Gossip

“මගේ දරුවෝ මිනිහා පවා අතහැරලා මම තමුසේ එක්ක ආවා, පාතාල මැරයෙක් කියලා දැන දැනත් මම ආදරේ කළා”

අංගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන පාතාල කල්ලියකට නායකත්වය දුන් අංගොඩ ලොක්කා සහ නවගමුව රණාල ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිටි රණාලේ සමයං අතර කාලයක් තිස්සේ පවතින පාතාල යුද්ධය තවමත් අවසන් වී නොමැත.

රණාලේ සමයං මේ වනවිට ජීවතුන් අතර නැත. අංගොඩ ලොක්කා සිටින්නේ විදෙස් ගතව ය. එහෙත් මේ නරුමයන් දෙදෙනා පසුපස යමින් තම ජීවිත උකසට තබා සිටින පාතාල හෙන්චයියන්ගේ ගැටුම් තවමත් නිමා වී නොමැත.

ලෙයට ලෙයින් පලිගැනීමේ පාතාල න්‍යය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ පාතාල කල්ලි දෙක අතර පවතින යුද්ධයේ තවත් ප්‍රතිඵලයක් පසුගිය නොවැම්බර් 30 වැනි දා රාත්‍රියේ නිකුත් විය. අතුරුගිරිය නගර මධ්‍යයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය සුරූපිනියක වූ සඳුනි අංගොඩ ලොක්කාගේ කල්ලියේ කුලී ඝාතකයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත් වුණේ පාතල ලෝකයම කළඹවමින් ය. පාතාල නරුමයන් සමීප ව ඇසුරු කිරීම උන්ගේ පාතාල මිනිස් ඝාතන සඳහා ආධාර අනුබල ලබාදීමේ වරදට සඳුනිට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවීමට ය.

40 වැනි විය ඉක්මවා ගොස් තිබුණ ද, සඳුනි සුරූපී කාන්තාවක් වූවා ය. ඇගේ බාල දියණිය 05 වැනි වියේ පසුවන අතර වැඩිමල් පුත්‍රයා 07 වැනි වියේ පසු වේ. සඳුනිගේ සැමියා ඇය සමග එකට සිටිය ද ඔවුන් යහපත් පවුල් ජීවිතයක් ගත කළේ නැත.

සඳුනිට තම ආදරණීය දරුවන් දෙදෙනා සහ සැමියා ගැන සොයා බලනවාට වඩා වැඩ තිබූ නිසා මේ පවුල අතර නිතර පැවතියේ ගැටුම් ය. සඳුනි අතුරුගිරිය නගරයේ මහජන බැංකු ගොඩනැගිල්ල උඩුමහලේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගියා ය. සඳුනිගේ පවුලට හෙනහුරා කඩා පාත්වන්නට පටන් ගන්නේ මේ රූපලාවන්‍යාගාරය විවෘත කළ දා සිට ය.

අතුරුගිරිය අංගොඩ කොට්ටාව ප්‍රදේශය පුරා පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියේ අංගොඩ ලොක්කා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් විසින් ය. මහා පරිමාණ හෙරොයින් ජාවාරම කරගෙන ගිය අංගොඩ ලොක්කා ඇතුළු කල්ලිය ධනවත් පුද්ගලයන්ගෙන් මෙන් ම ව්‍යාපාරික ස්ථානවලින් ද ජයටම කප්පම් මුදල් ලබා ගත්හ.

පාතාල ලෝකයේ නරුමයන් ඇසුරු කිරීමට පාතාල කල්ලියක් සමග සබඳතාවක් ගොඩනගා ගැනීමට සඳුනිට පුංචි උණක් වැළඳී තිබිණි. සඳුනි පාතාල කල්ලි ප්‍රබලයකු වූ දමිත් දැන හඳුනා ගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඒ වනවිට දමිත් අංගොඩ ලොක්කාගේ කල්ලියේ දරුණු අපරාධකාරයකු බවට පත් ව සිටියේ ය. අංගොඩ ලොක්කාගේ සමීපතම සගයකු වූ ලඩියාගේ බාල සොහොයුරා වූ දමිත් සඳුනිගේ රූපලාවන්‍යාගාරය වෙත නිතර ආව ගිය පුද්ගලයෙකි.

