Gossip

“මගේ අතින්ම හදපු බයිට් කාලා මගේ මිනිහ එක්ක බීපු මිනිස්සු මට කරදර කරන්න ආවා.. ඒ නිසා මටත් හිතුනා පිරිමියෙක් වෙන්න.. ඒ නිසා මම ඒ විදිහට වැඩ කළා.”

සමාජ අසාධාරණයට එරෙහිව ස්තී‍්‍ර පුරුෂ අසමානතාවයට එරෙහිව විවිධ පුද්ගලයෝ විවිධ මාර්ගවල ගමන් කරති.
සමහරු පවතින ක‍්‍රමයේ ගොදුරක් වන අතර තවත් අය ඊට එරෙහිව අභියෝග කරති. තවත් අය වෙනත් මාර්ග අනුගමනය කරති. මේ කියන්නට යන කතා දෙකේ චරිත ගමන් කර ඇත්තේ කුමන මාර්ගයකදැයි තීරණය කිරීම ඔබට භාරය.
කොළඹ කොටුව බෝගහ ළඟ පුංචි අවන්හලක ඔවුන් දෙදෙනා ද, මම ද සිසිල් බීම බෝතලයක් තොල ගාමින් සිටියෙමු. ‘‘මෙයාව හම්බවෙන්න ඕන කිවුවනෙ. ඉතින් ඔන්න එක්කගෙන ආවා.’’ මගේ මිතුරිය එසේ කීවාය.
මම අපේ කතානායිකාව දෙසට හැරුනෙමි.
‘‘මම ඔයාට මං ගැන කියන්නම් මගේ මුළු කතාවම. ඒක ඔයා කැමති විදිහට පත්තරේ දාන්න. ඒත් නම, ගම දාන්න එපා’’ ඇය ඍජුව ඉල්ලා සිටියාය.
ඇය ඇත්තෙන්ම සුන්දරය. ඒත් ඒ සුන්දරත්වය තුළ සැඟව ගිය අඳුරක් ඇගේ දෑසේ ගැබ්ව තිබිණි.
‘‘මගේ මනුස්සය හරිම හොඳ මිනිහෙක්. අපි ආදරේ කරල බැන්දෙ. බැඳල හිටියෙ ගම්පහ පැත්තෙ ගමක.
ගමක් කිව්වට ඒක ගමක්ම නෙවෙයි. කොහොම කොහොම හරි අපි කුලී ගෙයක් ගත්ත. මගේ මනුස්සය වැඩ කළේ සිකියුරිටි කෙනෙක් විදියට. ඒ නිසා රෑට ගෙදර නෑ. මම තනියෙම ගෙදර හිටියෙ. මුලින් මුලින් කිසිම කරදරයක් තිබ්බෙ නෑ. අපි හරි අමාරුවෙන් කුලී ගෙව්වෙ. එක පාරක් මාස තුනක කුලී ගෙවා ගන්න බැරි වුණා. ගෙදර අයිතිකාර මිනිහ එක දවසක් මහ රෑ සල්ලි ඉල්ලන් ගෙදරට ආව. එදා මගේ මනුස්සය ගෙදර හිටියෙ නෑ. මට කරදර කළා. ඊට පස්සෙ මේ පාර කුලිය ඕන නෑ කියල ගියා.
මම ඒ කතාව මගේ මනුස්සයට කිවුවෙ නෑ. ඒක අපේ යහපතට වුණ දෙයක් කියලා ඉවසා දරාගෙන හිටියා. ඔහොම කාලය ගතවුණා. ඒත් හදිසියේම මගේ මහත්තයා ආන්තරා වුණා.
‘‘මගේ මනුස්සය නැති වුණේ මට අවුරුදු 30 දි. ඒ වෙනකොට මට දරුවො හිටියෙ නෑ. ඒක නම් වාසනාවට වෙච්ච දෙයක් කියල දැන් නම් හිතෙනව.’’
මිනිහ මැරිච්ච ගෑනියෙක්ට පිරිමි පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ. ගෑනියෙක් කැමැත්තෙන් යනව නම් ඒක වෙනම කතාවක්. ඕනෙම මනුස්සයෙක්ට අවශ්‍යතා තියෙනවනෙ. ඒත් එහෙමයි කියල ගමේම ඉන්න පිරිමි එක්ක ඉන්න මට ඕනකමක් තිබ්බෙ නෑ.
ඇත්තටම…. ඇත්තටම මට ඕන වුණේ ආයෙත් කසාදයක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න. ඒත්… උන් ඒකට ඉඩ දුන්නෙ නෑ.
ඇගේ දෑසෙන් වෛරයක ගිනි දැල් පිටවෙයි. එහි කොතනකවත් ආත්ම අනුකම්පාවක් පෙනෙන්නට තිබුණේ නැත. වේදනාවක් ද තිබුණේ නැත. එහි වූයේ වෛරය පමණි. සමස්තය කෙරෙහි උපන් වෛරය පමණි.
