Gossip

මගේ අත්දැකීම් ටික එක්ක දේශපාලනයට ගිය එක අපරාධයක් – උපේක්ෂා ස්වර්ණමාලි

දැන් ඔබ පුංචි තිරයේදී ලද බොළඳ චරිතවලින් එළියට පැනලා?
ක්ෂේත්‍රයට පිවිසෙන අවධියේදී මොන වගේ චරිතද කරන්නෙ කියලා අපිට ලොකුවට හිතාගෙන එන්න බැහැ. අපි ලැබෙන අවස්ථාවෙන් උපරිම දෙයක් නිර්මාණයට දෙන්න මහන්සි වෙන එක තමයි වෙන්නෙ. ඊට පස්සෙ විවිධ පරාසයන්වලින් අපේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. සරල පිටපත් වුණත් දැන් මම ප්‍රතික්ෂේප කරනවා. මට යම් වෙනසක් කරන්න බැරි නම් මම ඒ නිර්මාණය භාරගන්නෙ නැහැ. මේ වෙනකොට ඒ වෙනසේ පුංචි පුංචි ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. මම මාවම පුදුම කරගත්ත අවස්ථා පවා තියෙනවා.

මත්පැන් පානය කරලා වෙරිවෙලා හිටපු දර්ශනයක් කරන්න වුණා. තාත්වික රංගනයක් වෙයිද දන්නෑ කියලා මම ඒක හරි බයෙන් කළේ. හැබැයි කට්ටිය අහනවා ඇත්තටම බීලද හිටියේ කියලා.

ඒ කියන්නෙ ඒ වෙනසත් එක්ක ලැබෙන ප්‍රතිචාර ජයයි වගේ?
ඔව්. ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය බලාපොරොත්තු වුණෙත් නෑ මට ඒවගේ චරිත කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මගේ ඒ නිර්මාණ දැකපු අයගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. පබා චරිතය කරද්දි ඒ වගේ චරිතම කරන එක ප්‍රතික්ෂේප කළා වගේ තමයි මේකත්. එකම තැනකට කොටු වෙන්න මම කැමැති නැහැ.

ඔබ දැන් මවක්. කොහොමද මවකගේ භූමිකාව ඇතුළේ කලා කටයුතුවලට කාලය හොයාගන්නේ?
මට චණ්ඩි දෝණියෙක් ඉන්නවා. ධනුජි ෂැනන් පෙරේරා. දැන් එයාට අවුරුදු 02යි මාස 04ක් වෙනවා. එයාට අවුරුදු එකහමාරක් දෙකක් වෙනකම් මම එයා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කළා. දැන් මම කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. දරුවගේ වැඩයි කලා කටයුතුයි සමබරව කරගෙන යනවා.

ඔබේ වැඩකටයුතු සමබරව කරන්න පවුලෙන් ලොකු සහායක් ලැබෙනවා ඇති?‍
ඔව්. මගේ මහත්තයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මහත්තයාගේ මව සහ ගෙදර උදව්වට කෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ වෙලාවෙ මට වැදගත් වෙන්නෙ මගේ පවුල සහ වෘත්තිය. ඒ දෙකටම මූලිකත්වය දීලා වැඩ කරනවා.

ඔබ චිත්‍රපටවල දකින්න ලැබෙන්නේ අඩුවෙන්?
මට එහෙම චිත්‍රපටවලට වැඩිය ආරාධනා එන්නෙත් නැහැ. “මානය” කියලා චිත්‍රපටයක වැඩ අවසන් කළා. ඒක මේ වසරේදී තිරගත වෙයි. මායා චිත්‍රපටයේ දෙවැනි කොටසත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තවත් චිත්‍රපට දෙකකට මට ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා.

උපේක්ෂා දැන් දේශපාලනය අතහැරලම දාලද?
මම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. දේශපාලනය කරනවා නම් ඒකට සියයට සීයක්ම කැපවෙලා කරන්න ඕනෙ කියන එක මම විශ්වාස කරන දෙයක්. ඒක පුද්ගලයකුට කඩේ යෑමක් විය යුතු නැහැ. නැත්නම් මිනිසුන්ට කරපු දෙයක් නැහැ. ඒ හේතුව සහ පැවැති දේශපාලන ව්‍යාකූල තත්ත්වය මත මම ඒ තීරණය ගත්තා. මට දැන් දරුවෙක් ඉන්නවා. ඇය නිසා මම යම් කාලයක් කලා නිර්මාණවලිනුත් ඈත්වෙලයි හිටියේ. ඉතින් මේ වෙලාවේ දේශපාලනයෙන් නම් සියයට දෙසීයක් ඈත් වෙලයි ඉන්නේ.

ඒ කියන්නෙ ඉදිරියේදීවත් දේශපාලනයට ඔබ ගෑවෙන එකක් නැද්ද?
කොහෙත්ම නැහැ. මම මගේ ජීවිතේ දිහා හැරිලා බලද්දි මට කලාවෙන් ලොකු ආශීර්වාදයක් ලැබිලා තියෙනවා. ඒක මම බලාපොරොත්තුවෙන් ආපු ගමනක් නෙවෙයි. මම ශ්‍රී ලංකාවේ පදිංචි වෙන්නවත් හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි දෛවය විසින් ඒ තීරණය කළා. එදා තරම්ම නැති වෙන්නට පුළුවන් නමුත් මම ඒ ආශීර්වාදය තාමත් භුක්තිවිඳිනවා. කලාවේ අතපසුවීම් වුණා නම් ඒ දේවලුත් මේ වෙලාවේ මම පුළුවන් තරම් ගොඩනඟාගන්න උත්සාහ කරනවා. දේශපාලනය ඒකට කොහොමටවත් සුදුසු තෝතැන්නක් නෙවෙයි.

දේශපාලන පක්ෂයක් එක්ක ඉන්නවා කියන්නෙ අනෙකුත් සියලුම පක්ෂවල මතවල ඉන්න අය සහ ස්වාධීනව ඉන්න අය පවා මාව හිතින් අයින් කර ගන්නවා. එතකොට දේශපාලනයයි කලාවයි කලවම් වෙනවා. කලවමේ ඉන්නකොට මිනිසුන්ට දැනෙන්නෙ නැහැ මාව කලාකරුවෙක් විදියටද දේශපාලනඥයෙක් විදියටද භාරගන්න ඕනෙ කියලා. නමුත් ඒ සියලුම ගනුදෙනු මැද්දෙ මෙතෙක් මම කරපු නිර්මාණ ගැන සෑහීමකට පත් වෙනවා.

නමුත් දේශපාලනයේ නිරත කලාකරුවන් ඕනෑ තරම් සිටිනවා?
මාලනී ෆොන්සේකා මහත්මිය හෝ රන්ජන් රාමනායක මැතිතුමා හෝ ජීවන් මැතිතුමා හෝ ගීතා කුමාරසිංහ හෝ ඒගොල්ලො දේශපාලනයට පිවිසුණේ ක්ෂේත්‍රයේ ස්ථාවරයක් හදාගෙන. ඒක වෙනස්. මගේ වයසෙදි මගේ අත්දැකීම් ටික එක්ක දේශපාලනයට ගිය එක අපරාධයක්. මම කලාවට ආදරෙයි. මම මේ වෙලාවේ දේශපාලනයට ගියොත් එදාටත් වඩා මම කරගත්ත මෝඩකමක් කියලා මට හිතෙයි.

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබට යමක් කියන්නත් ඇති?
අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන අපිට කියන්න. මගේ ජීවිතයේ මොන වෙනස්කමක් වුණත් මාත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන්ට බොහොම ස්තුතියි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!