ඒ දැන හඳුනා ගැනීම අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දක්වා දුරදිග යන්නට වැඩි කාලයක් ගත නොවුණි. සඳුනිට අවශ්‍ය වී තිබුණේ මේ පාතාල නරුමයන් ඇසුරෙන් තමන් වෙත මෙන්ම තම රූපලාවන්‍යාගාරයට කිසියම් ආරක්ෂාවක් ලබා ගැනීමට ය.

සඳුනි තම ආදරණීය දරුවන් දෙදෙනා මෙන්ම සැමියා ද අතහැර දමිත් නමැති පාතාල මැරයා සමග ජීවත්වන්නට පටන් ගත්තේ අනියම් ඇසුරේ රස තදින් දැනුණු නිසා ය. එහෙත් තමන් කෙමින් කෙමින් ජීවිතය කෙළවර කර ගැනීම එතැන් සිට ආරම්භ කරන බව ඇයට දැනුණේ නැත. ටනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා අංගොඩ ලොක්කාගේ සමීපතම සගයකු විය. දමිත් සහ බණ්ඩා අතර පැවතියේ ද කිට්ටු මිතුදමකි. දමිත් හරහා ගොඩනැඟුණු මිත්‍රත්වය නිසා බණ්ඩා ද සඳුනිගේ රූපලාවන්‍යාගාරයට රිංගන්නට පටන් ගත්තේ ය.

බණ්ඩා කඩවසම් තරුණයෙකි. ශරීර අභ්‍යස ව්‍යායාම්වල නිරත වෙමින් ශරීරය පුම්බා ගෙන සිටි බණ්ඩා තම කඩවසම්කම ගැන නිතර සිතුවේ ය. මාසයකට වරක් තම මුහුණට ෆේෂල් එකක් කර ගැනීමට බණ්ඩා අමතක කළේ නැත. ඔහු ඒ සඳහා සඳුනිගේ රූපලාවන්‍යායාගාරය තෝරා ගෙන සිටියේ ය.

මත්පැන් පානයට, ගංජා උරන්න තදින් ඇබ්බැහි වී සිටි බණ්ඩා මෙන්ම දමිත් සතියකට දෙතුන් වතාවක් කොහෝ හෝ ස්ථානයක දී ‘සෙට්’වීමට අමතක කළේ නැත. රණාලේ සමයංගෙන් එල්ල වී තිබූ ජීවිත තර්ජන නිසා අංගොඩ ලොක්කා කිසිවිටෙකත් ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීමට ගියේ නැත.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ එක්තරා නිවසක් අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ ආරක්ෂිත නිවස්නයක් ලෙස පවත්වාගෙන ගියේ ය.

බණ්ඩා, දමිත් ඇතුළු පාතාල සාමාජිකයන් මේ නිවසට ගොස් පුංචි මත්පැන් සාද පැවැත්වීමට පුරුදුව සිටියහ. දිනක් මේ නිවසේ පැවති මත්පැන් සාදයක් කෙළවර වුණේ මිනී මැරුමකින් ය. තමන් සමග එකට මත්පැන් පානය කරමින් සිටි තරුණයකු සමග දමිත් ඇතිකර ගත් ආරවුලක් අවසන්වන්නේ එම තරුණයාට ජීවිතය අහිමි කරමින් ය.

මත්පැන් පානයෙන් විකෘති ව සිටි දමිත් තමන් සමග පැටලුණු තරුණයාගේ මුඛය තුළට පිස්තෝලය ඔබා එය ක්‍රියාත්මක කළේ තරුණයා සදහටම නිහඬ කරමින් ය.

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක දී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත දමිත් අත්අඩංගුවට පත් විය. අවසානයේ දමිත් වැලිකඩ බන්ධනාගාරය වෙත යවනු ලැබී ය.

දමිත් බන්ධනාගාරගත වීමෙන් දැඩි සිත් තැවුලකට පත්ව සිටියේ සඳුනි ය. සතියකට දෙතුන් වතාවක් සඳුනි තම පෙම්වතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමට අමතක නොකළා ය.

සුරූපී සඳුනිට බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගෙන් ලැබුණේ විශේෂ සැලකිල්ලකි. දමිත් බැලීමට මාස කීපයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය සඳුනි අලුතින් ප්‍රේම සබඳතාවක් ගොඩ නඟා ගත්තා ය. සඳුනිගේ අලුත්ම ප්‍රේමවන්තයා බවට පත් ව සිටියේ බන්ධනාගාර නිලධාරියෙකි.
සඳුනිගේ වෙනස තේරුම් ගැනීමට දමිත්ට එතරම් කාලයක් ගත වුණේ නැත.

