Gossip

“මගේ ජංගම දුරකථනයට එනවා කෙටි පණිවුඩයක්. ඒකෙ තියෙන්නෙ සාමදානයෙන් සැතපේවා කියලා. ඉතින් මට හිතෙනව යකෝ මම මැරුනනම් මේක කව්ද කියවන්නෙ කියලා.”

පසුගිය දිනෙක එක්වරම අපට අසන්නට ලැබුණු එක්තරා පුවතකින් අපේ හදවත් කම්පාවට පත්වුණා. එම පුවත තමයි වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ හදිසියේ ඇති වු හෘදයාබාධයකින් මිය ගිය පුවත.
එම පුවත සැලවීමත් සමග ජයලාල් රෝහණට ආදරය කරන ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයන් බෙහෙවින් කම්පාවට පත්වුණා වගේම බොහෝ පිරිසක් අපිටද දුරකතන ඇමතුම් ලබා දෙමින් තොරතුරු විමසුවා. එහෙත් සුළු මොහොතකට පසු අසුබ ආරංචිය පරදා සුබ ආරංචියක් අප ට ලැබුණා . ඒ තමයි හදිසියේ රෝගාතුරවු ජයලාල් රෝහණ සුවය ලබමින් සිටින බව.
ඒ ගැන මේ විදිහට සතිඅන්ත පුවත්පතකට ජයලාල් රෝහණ හෙළි කරලා තිබුණා.

කොහොමද ජයලාල් අයියේ හොඳින්ද?
හොඳින්.. හොඳින්, තවම හොඳින්.

දෙවෙනි වරටත් එලොව ගිහින් මෙලොව ආවා නේද?
(සිනාසෙයි ) පළවෙනි වර දුම්රිය අනතුරට ලක්වී මැරෙන්නම ගිහින් බේරුණා. මෙවර නම් හදිසියේ ඇති වු රෝගාබාධයක් හේතුවෙන් හදිසි අසනීපයක් ඇතිවුණේ. ඒක මැරෙන්න තරම් රෝගි තත්වයක් නෙමෙයි.

ඒ වුණත් සමාජ මාධ්‍යයන්හි දිගටම ප්‍රචාර වුණා ඔබ මිය ගියා කියා..
මට කියන්න තියෙන්නෙ මුහුණු පොතේ මම මැරුණ කියල දාපු අයට සුබ පත පත වැඩ කරනවා කියන එක.
මුහුණු පොතට කාලකණ්නි ටිකක් බෝවෙලා ඒක හරියට පාවිච්චි කරන්න දන්නෙ නැතිකම. වෙන මොකක්ද? කවුරුහරි මොකක් හරි දෙයක් දැම්මොත් ඒකෙ වගක් නැතිව එහෙට මෙහෙට ෂෙයා කරනවා.
හිතන්නෙ නැහැ දැම්මම මේ මනුස්සයාගේ ගෙදර අයට ඥාතීන්ට කොහොම බලපාවිද කියල? තව ටිකෙන් මගේ දෙමවුපියන්ටත් මොනව හරි වෙනවා. මේ ආරංචිය දරාගන්න බැරිව. මේ වගේ දේවල් පොඩ්ඩක් හොයල බලල දාන්න ඕන නේද? මොනව කරන්නද දැන් අපේ රටේ තත්වය ඕක තමයි.

ඇත්තටම මොකක්ද සිද්ද වුණේ..
මම රාගම රෝහලට ගියා බිරියත් සමග ඇයගේ බෙහෙත් ගන්නා ක්ලිනික් එකට. රෝහලට යනපාරේ තරමක කන්දක් තියෙනවා. මට ඒ කන්ද නගිනකොට පපුව රිදෙනවා වගේ දැනුණා. ඊට පසුව සිදුවු දේවල් හරියටම මතක නෑ. කොහොම හරි බිරියට බෙහෙත් ගේන්න ගිය මට රෝහලේ නවතින්න සිදුවුණා. බිරිය ගෙදර ආවා.

මීට කලිනුත් මෙවැනි රෝගි තත්වයක් ඇතිවෙලා තියෙනවද?
කවදාවත් නැහැ. මෙවැනි තත්වයක් ආවේ පළමු වතාවට. දැන්නම් ඉතින් දිගටම මාසයකට වරක් පරීක්ෂාකර බෙහෙත් ගන්න රෝහලට යන්න සිදුවනවා.
ශරීරයේ වෙනත් ක්‍රියාකාරි අවයවවල ගැටලු තත්වයක් හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වයට බලපා තිබෙන බව තමයි වෛද්‍ය වාර්තාවල සඳහන්කර තිබෙන්නේ.

