙන්?
නිවේදිකාවක සහ ගායිකාවක කියනවාට කැමැතියි.

ජීවිතේ කොහොම ද?
සතුටින් ගෙවෙනවා.

එතකොට ආදරේ ගැනත් ඇහුවට කමක් නැද්ද?
ආදරය සුන්දරයි ඉතින්.

දැන් වයස කිව්වොත්?
මේ ජුලි 22ට අවුරුදු 22 සම්පූර්ණ වුණා.

ප්‍රේමය ගැන මොන වගේ උපදෙස් ද ඔබට ගෙදරින් ලැබිලා තියෙන්නේ?
තමුන්ට හරි කියලා හිතෙන හොඳ තීරණයක් ගන්න කියලා තමයි අම්මා නිතරම කියන්නෙ. හැමෝටම ජීවිතේ ගන්නා තීරණ හරි යන්නෙ නැති වෙන්න පුළුවන්. අපි හැමෝගෙම ජීවිතවල හැටි එහෙමයි. කොහේ හරි වැරදුණ තැනක් තියෙන්න පුළුවනි. ඒවායින් අත්දැකීම් සහ පාඩම් ඉගෙන ගෙන හොඳම දේ කිරීම තමයි වැදගත්. ජීවිතේ අතපසුවීම් වී නම්, එය නිරන්තරව කළ යුතු නැහැ. ඇත්තටම අම්මා මට මගේ ජීවිතයට මහා අරුතක් එක් කළ චරිතයක්.

‘කවි’ කොහොම කෙනෙක් ද?
හරිම සංවේදී චරිතයක්. පොඩිදේටත් දුක හිතෙන චරිතයක්. කරදරයකදි, උදව්වක් අවශ්‍ය මොහොතකදි, ඕනෑම වෙලාවක, ඕනෑම කෙනකුට උදව් කරන්න ඉදිරිපත්වන කෙනෙක්.

”ඝරසරප” චිත‍්‍රපටයේ ඔබගේ පෙම්වතා ගැනත් කියමු?
එයා දෙව්නක පෝරගේ. එයා රඟපාන්නෙ ‘සඳරැස්’ කියන චරිතය. ‘කවි, ඔයාට පුළුවන්’ කියලා සෑම අවස්ථාවකදීම මාව වඩා ධෛර්යයට පත්කළ අපූරු යාළුවෙක්.

‘කවි’ ඔබ ඔබගෙ අම්මගෙ ගී අතරින් වඩා කැමැතිම ගීය ගැනත් සඳහන් කළොත්?
අම්මාගෙ ගීත ඔක්කෝටම කැමැතියි. ඒ අතරින් ‘කලර්’ චිත‍්‍රපටය සඳහා සංඛ දිනෙත් එක්ක ගැයූ ‘ජීවිතේ ජීවිතේ’ ගීතයට වඩා කැමතියි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!