“සඳුනි උඹ ඔය ජේලර් එක්ක තියෙන ගනුදෙනුව නතර කරගනින්. උඹ මාව බලන්න නාවට කමක් නැහැ. එක එකා එක්ක නටන්න ලෑස්ති වෙන්න එපා…..”

දමිත් තම අනියම් පෙම්වතියට තර්ජනය කළේ ය. එහෙත් සඳුනි ඒ තර්ජන ගර්ජනවලින් සැලුනේ නැත. දමිත් බැලීමට බන්ධනාගාරය වෙත යන එන එක නතර කළේ ද නැත. බන්ධනාගාර නිලධාරියා සමග ඇය හොර රහසේම තහනම් ගසේ ගෙඩි අනුභව කරන්නට පටන් ගත්තේ ඒ සම්බන්ධතාව සදාතනික එකක්වනු ඇතැයි සිහින මවමින් ය.

“මට දමිත්ව අමතක කරන්නත් බැහැ. සුරේෂ්ගෙන් ඈත් වෙන්නත් බැහැ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්න ද කියලා.”

සඳුනි තම සමීපතම යෙහෙළියකට මේ ගැන කියමින් විස්සෝප වූවා ය. මාස ගණනක් තිස්සේ බන්ධනාගාරගතව සිටි දමිත් ඉන් මුදා හරින්නේ දැඩි ඇප කොන්දේසි මත ය. ඒ වනවිට සඳුනි පවත්වාගෙන ගිය අලුත් ප්‍රේම සම්බන්ධතාව පිළිබඳ සියලු තොරතුරු දමිත් දැන සිටියේ ය. අංගොඩ තම පාතාල රාජධානිය වෙත පැමිණි දමිත් වෙනත් කාන්තාවක තම පෙම්වතිය ලෙස තෝරා ගත්තේ ය. දමිත් මේ සම්බන්ධතාව ගොඩනගා ගත්තේ සඳුනිට රිද්දවීමේ අරමුණෙන් ය. කාලයක් තිස්සේ දමිත් සමග පවත්වා ගෙන ගිය සමීප සබඳතාව අවසන් කිරීමට සඳුනි කෙසේවත් කැමැති නොවූවා ය. එහෙත් අවසානයේ ඇයට සිදුවන්නේ දමිත්ගෙන් වෙන්වීමට ය.

“මම තමුසෙ වෙනුවෙන් කොයිතරම් දේවල් කැප කළා ද.? මගේ දරුවෝ මගේ මිනිහා පවා අතඇරලා මම තමුසෙ එක්ක ආවා. තමුසෙ පාතාල මැරයෙක් බව දැන දැන තමුසෙට ආදරේ කළේ. ඒත් අද තමුසෙ වෙන ගෑනියෙක් එක්ක. මම තමුසෙට වෛර කරනවා.”

අනියම් ප්‍රේමය අහිමි වීමෙන් දැඩි සිත්තැවුලට පත්ව සිටි සඳුනි දමිත්ට ශාප කරන්නට වූවා ය. ඒ වනවිට අංගොඩ ලොක්කා සහ රණාලේ සමයං අතර ගැටුම් උත්සන්න වී තිබුණේ ය. පාතාල බලය තමන් වෙත අත්පත් කර ගැනීමට ඔවුන් ප්‍රසිද්ධියේ ම සටන් කරන්නට වූහ. කඩුවෙල අධිකරණය වෙත කුලී ඝාතකයකු යවා සමයං ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා කළ උත්සාහය ව්‍යර්ථ වී තිබුණි. කුලී ඝාතකයා එල්ල කළ ප්‍රහාරයෙන් සමයං බරපතළ තුවාල ලැබුව ද අවසානයේ දිවි ගලවා ගත්තේ ය.

මේ සිද්ධියෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි රණාලේ සමයං අංගොඩ ලොක්කාගේ කල්ලියේ සමීපතමයන් දුටු තැන ඝාතනය කරන තත්ත්වයට පත්ව සිටියේ ය.

මේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම පාතාල සාමාජිකයන් කීපදෙනකු ඝාතනයට ලක් වූහ.

අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රබලයන් වූ ලඩියා, බාල්දි ප්‍රියන්ත, නන්දන, බණ්ඩා මෝටර් රථයක යමින් සිටිය දී ඔවුන් ලුහුබැඳ ආ සමයංගේ ගෝලබාලයන් අරංගල මංසන්ධියේ දී ප්‍රහාරයක් එල්ල කළහ.