මම අකමැති වෙනකොට මා ගැන කතා ගොතල ගමේ පතුරුවල තිබ්බ. මිනිස්සුන්ට කතාවක ඇත්ත නැත්ත ඕනෙ නෑ. උන්ට ඕන කාගෙ හරි ඔළුවට අත හෝදන්න හොඳ ඕපදූපයක් විතරයි.
එක දවසක් උන් තුන්දෙනෙක් ගෙදර බිත්ති හතර ඇතුළෙම මාව දූෂණය කළා. ඒත් මම ඒ ගැන ගමේ කාටවත් පොලිසියටවත් කිව්වෙ නෑ, ඒ බයටම. අරුන් ගැන තිබ්බ බය ගමේ තවත් කතා හැදෙයි කියල තිබ්බ බය පොලිසියට යන්න තිබ්බ බය මේ හැම දෙයක් නිසාම මම පුරුදු විදියට නිහඬ වුණා.
උන් ඒ බය උන්ගෙ වාසියට අරගෙන මට දිගටම කරදර කළා. කාලයක් යනකොට මම ලෙඩ වෙන්න පටන් ගත්ත. පස්සෙ තමයි මම දැනගත්තෙ මට ඒඞ්ස් කියල. ඒකත් වුණේ වෛද්‍ය පරීක්‍ෂණයට ගිය නිසයි.
උන්ගෙන් කාගෙන් හරි මට ඒ ලෙඬේ බෝවෙලා. ඒත් ඒ ගැන මම කටක් හෙල්ලූවෙ නෑ. මම ඊට පස්සෙ මට කරදර කරපු හැම එකා එක්කම කැමැත්තෙන්ම හිටිය. දැනුත් මං ඒක කරන්නෙ ඒ හේතුව නිසාමයි. මම අයකරන්නෙ අඩු ගාණක්. ඒ වගේම මම නිල් චිත‍්‍රපට බලන්න පටන් ගත්තා. ඒවායෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා. මට ඒඞ්ස් කියල දන්නෙ නැති නිසා උන් මාත් එක්ක යන්න පැනල එන්නෙ. එදා මට උන්ට විරුද්ධව කරන්න දෙයක් තිබ්බෙ නෑ. මට කවුරුත් උදව් කළේ නෑ. ගමේම උන් ඇත්තටම මට වෙච්ච දේ දන්නව. ඒත් කවුරුවත් මගේ පැත්ත ගත්තෙ නෑ. ඒත් අද… අද මට පුළුවන් උන් හැමෝගෙන්ම පළිගන්න. උන් හැමෝගෙන්ම.
ලෝකයේ සමහරක් සිද්ධීන් ඇත්තේ හරි වැරැද්ද සොයන්නට නොව තේරුම් ගැනීමටය. ඇගේ කතාව ද එසේමය. ඇය සිටින්නේ සමාජය පිළිබඳ වෛරයකිනි. ඇගේ දෑස තුළ ඇත්තේ පිරිමි සංහතියම ගැන වෛරයක්ය.
දෙවැනි කතාවේ චරිතය වෙනස් මඟක් ගත්තකි. ඒ චරිතය මට හඳුන්වා දුන්නේ මිතුරෙකි. මම එකී චරිතය දෙස බලා සිටියෙමි. කොණ්ඩය කොටට කපා සිටි ඒ චරිතය සිටියේ අමුතු ඉරියව්වකය. ඔහුගේ දෑස එල්ල වී තිබුණේ අරමුණක් නැති අනන්තයකටය.
කතා කරන්න පුළුවන්ද? ඔහු එකවරම පියවි ලෝකයට පැමිණියේය.
ඔහුගේ කළු පැහැ දෙතොල මත ඇඳී ගියේ සිහින් සිනාවකි. බැලූ බැල්මට ඔහු පිරිමියෙකි. උරහිසේ සිට මැණික් කටුව දක්වා බැලූ බැල්මට ශක්තිමත් රළු දෑත මත පච්චයක් සිතුවම්ව තිබිණි. රැවුල් කොටයක ලකුණකුදු නැති නිකට දෙකම්මුල් ඉදිරියට නෙරා නොආ උගුරු දණ්ඩ හිතේ මැවුවේ මවිතයකි.
ඔයා ඇත්තටම කවුද?
මම ද මම මනුස්සයෙක් ඇයි සැකද?
ඔහුගේ හඬ සමානකම් දක්වන්නේ පිරිමි කට හඬකටද? ගෑනු කටහඬකටද යන්න නිසැකවම සිතාගත නොහැකිය. එහෙත් ස්තී‍්‍ර ලාලිත්‍යයක සලකුණකුදු ඇගේ හැසිරීමේ නැත.