රෝගි තත්වය සුවවන තුරු කලා කටයුත්වලින් බැහැර වෙනවද?
දැන් සම්පූර්ණයෙන් සුවයි. අසනීප තත්වයට පත්වුණේ වසර අවසානයේ වීම මට එක්තරා විදිහකින් ආශිර්වාදයක්වුණා.
මොකද ඒ දවස්වල කිසිම වේදිකා නාට්‍යයක්වත්, වෙනත් නිර්මාණයක්වත් භාරගෙන තිබුණේ නෑ. සරත් කොතලාවලගෙ ‘ද නිව්ස් පේපර්‘ හි මම වෙනස්ම චරිතයක් කරනවා. එය ළඟදීම නැරඹිය හැකියි. මේ දවස්වල ටෙලි නාට්‍ය කලාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නෙ. ඒ කලාව දැන් කොල්ලයි, බල්ලයි දෙන්නම ළගින තැනක් වෙලා.

ඔබව කවුරු කියල හඳුන්වනවටද කැමැති..
මම කැමතියි රංගන ශිල්පියෙක් ලෙසින් හඳුන්වනවට. රඟපෑමට අමතර මගේ වෘත්තිය ගුරුවරයකු ලෙසින් උසස් පෙළ ළමයින්ට නාට්‍ය හා රංගකලාව පිළිබඳව ඉගැන්වීමත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙස වැඩ කිරීමත්.

කුඩා කාලයේ සිටම රංගන ශිල්පියෙක් වෙන්නද හීන මැව්වේ..
නැහැ. චිත්‍ර ශිල්පියෙක් වෙන්න. දැන් ඒ හැකියාව යටපත්වෙලා ද කියා මට වරෙක දුකත් හිතෙනවා. රංගන ශිල්පියෙක් වෙන්න මූලික අඩිතාලම වැටුණේ පාසල් කාලයේ ශිෂ්‍යභට ව්‍යාපාරයට සම්බන්ධව සිටි නිසයි. ගුණසේන ගලප්පත්ති සර්, පතිරගේ සර් වැනි ගුරුවරු මාව නාට්‍යවලට සම්බන්ධකර ගත්තා. ඔය විදිහට ඉබේටම නළුවෙක් වුණා. ඉන්පසු මට හිතුණා රංගනය පිළිබඳව හැදෑරිය යුතුයි කියා. ඒ අනුව නාට්‍ය හා රංග කලාව පිළිබඳව හදාරන්න පටන් ගත්තා. අද වන විට ශාස්ත්‍රපති උපාධිය දක්වා ඉගෙනගෙන විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වැඩ කරනවා.

රංගන ශිල්පියෙක් වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පියෙක් වීම ගැන බෙහෙවින්ම තෘප්තිමත්. මට ලැබෙන චරිතය වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය වේවා උපරිමයෙන්ම කරනවා. හැබැයි අවසානයේ බලනවිට මට හිතෙනවා මට එම චරිතය ඊට වඩා හොඳට කරන්න පුළුවන්කම තිබුණා නේද කියා. ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ මුතුමිණ චරිතය මට දැන් ලැබුණොත් මම එය එදාට වඩා හොඳට රඟපානවා. කියවීම සහ ස්වයං අධ්‍යයනය කරනවිට මට මගේ අඩුපාඩු තේරෙනවා.

කැමැත්තෙන් නරඹපු සිනමා නිර්මාණය ..
ගාමිණි ෆොන්සේකා පියතුමකුගේ චරිතය නිරූපණය කරන උතුමාණෙනි චිත්‍රපටයට කැමැතියි. ඒ වගේම හුලවාලි, දඬු මොණරය, චිත්‍රපටවලටත් කැමැතියි. එම චිත්‍රපටවල රංගනය ඉතාම විශිෂ්ටයි.

කැමැතිම රංගන ශිල්පියා හා ශිල්පිනිය…
කැමැතිම රංගන ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙකුගේම චරිත එකිනෙකට වෙනස් . ඒ අතර ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සේනාධීර රූපසිංහ, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, වැනි රංගන ශිල්පීන්ගේ රංගනයට කැමැතියි. ඒ වගේම මාලනී ෆොන්සේකාගේ රංගනයටත් කැමැතියි.