අනපේක්ෂිත ප්‍රහාරයෙන් අංගොඩ ලොක්කාගේ කල්ලියේ කීපදෙනකු බරපතළ තුවාල ලැබුව ද, ඔවුන් දිවි ගලවා ගත්හ. රත්තරං යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ව්‍යාපාරිකයකු අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේ ය. රත්තරං අංගොඩ ලොක්කාගේ සමීපතමයකු විය. සමයංගේ ගෝලබාලයන් විසින් රත්තරං ඝාතනය කරනු ලැබුවේ අංගොඩ ලොක්කාව රිදවීමට ය.

ඉන් නොනැවතුණු සමයං තම ගෝල බාලයන් යොදවා අංගොඩ ලොක්කා පරලොව යෑවීමට සැලසුම් සකස් කළේ ය. රත්තරංගේ අවමඟුලට පැමිණෙන විට අංගොඩ ලොක්කා ඝාතනය කිරීමට සමයංගේ ගෝලයන් රැක සිටිය ද එය සාර්ථක වූයේ නැත.

සමයං කොයි මොහොතක හෝ තමා ඝාතනය කරන බව හොඳාකාරවම දැන සිටි අංගොඩ ලොක්කා තම සමීපතම මිතුරා වූ රත්තරංගේ අවමඟුලට පවා සහභාගි නොවීමට වගබලා ගත්තේ ය.

“උඹලා හැමෝම හොඳ අවධානයෙන් ඉන්න ඕනෙ. සමයංගේ ගෝලයො පිස්සු බල්ලෝ වගේ ඉන්නේ. උන්ගේ ඔත්තුකාරයො මේ හැම තැනම ඉන්නවා. කොයි වෙලේ උන් අපිට ඇටෑක් කරයිද දන්නෙ නැහැ.” අංගොඩ ලොක්කා සිය ගෝල බාලයන්ට අනතුරු ඇඟවීමක් කළේ තත්ත්වය ඒ තරමටම දරුණු වී තිබූ නිසා ය.

අංගොඩ ලොක්කා මෙන්ම ඔහුගේ කල්ලියේ ගෝල බාලයන් සියල්ල විනාශ කිරීමේ අරමුණෙන් සිටි සමයං ඊට සැලසුම් සකස් කරමින් සිටියේ ය.

අංගොඩ ලොක්කාගේ සමීපතම සගයාවන්නේ ටනිල් බණ්ඩාර නොහොන් බණ්ඩා බව සමයංගේ කල්ලිය දැන සිටියහ. බණ්ඩා ඝාතනය කිරීම සඳහා සමයංගේ කල්ලිය සැලසුම් සකස් කරන්නට වූහ.

බණ්ඩා ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාර වී තිබුණේ සමයංගේ කල්ලියේ ප්‍රබලයන් දෙදෙනකු වූ කැලුම් සහ පැටී මහත්තයා වෙත ය. මොවුන් දෙදෙනා ඔත්තුකාරයන් යොදා ගනිමින් බණ්ඩා පිළිබඳව තොරතුරු හොයන්නට වූහ. ඒ වනවිට බණ්ඩා එක්තරා තරුණ දේශපාලනඥයකුගේ ප්භූ ආරක්ෂක අංශයේ ප්‍රබලයකු ලෙස රාජකාරි කරමින් සිටියේ ය.

“බණ්ඩා ෆේෂල් කරන්න නිතරම යනවා අතුරුගිරියෙ සැලුන් එකකට. සැලුන් එකේ සඳුනි එක්ක බණ්ඩා ගොඩක් හිතවත්.”

ඔත්තුකරුවන් කැලුම් සහ පැටී මහත්තයා වෙත ලබා දුන් තොරතුරු වැදගත් විය. අතුරුගිරියේ රූපලාවන්‍යාගාරය හිමි සඳුනි කැලුම්ගේ සමීපතම ඥාතියෙකු විය.

බණ්ඩා ඝාතනය සඳහා සඳුනිගේ සහාය ලෙහෙසියෙන්ම ලබා ගත හැකි බව කැලුම් දැන සිටියේ ය. කැලුම් සහ පැටී මහත්තයා හොර රහසේම සඳුනි මුණ ගැසීමට ගියහ.