මනුස්සයෙක් කියල මම දන්නව. ඔයා ගෑනු කෙනෙක් ද පිරිමි කෙනෙක්ද කියල ඇහුවෙ?
‘‘මම ද? මම ගෑනු කෙනෙක්’’
එහෙනම් ඇයි?
එහෙනම් ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියල නේද ඔයා අහන්න ගියේ. ඒක ඇත්තටම මගෙන් නෙවෙයි මිනිස්සුන්ගෙන් අහන්න ඕන ප‍්‍රශ්නයක්. මම ඔයාට මගේ කතාව කියන්නම් ඊට පස්සෙ ඔයා කැමති විදියට මම ගැන හිතන්න. ඒක මගේ ප‍්‍රශ්නයක් නෙවෙයි.
මම බැඳල අවුරුදු දහයක් විතර ඇති. එතකොට මගේ මනුස්සය අසනීප වුණා. එයා බොනව. බීල බීල මටයි දරුවන්ටයි ගහනව. සමහරක් දවස්වලට බොන්න යාළුවො ගෙදර ගෙන්න ගන්නව. බී ගත්තම ඒ මිනිස්සු තිරිසන්නු වගෙයි. බීල බීලම ලෙඩ වෙලා ඒ මිනිහ මැරිල ගියා. ඇත්තටම මම හිතුවෙ මිනිහ මැරිල ගියාම මට කුලියක් මලියක් කරගෙන දෙයියනේ කියල ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. බැඳපු මුල් කාලෙ මට හිතුනෙ මිනිහට වස ටිකක් දීල මැරෙන හැටි බලාගෙන ඉඳලා මමත් මැරෙන්න. ඒත් දරුවො දෙන්න ඉපදුණාම මම උන් වෙනුවෙන් හැම දේම කැප කළා.
මිනිහ මැරුණම කරදර ඉවරයි කියල හිතුවට මිනිහ මැරුණට පස්සෙ නැති කරදර පටන් ගත්ත. මගේ අතින්ම හදපු බයිට් කාල මගේ මිනිහ එක්ක බීපු මිනිස්සු මට කරදර කරන්න ආව. මම ඒ කිසි දේකට ඉඩ දුන්නෙ නෑ. මට හිතුනා මම පිරිමියෙක් වුණා නම් මේ කරදර නෑ කියල. මම හිමිහිට හිමිහිට පිරිමියෙක් වගේ වැඩ කරන්න ඇඳුම් අඳින්න පටන් ගත්ත. පිරිමි එක්ක බූරුවො ගහන්න, බොන්න පටන් ගත්ත. දැන් ගමේ පිරිමින්ට මමත් දැන් උන්ගෙන් එකෙක් විතරයි. දකින ඕන කෙනෙක්ට මම පිරිමියෙක්.
කොහොමද ගෑනු ඇඟක් පිරිමියෙක් වගෙ හදාගත්තේ. තදට යටට ඇඳුම් ඇඳල රෙදි පටි වලින් ඔතල දැන්නම් ඒක නොපෙනෙන්න මට අඳින්න පුළුවන්. බර වැඩ කරන නිසා ඇෙඟ් හැඬේ පේන්නෙ නෑ. ගමන බිමන හැසිරීම හදා ගත්තේ හිතලමයි.
ඔයා දිගටම මෙහෙම ඉන්නවද? නැත්නම් ආයෙත් බඳිනවද එහෙම නැත්නම් පෙම්වතෙක් හරි පෙම්වතියක් හරි ඉන්නවද?
ඒක ගැන තාම හිතල නෑ. දැනට මෙහෙම ඉන්නව. මෙහෙම හොඳයි.
එය ඇගේ කතාවය. ඒ ඇය සමාජයට විරෝධය පෑමට භාවිත කළ දේය. සමාජයට අනතුරක්, අපහසුතාවයක් නොවනතාක් කල් ගැහැනියකට කැමතිනම් පිරිමියකු ලෙසටත් පිරිමියකුට අවශ්‍ය නම් ගැහැනියක් ලෙසත් සිටීමට ඇති අයිතියට ගරු කරන්නෙමු. එහෙත් යමෙකුට සමාජ පීඩනයෙන් මිදීමට තම ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට සිදුවේ නම් එය ඛේදවාචකයකි.
ගැහැනියක් යනු දියණියක්, සොයුරියක්, මිතුරියක්, බිරිඳක්, මවක් ආදී සියල්ලටම පෙර මනුෂ්‍යයෙක්ය. සමාජය සිහි තබාගත යුත්තේ එයමය. සම තැන, නිසි තැන ආදී බොහෝ දේ ගැන තර්ක විතර්ක රාශියක් මැද අද ද කාන්තාවගේ තත්ත්වය එක තැනය. ඇය ඇසූ පරිද්දෙන්ම අපට ද අසන්නට ඇත්තේ ‘‘ඔවුන් එසේ කරන්නේ ඇයි?’’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!