තව කෙනෙක් කරනවට අකැමැති දෙය…
කිසිම සුදුසුකමක් නැති මිනිසුන්ව මහජන නියෝජිතයන් කර පාර්ලිමේන්තුවට යවන ජනතාවට අකමැතියි.
ඔවුන් කරන එම ක්‍රියාවටත් අකැමැතියි. අඩුම ගානෙ කන්තෝරුවක කාර්ය සහායක තනතුරකට තරම්වත් සුදුසුකම් නැති මහජන නියෝජිතයන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද?

වගකිවයුතු තනතුරක් ලැබුණොත් මොකද කරන්නේ..
බලන්න කලාවට සම්බන්ධ කටයුතු සඳහා කලාවේ ගෑවිච්ච නැති කී දෙනෙක් අපේ රටේ කලාව නියෝජනය කරන්න රට යනවද?
විදේශිකයො අපිව හමුවුණහම කියනව උඹලගේ රටේ මිනිස්සු හරිම කම්මැලි යක්කුනේ කියල. අපේ ජාතියට එහෙම කියන තත්වයට පත්වෙලා තියෙන්නෙ මේ රට බොහොම බරපතළ විදිහට දේශපාලනීයකරණයට ලක් වීම නිසයි. ඉතින් මට වගකිව යුතු තනතුරක් ලැබු­‍ණොත් එවැනි නුසුදුසු මිනිසුන් සියල්ලම ඒ වගකීම්වලින් ඉවත්කරනවා. ඒ නිසා කවදාවත් මට වගකිව යුතු තනතුරක් ලැබෙන එකක් නෑ.

වැඩිපුර සංචාරය කරන්න කැමැති..
කලාවට පින්සිඳුවන්නට ලංකාවේ සෑම ස්ථානයකටම වගේ මේ වනවිට ගිහින් තියෙනවා. විදේශිය සංචාරයට නම් ඉතාලියේ වැනීසියට කැමැතියි. ලංකාවේ නකල්ස් කඳුයායේ ඇවිදින්න කැමැතියි. නකල්ස් කියන්නෙ අපිට ස්වභාව ධර්මයා විසින් ලබා දුන් සුන්දර තැනක්. ඒ වගේම පිළිමතලාව, උතුවන්කන්ද පරිසරය සෞම්‍යයි වගේම ලස්සනයි. මීගමුව ප්‍රදේශය සංචාරය කරන්න කැමැති මම එහි අවුරුදු හතක් සේවය කළ නිසාත් එම ප්‍රදේශයේ ධීවර ජනතාව විතර ආගන්තුක සත්කාරයට ලැදි මිනිසුන් කොටසක් වෙනත් ප්‍රදේශයක දැකිය නොහැකි නිසයි. ඒ මිනිසුන් අත්හැරීම කියන මානුෂීය ධර්මතාව හොඳින් තේරුම් ගෙන බොහොම සමගියෙන් වෙසෙනවා. එය හලාවත මුහුදු තීරය දක්වා දැකිය හැකි ලක්ෂණයක්.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරදුනු තැන්වලදී ළඟින්ම හිටියේ..
අමතක නොවන සිදුවීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් ඊයේ පෙරේදා සිදුවු සිදුවීමක් කියන්නම්. පසුගියදා මම අසනීප වී රෝහලේ ඇද උඩ සිටින විට මගේ ජංගම දුරකතනයට එනවා කෙටි පණිවුඩයක්. ඒකෙ තියෙන්නෙ සාමදානයෙන් සැතපේවා යනුවෙන්. ඉතින් මට හිතෙනව යකෝ මම මැරුනනම් මේක කව්ද කියවන්නෙ කියල. අනෙක් සිදුවීම තමයි මටම ඇහෙනවා මීට ස්වල්ප මොහොතකට පෙර අප අතරින් වායෝවු ජයලාල් රෝහණ මහතාට නිවන් සැප ලැබේවා කියල. ඉතින් මෙවැනි සිදුවීම් කොහොමද අමතක කරන්නෙ. මේක තමයි අපේ රටේ නියම තත්වය. වරදුණු තැන්වලදී අතදෙන අය බොහෝ සිටිනවා. නමුත් සෙවණැල්ල වගේ ළඟින් සිටිමින් මගේ දුක සැප සොයා බලන බිරිඳ මේනකා ප්‍රියානි, දුව පූජනි ජනශිකා සහ පුතා තිසල් ආධිත්‍ය සිහිපත් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!