“නංගි මේ වෙලාවෙ ඔයා අපට උදව් කරන්න ඕනෙ. හෙට අනිද්දා වෙනකොට අංගොඩ ලොක්කා පරලොව යනවා. එතකොට අපේ බොස් සමයං තමයි මේ පළාතම රන් කරන්නේ. ඒ නිසා ඔයා අපිත් එක්ක ඉන්න . අපි ඕනෙම උදව්වක් ඔයාට කරනවා.” කැලුම් තම ඥාති සොහොයුරියක වූ සඳුනිට කීවේ ය. දමිත් සමග පැවැති අනියම් සම්බන්ධතාව දෙදරා යෑම නිසා දැඩි චිත්ත පීඩාවකට පත් ව සිටි සඳුනි අංගොඩ ලොක්කාගේ කල්ලියෙන්ම පලි ගැනීමට සිහින මවමින් සිටියා ය.

”දමිත්ගෙන් පලි ගන්න තියෙන හොඳම වෙලාව මේක තමයි.” සඳුනි තනිවම සිතුවා ය. “හරි කැලුම් අයියා මම ඕනෑම උදව්වක් කරන්නම්. මටත් දැන් මුන්ව එපා වෙලා තියෙන්නේ.” අංගොඩ ලොක්කාගේ ගෝලයන් විනාශ කිරීමේ සැලසුමට සහායවීමට සඳුනි කැමැත්ත පළ කළා ය.

කැලුම් තම ජංගම දුරකතනයෙන් සමයංට ඇමතුමක් ලබාගෙන එය සඳුනි අත තැබුවේ ඒ සතුටුදායක ආරංචිය ඇගේ මුවින්ම ඇසීමට සලස්වමින් ය. සඳුනි රණාලේ සමයංගේ කල්ලිය සමග හොර රහසේම සබඳතාවක් පවත්වාගෙන යන බවට අංගොඩ ලොක්කා හෝ ඔහුගේ කල්ලියේ කිසිවකුත් දැන සිටියේ නැත.

කැලුම්, පැටී මහත්තයා මෙන්ම රණාලේ සමයං ද නිතර නිතර ජංගම දුරකතන ඔස්සේ සඳුනි සමග කතා කරන්නට වූහ. අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයන් පිළිබඳ රහසිගත තොරතුරු රැසක් සඳුනිගේ මාර්ගයෙන් හෙළිකර ගැනීමට සමයංට හැකි විය.

”බණ්ඩා ගැන ඇහැ ගහගෙන ඉඳලා අපිට හොඳ තොරතුරක් දෙන්න අපිට මුලින්ම වැඩක් දෙන්න ඕනෙ බණ්ඩට.” කැලුම් සඳුනිට කීවේ ය. බණ්ඩා ෆේෂල් කරන්නෙ මගෙ ළඟට ඇවිත්. එහෙම එන වෙලාවක් බලලා මම කියන්නම්.”

බණ්ඩා පිළිබඳව තොරතුරක් ලබා දීමට සඳුනි කැලුම්ට පොරොන්දු වූවා ය. 2017 වර්ෂයේ ජනවාරි 20 වැනි දා බණ්ඩාගේ සමීපතම හිතවතකුගේ මංගල උත්සවයක් පැවැත් විය. බණ්ඩා ද ඊට සහභාගිවීමට නියමිත ව සිටියේ ය. මංගල උත්සවයට යෑමට පෙර කොණ්ඩය කපා ගෙන මුහුණට ෆේෂල් එකක් දමා ගැනීමට බණ්ඩාට අවශ්‍ය විය. ඔහු දුරකතන ඇමතුමක් දී ඒ සඳහා සඳුනිගෙන් වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

“මල්ලි මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා. මම පැයක් දෙකක් යනකොට ඔයාට වෙලාවක් දෙන්නම්.” බණ්ඩාට එසේ පිළිතුරු දුන් සඳුනි ඒ මොහොතේම කැලුම්ට දුරකතන ඇමතුමක් ලබා දුන්නා ය.

“බණ්ඩා මට දැන් කෝල් කළා. ෆේෂල් එකක් දාගන්න දිනයක් ඉල්ලුවා. මිනිහා ෆේෂල් දාගන්න ආව වෙලාවට ඕන දෙයක් කර ගන්න පුළුවන්…….”

සඳුනි කැලුම්ට කීවා ය. කැලුම් ඒ මොහොතේම සමයංට දුරකතන ඇමතුමක් දී බණ්ඩා පරලොව යැවීමට සුදුසුම දිනය පිළිබඳව විමසා සිටියේ ය.

“ජනවාරි 17 වැනි දා වැඩේ ලෑස්ති කරන්න කියන්න. අපි එදාට බණ්ඩව ඉවර කරල දාමු.” රණාලේ සමයං අවසන් තීන්දුව ලබා දුන්නේ ය.

“සඳුනි නංගී ජනවාරි 17 වැනි දා දවල් වෙලාවක් දෙන්න. බණ්ඩා සැලුන් එකට ආව ගමන් අපට කෝල් එකක් දෙන්න. අපි රෙඩි වෙලා ඉන්නවා.”

සමයාගේ උපදෙස් මත බණ්ඩා ඝාතනය කළයුතු ආකාරය පිළිබඳව කැලුම් සඳුනිට උපදෙස් ලබා දුන්නේ ය. සඳුනි ද ඒ සියල්ල ඒ අයුරින්ම ඉෂ්ට කිරීමට වගබලා ගත්තේ තමන්ට අහිමි කළ ප්‍රේමය වෙනුවෙන් පලි ගැනීම සඳහා ය.

සඳුනි බණ්ඩාට දුරකතන ඇමතුමක් ලබා දී ජනවාරි 17 වැනි දා දහවල් තම රූපලාවන්‍යාගාරය වෙත එන ලෙස දැනුම් දුන්නා ය.

ඒ වනවිට බණ්ඩා පරලොව යෑවීමේ සියලු සැලසුම් සමයා ඇතුළු කල්ලිය විසින් සකස් කරමින් සිටියහ. බණ්ඩා ඝාතනය සඳහා ගොත අසංක සහ මධුසංඛ නොහොත් මද්දා නමැති කුලී ඝාතකයන් දෙදෙනා තෝරා ගෙන සිටියහ.

ඝාතනය සඳහා යතුරු පැදියක් මෙන්ම පිස්තෝල දෙකක් ද ලබා දෙන්නට සමයංගේ ගෝලබාලයන් කටයුතු කළහ.

ජනවාරි 17 වැනිදා දහවල් ටනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා සඳුනිගේ රූපලාවන්‍යාගාරය වෙත ගියේ මේ යන්නේ තම අවසන් ගමන බව නොදැන ය. සඳුනිගේ රූපලාවන්‍යාගාරය තුළ තමාට වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් තිබෙන බව බණ්ඩාට තේරුම් ගොස් තිබුණේ නැත.

සඳුනිගේ රූපලාවන්‍යගාරයේ ෆේෂල් කිරීම සඳහා වෙනම ස්ථානයක් වෙන් කර තිබුණේ ය. එහෙත් එදින බණ්ඩාට අසුන් පනවා තිබුණේ වෙනත් ස්ථානයක ය.

බණ්ඩාට නොදැනෙන්නට සඳුනි සිය ජංගම දුරකතනයෙන් කැලුම්ට ඇමතුමක් ලබා ගත්තා ය. “අරූ ඇවිත් ඉන්නවා. මම හෙමිහිට ඌට ෆේෂල් එකක් දාන්නම්. පුළුවන් තරම් ඉක්මනට එන්න…….”

සඳුනි ලබාදුන් තොරතුරු අනුව කැලුම් ක්‍රියාත්මක වුණේ ය. ඒ මොහොතේම අසංකට සහ මද්දාට දුරකතනයෙන් කතා කළ කැලුම් රූපලාවන්‍යාගාරය වෙත ගොස් බණ්ඩා විනාශ කර දමන ලෙස උපදෙස් ලබා දුන්නේ ය.

තත්පර විනාඩිවලට පෙරළෙන්නට විය. යතුරුපැදියේ නැඟුනු ගොත අසංක සහ මද්දා පවනට බඳු වේගයෙන් අතුරුගිරිය නගරය වෙත ඉගිල ගියහ.

“උඹ පහළ හිටපන්. මම උඩට ගිහින් මොකද වෙන්නේ කියලා බලලා එන්නම්.” සඳුනිගේ රූපලාවන්‍යාගාරය පිහිටා තිබුණේ බැංකු ගොඩනැගිල්ල උඩුමහලේ ය. මධුසංඛ මාර්ගය අසල නතර කළ ගොත අසංක සඳුනිගේ රූපලාවන්‍යාගාරය වෙත ගියේ තම ගොදුර ඩැහැගන්නා අරමුණ ඇතිව ය.

ඒ වනවිට රූපලාවන්‍යාගාරය වෙත පිටස්තර පුද්ගලයන් කීපදෙනකු පැමිණ සිටියේ වෙනත් අවශ්‍යතාවන්ට ය. ගොත අසංක රූපලාවන්‍යාගාරයට හිස යොමා බැලුව ද බණ්ඩා සිටින ස්ථානය සොයා ගැනීමට හැකි වුණේ නැත.

ඔහු ඒ සැණින්ම පහළට දිව ගියේ ය. බණ්ඩා ඇතුළේ නැහැ. දැන්ම කැලුම් අයියට කෝල් කරන්න.” ගොත අසංක තම සගයා වූ මධුසංඛට කීවේ ය. “කැලුම් අයියා. බණ්ඩා සැලුන් එකේ නැහැනෙ.”

කැලුම් කලබලයට පත් වුණේ ය. ඔහු ඒ මොහොතේම සමයංගේ දුරකතනයට ඇමතුමක් ලබා ගත්තේ ය. “බණ්ඩා සැලුන් එකේ නැහැ කියනවා.”

ඒ ඇමතුමෙන් සමයං ද කලබලයට පත්වුණේ ය. සමයං ඒ මොහොතේම සඳුනිගේ ජංගම දුරකතයට ඇමතුමක් ලබා ගත්තේ ය.

“නංගි බණ්ඩා සැලුන් එකේ නැද් ද” සමයං විමසා සිටියේ ය.

“මිනිහ ඉන්නවා. මම මිනිහට ෆේෂල් එකක් දාලා තියෙන්නේ. ඇස් දෙක වැහෙන්න පිපිඤ්ඤා පෙති දෙකකුත් තියලා තියෙන්නේ. දැන් ආවොත් ලෙහෙසියෙන්ම වැඩේ ඉවර කරන්න පුළුවන්.”

සඳුනි කීවා ය. සමයං ඒ මොහොතේම ගොත අසංක ද ඒ දුරකතන ඇමතුමට සම්බන්ධ කර ගත්තේ ය. “මිනිහා ඇතුළේ ඉන්නවා. සඳුනි මිනිහව පෙන්වයි. උඹ ගිහින් වැඩේ කරපං” සමයං ගොත අසංකට උපදෙස් දුන්නේ ය..

ඒ සැණින් ක්‍රියාත්මක වූ ගොත අසංක සහ මද්දා බැංකුව උඩු මහලේ තිබූ රූපලාවන්‍යාගාරය වෙත දිව ගියහ. කුලී ඝාතකයන් දෙදෙනා රූපලාවන්‍යාගාරය වෙත ඇතුළු වෙද්දී බණ්ඩා සුවබර නින්දකට වැටී සිටියේ ය. ෆේෂල් කර පිපිඤ්ඤා පෙතිවලින් ඇස් වසා තිබූ නිසා බණ්ඩාට කිසිවක් පෙනුණේ නැත.

කිසිම බාධාවකින් තොරව රූපලාවන්‍යාගාරයට ඇතුළු වූ කුලී ඝාතකයන් දෙදෙනා බණ්ඩාගේ හිසට වෙඩි තබා ඝාතනය කර නිරුපද්‍රිත ව පලා ගියහ.

එතැන් සිට සඳුනි චරිතාංග නිළියකගේ රංගනයක නිරතවන්නට පටන් ගත්තා ය. බණ්ඩා වෙඩි තබා ඝාතනය කිරීමෙන් දැඩි ලෙස කලබලයට පත් වූ බවක් පෙන්වූ සඳුනි විළාප නඟමින් කෑ ගසන්නට වූවා ය.

තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරමින් තම නිර්දෝෂී භාවය රටට පෙන්වීමට ද ඇය උත්සාහ කළා ය. එහෙත් පොලිස් නිලධාරීන් නොමග යැවීමට ඇගේ රංගනය ප්‍රමාණවත් නොවී ය. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා, කොස්තාපල් ප්‍රසන්න ඇතුළු නිලධාරීන්ගේ කනෙන් රිංගීමට සඳුනි ගත් උත්සාහයන් සාර්ථක වුණේ නැත.

බණ්ඩාගේ ඝාතනය පිටුපස සඳුනිගේ සම්බන්ධයක් තිබෙන බව පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මුල සිටම සැක පහළ කර තිබිණි. පොලීසිය සඳුනිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඇය නිරුත්තර වූවා ය. තවදුරටත් සත්‍ය වසන් කළ නොහැකි බව තේරුම් ගත් සඳුනි සියල්ල හෙළි කරන්නට වුණේ කළ යුතු වෙනත් යමක් නොවූ නිසා ය.

සඳුනිගෙන් හෙළි වූ තොරතුරු මත ගොත අසංක සහ මධුසංඛ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කටයුතු කළහ. බණ්ඩා ඝාතනයට ඔත්තු ලබා දීමේ චෝදනාව මත සඳුනි ද අත්අඩංගුවට පත් විය.

බණ්ඩා ඝාතනය සම්බන්ධයෙන් සඳුනි ඇතුළු සැකකරුවන් තිදෙනා බන්ධනාගාරගත කෙරිණි. සඳුනි බන්ධනාගාරගත වී සතියක් ගත වන්නට පෙර අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි ඇගේ රූපලාවන්‍යාගාරයට ගිනි තබා විනාශ කිරීමට අංගොඩ ලොක්කාගේ කල්ලිය කටයුතු කර තිබිණි.

අංගොඩ ලොක්කා සහ සමයං අතර වූ සටන උච්ඡතම ස්ථානයකට පැමිණ තිබුණේ ය. මේ සටනින් ඉස්සර වූ කෙනා ජය ගන්නා බව අංගොඩ ලොක්කා මෙන්ම සමයං ද හොඳින් දැන සිටියහ.

අංගොඩ ලොක්කා ඉස්සර වුණේ ය. කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල මැරයාගේ ද සහාය ලබාගෙන අංගොඩ ලොක්කා තම පරම සතුරා වූ සමයං ඝාතනය කළේ ය.

කළුතර දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර සමයං ඇතුළු 07 දෙනෙක් ඝාතනය කළ අංගොඩ ලොක්කා හොර රහසේම රටින් පලා ගියේ ය. මේ වනවිට අංගොඩ ලොක්කා සිටින්නේ මධුෂ් නමැති පාතාල මැරයා සමග ය.

මාස 10කට ආසන්න කාලයක් බන්ධනාගාරගත ව සිටි සඳුනි ඇප මත මුදා හැරියේ දැඩි ඇප කොන්දේසි මත ය.

නැවත අතුරුගිරියට පැමිණි සඳුනි අලුත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන්නේ තමන් වෙත එල්ල වී තිබූ සියලු තර්ජන ගර්ජන සියල්ල හමාර වූ බව සිතමින් ය. එහෙත් සඳුනිගේ මාරයා ඇය පසුපස එන බව ඇය දැන සිටියේ නැත. බණ්ඩා ඝාතනය කිරීමේ පලිය ගැනීමේ අරමුණෙන් සිටි අංගොඩ ලොක්කා ඊට නිසි වේලාව එනතුරු බලා සිටියේ ය.

නොවැම්බර් 30 වැනි දා රාත්‍රිය සඳුනිට සුබදායී රාත්‍රියක් නොවී ය. අංගොඩ ලොක්කාගේ කල්ලියේ කුලී ඝාතකයන් දෙදෙනෙක් සඳුනිගේ නිවස සොයා එන්නේ එදින රාත්‍රී 08.45 ට පමණ ය. ඒ මොහොතේ සඳුනි සමග නිවසේ සිටියේ ඇගේ අහිංසක දරු දෙදෙනා සහ නැන්දණිය පමණි. නිවසේ දොරවල් විවෘත කරගෙන බලෙන් ගෙට ඇතුළු වූ පාතාල මැරයන් දෙදෙනා සඳුනිට වෙඩි තැබූහ. වෙඩි ප්‍රහාර 13 ක් ඇගේ සිරුර පුරා එල්ල වී තිබිණි.

පාතාලයට පෙම් කළ සඳුනි පාතාලයෙන්ම අවසන් ගමන් ගියේ තමන් සිදුකළ පාප කර්මවලට මිහිපිටම වන්දි ගෙවමින් ය. අනවශ්‍ය පුද්ගලයන් ඇසුරු කිරීම නිසා සඳුනිට ජීවිතය අහිමි වූවා මෙන්ම අහිංසක දරු දෙදෙනකුට තම මවගේ සෙනෙහස ද අහිමි විය.

(පුවත්පතකින් උපුටා ගැනීමක්)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!